හීන

“කුමුදි, මේ මොකද මේ”

අලුතින් ට්‍රයි කරපු කේක් එක අවන් එකෙන් එළියට ගන්න ගමන් ඒ සුවඳින් මත් වෙලා හිටපු කුමුදි බැලුවේ තිගැස්සිලා.රශ්මි,කුමුදිගේ පාසල් කාලයේ මිතුරිය ඇය දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ.

“ඔයා මෙතන කේක් හදනවද? ඇයි ඒ? දිලුම් ඔයාව ඩිවෝස් කරාද?”

කාලෙකට පස්සේ මුණ ගැහුණු රශ්මි සැප දුක අහන්නත් කලින් අහපු ඒ ප්‍රශ්නේ ගැන කුමුදිට ඉපදුණේ හිනාවක්.ඇගේ සහායිකාව වුණු චතූටත් හිනාවක් උපදින හැටි කුමුදිට නොපෙනුණා නෙවෙයි.

“අනේ රශ්මි, ඔයාව දැකපු කල්..ඉතින් කොහොමද?”

කුමුදි අත පිස්නාවෙන් අත පිහිදාන ගමන් රශ්මිට කතා කළේ බොහොම සුහදව.ඒත් කුමුදි අහපු දේට උත්තර නොදීම ගැන රශ්මිට තියෙන්නේ කේන්තියක්.’මෙයා ප්‍රශ්නේ මඟ අරිනව වගේ’ රශ්මි නොරිස්සුමෙන් හිතුවේ ඒ නිසා.

“මම හොඳින් අනේ.අපි වැකේෂන් එකකට ආවා.ඒ ගමන් පරණ ඔෆිස් එකේ යාළුවෝ ටිකක් එක්ක කොෆි ඩේට් එකකට ආවේ.මොකද අනේ මේ කොෆි ෂොප් වල වැඩ කරන්නෙ? රස්සාවෙන් අස් කරාද?”

දියුණු රටක අවුරුදු ගාණක් ඉඳලා ආව රශ්මි අහන ප්‍රශ්න ගැන කුමුදිට හිනා යන්නත් එනවා.ඒත් ඇය හිනා නොවී රශ්මි දිහා බලලා බොහොම කෙටි පිළිතුරක් දුන්නා.

“මේක මගේ..”

රශ්මි ඒ පිළිතුරෙන් සෑහීමකට පත් වුණේ නැති බව කුමුදිට පෙනුණා.ඇය උරහිස් අකුලලා හාත්පස බලලා “නියමයි” කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.ඒත් නවීන ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වුණු ඒ කෝපිහල කුමුදිගේ එකක් කියලා පිළිගන්න රශ්මිට හිතුණේ නැහැ.අනිත් කාරණාව මේ තරම් අපූරු කොෆි ෂොප් එකක අයිතිකාරියක් මොකටද ඒකට වෙලා කේක් හදන්නේ? කුමුදි වගේ ඩිග්‍රි එකක් තියන කෙල්ලෙකුට කෝපි හද හද කේක් හද හද ඉන්න වුණු හේතුව හොයා ගන්න රශ්මිට හිතුණේ ඒ නිසා.ෂුවර් එකට කසාදෙත් කැඩිලා ඇති.නැත්නම් දිලුම් ඩොක්ට කෙනෙක් වුණු එකේ කුමුදිට එක එක මිනිස්සුන්ට කෝපි හද හද ඉන්න දෙයිද?

“මේ පේන්ටින්ග් විකුණන ඒවද?”

රශ්මිගේ මිතුරියක් කෝපිහලෙන් පිට වෙන්න කලින් එහෙම ඇහුවේ සේවිකාවගෙන්.ඇගේ පිළිතුර ඒවා විකිණීමට තියෙන චිත්‍ර වුණු හින්දා රශ්මිගේ මිතුරිය චිත්‍රයක් මිලට ගත්තා.චිත්‍ර අඳින්නේ කුමුදි නිසා චිත්‍රයේ මිල කියන්න ආවෙත් කුමුදි.කේක් හදනවට අමතරව චිත්‍ර ඇඳ ඇඳ විකුණන්න තරම් කුමුදි බංකොලොත් වුණු හැටි හිත හිතා රශ්මි ගෙදර ගියා.

“මේ අර කුමුදිට මොකද අර වෙලා තියෙන්නේ?”

තව දවසක තවත් මිතුරියක් වුණු හසිනිව දැක්ක හැටියේ රශ්මි ඇහුවේ ඕපාදූපය හාරාවුස්සන්න හිතාගෙන.

“ඇයි එහෙම ඇහුවේ? කොණ්ඩෙ කපල නිසාද? කුමුදි නිතරම කැන්සර් හොස්පිටල් එකට කොණ්ඩෙ දෙනවනෙ..”

හසිනි කෙහෙම්මල් කොණ්ඩයක් ගැන කියවනකොට රශ්මිට කේන්තියි.එයාට දැන ගන්න ඕන ඒ දේ නෙවෙයි.

“මං අහන්නෙ ඒක නෙවෙයි අනේ.කුමුදි ඇයි අර කොෆි ෂොප් එකක වැඩ කරන්නේ? එතන තියාගෙන චිත්‍ර ඇඳ ඇඳ විකුණනවත් එක්ක..”

රශ්මි එහෙම ඇහුවේ ඊළඟ ඕපාදූප ගැන දැන ගන්න නොඉවසිල්ලෙන්.පාසල් කාලයේදීම කුමුදිගේ පෙම්වතා වුණු දිලුම් කසාදෙන් පස්සෙ ඇයව අත් හැරලා දාන්න ඇති කියලත් රශ්මිට හොඳටම විශ්වාසයි.

“ඒ කොෆි ෂොප් එක එයාගෙනෙ අනේ.බලන්නකො ඒකෙ ලස්සන.ගියා.කෝපි එකක් බිව්ව ආවා නෙවෙයිනෙ.එහෙම්පිටින්ම ආට් ගැලරි එකක් වගේ..පොත් කියවන්න පුලුවන්.ඕනතරම් වෙලා ඉන්න පුලුවන්.පුදුමාකාර රස කෑම තියනවා.කුමුදිගෙ පේන්ටින්ග්ස් බලන්න පුලුවන්..මං නම් මාරම ආස තැනක්..”

හසිනි කියන්නේ හරිම ආදරයකින්.රශ්මි ඒ කතාව අහගෙන හිටියේ පුදුමයෙන්.ඒ වගේ කොෆි ෂොප් එකක අයිතිකාරි තමන් කියලා කුමුදි කියද්දි රශ්මි ඒක සත පහකට විශ්වාස කළේ නැහැ.

“ජොබ් එකෙනුත් අයින් වෙලා එයා එහෙම දෙයක් කරන්නේ ඇයි අනේ?”

රශ්මි එහෙම ඇහුවේ හිතට ආපු ඉරිසියාසහගත හැඟීම් හංගගෙන.පුංචි සුරංගනා ලෝකයක් වගේ කොෆි ෂොප් එකේ අයිතිකාරි කුමුදි කියන එක ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි.

“ඔයාට මතකනෙ ඉස්සර පුංචි කාලෙත් කුමුදි කොච්චර රසට කෑම හදනවද කියලා.අනිත් එක බයෝ සයන්ස් කරලා කැම්පස් ගියාට කුමුදිට ඕන වුණේම චිත්‍ර අඳින්නනෙ.එයා ඔය බයෝ කරේ ආන්ටිගෙ ආසාවට මිසක් එයාගෙ ආසාවට නෙවෙයිනෙ..”

ඒ විත්තිය නම් රශ්මිටත් මතකයි.කුමුදි උසස්පෙළට චිත්‍ර විෂය හදාරන්න යනකොට ඇගේ අම්මා ලොකු විරෝධයක් දක්වපු හින්දා කුමුදි අකමැත්තෙන් ජීව විද්‍යාව ඉගෙන ගන්න පටන් ගත්තු හැටිත් ඒත් වෛද්‍යවරියක් වෙන්න තමන්ට කිසිම උවමනාවක් නැති බව තිස්සෙම මතුරපු හැටිත් රශ්මි ආයේ මතක් කළා.

“ඉතින් කුමුදි සල්ලි ටිකක් එකතු කරගෙන ඔය ෂොප් එක දාලා රස්සාවෙන් අයින් වුණා.බලන්නකො.එයා එයාගෙම ෆෙයරි ටේල් එකක් ඇතුළේ ජීවත් වෙන්නේ.මාරම ආස හිතෙන තැනක්නෙ ඒ ෂොප් එක.අනික දැන් හරිම ජනප්‍රියයි.”

කෝපි සුවඳත් උණු කේක් සුවඳත් උතුරා යන ඒ කුඩා අවන්හල සිහි කරමින් හසිනි කිව්වේ ආදරයෙන්.

“දිලුම්ගෙ අකමැත්තක් නැද්ද ඉතින්..”

රශ්මි ඇහුවේ හිතට ආපු අවසන් ප්‍රශ්නය.හොඳ රැකියාවක් කර කර හිටපු කුමුදි එකපාරටම කෝපි හදන්න ගත්තු එක දිලුම්ට ප්‍රශ්නයක් නොවුණම කියන්න බෑනේ

“දිලුම් තමයි කුමුදි උනන්දු කරල තියෙන්නේ.හැමදාම අකමැති දේවල් අකමැත්තෙන් කරන්නෙ නැතුව තමන් ආස දේ ආසාවෙන් කරන්න පටන් ගන්න කියලා..කුමුදි දැන් ඉන්නේ මොනතරම් සන්තෝසෙන්ද?”

හසිනි එහෙම කියනකොට ඒ කතාවට එකඟ වෙන්න රශ්මිට හිතුණා.ඇත්තටම පහුවෙලා හරි තමන්ගේ හීන ඉෂ්ට කරගන්න කෙනෙකුට පුලුවන් නම් ඒක මොනතරම් දෙයක්ද?

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content