පෙම් කළ වරදට හිස ගැසුම් කෑ රජ කුමරිය

1980 දී, කුමරියකගේ මරණය පිළිබඳ වාර්තාමය චිත්‍රපටික් නිසා විශාල කැලඹීමක් ඇති වුණා.මේ කලබලය බ්‍රිතාන්‍යයේ සිට එක්සත් ජනපදය දක්වා පැතිර ගිය අතර එයට ආණ්ඩු, දේශපාලනඥයන් සහ විශාල සමාගම් සම්බන්ධ වුණා.කුමරියගේ මරණය බ්‍රිතාන්‍ය රූපවාහිනියේ විකාශය වීමට සූදානම් වන විට සෞදි අරාබි රජය දැඩි ලෙස විරෝධය පළ කළා. එය ආර්ථික සම්බාධකවලට තර්ජනයක් වුණා. තර්ජනයෙන් අදහස් කළේ සෞදි තෙල් සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කළ හැකි බවක්, එය ඉතා බරපතල තර්ජනයක්. එය ක්‍රියාත්මක නොකළ නමුත් සෞදිය ලන්ඩනයේ සිට ඔවුන්ගේ තානාපතිවරයා ආපසු කැඳවූවා

එම වාර්තා චිත්‍රපටයේ සඳහන් වන්නේ මිෂායෙල් කුමරියගේ මරණ දණ්ඩනය සම්බන්ධයෙන්.ඇගේ පෙම්වතාද ඇය සමග මරා දැමුණු බව පැවසෙනවා.

මිෂාල් කුමරියගේ ජීවිත කතාව කාන්තාවන් දරුණු ලෙස මර්ධනය කෙරෙන මැද පෙරදිග රටවල් පිළිබඳ ව දිගහැරෙන තවත් එක් කඳුළු කතන්දරයක්.

මිෂාල් කුමරිය සෞදි අරාබියේ රජ පවුලට නෑකම් කියූ තරුණියක්.ඇයට ඒ රටේ අනෙක් තරුණියන්ට වඩා සුවපහසු සහ නිදහස් ජීවිතයක් හිමි වී තිබුණා.රටේ රජු ඇගේ පියාගේ සහෝදරයා වීම නිසා ඇයට අවශ්‍ය සෑම දෙයක්ම ලැබුණු බව සඳහන් වෙනවා.නමුත් ඇයට ද අවශ්‍ය නිදහස ලැබුණේ නැහැ.නිදහස නොමැතිව අන් කිසිම දෙයක් පල නොමැති බව ඇය සිතන්නට ඇති.

ඇය දාහත් හැවිරිදි වියට එළඹෙද්දී රජ පවුල විසින් ඇයට විවාහය සූදානම් කළා.ඒ විවාහය පවුල් දෙකක් අතර ඇති හිතවත්කම් තරකර ගැනීමක් මිස අන් කිසිවක් නෙවෙයි.මිෂාල් එයට කැමැත්තක් දැක්වූයේ නැහැ.නමුත් අනෙක් රටවල් වල ජීවත් වන ගැහැනු ළමයින්ට මෙන් විවාහය සම්බන්ධයෙන් තර්ක කරන්නට මැදපෙරදිග ගැහැණු ළමයින්ට පහසු වන්නේ ද නැහැ. විවාහ වීමට පෙර තවදුරටත් ඉගෙන ගත යුතු බව ඇය පවසන්නේ ඒ නිසා.නමුත් ඇයට ඒ සඳහා ඉඩ ලැබෙන්නේ විවාහය තීන්දු කිරීමෙන් පසුවයි.බීරුට් හි විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට කුමරිය තීරණය කරනවා.පවුලේ කැමැත්ත එයට ලැබීම නිසා එයට එරෙහි වන්නට ඇගේ අනාගත සැමියාට හැකි වන්නේද නැහැ.විවාහය තීන්දු වීමෙන් පසු කුමරිය විශ්වවිද්‍යාලය වෙත පිටත් වී යනවා.

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී ඇයට ඇගේ පෙම්වතාව මුණගැසෙනවා.ලෙබනනයේ ජීවත් වන සෞදි අරාබියේ තානාපතිගේ පුතා වන්නේ ඔහුයි.අතිශය සාමාන්‍ය තරුණයකු සමඟ පෙමින් බැඳෙන්නට කුමරිය තීරණය කරනවා. රජ පවුලට ඇති ඥතිත්වයත් තමන් හිඳින්නේ විවාහ ගිවිසගෙන බවත් ඇය අමතක කරනවා.විශ්ව විද්‍යාල කාලයේ දී නිදහසේ ගලා ගිය ආදරය අවසන් කරන්නට ඔවුන්ට සිදුවන්නේ නැවත අධ්‍යාපනය අවසන් වී සෞදි අරාබියට යාමට සිදු වීමත් සමඟයි.සවුදියේදී හිතූ ලෙස ආදරේ කරන්නට ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ.අනෙක් අතට විවාහය තීන්දු වූවා යැයි කියන්නේ ඇය විවාහක කාන්තාවක් ලෙස සැලකීමයි.එනිසා මේ සම්බන්ධය අනියම් සම්බන්ධතාවයක් ලෙස සැලකෙන්නක්.

කාලිඩ් නම් පෙම්වතා සහ මිෂාල් කුමරිය තමන් කරමින් හිඳින්නේ හිස ගැසුම් කන වරදක් බව දැන සිටියා.ඒ නිසා ඔවුන් සෞදියෙන් පලායන්නට කිහිප වතාවක් උත්සාහ දරනවා.නමුත් එය සාර්ථක වන්නේද නැහැ.

ගඟකට පැන සියදිවි නසා ගන්නා බව හඟවා පැනයන්නට මිෂාල් සැලසුම් කරනවා.සියදිවි නසා ගැනීම සම්බන්ධ සාක්ෂි සියල්ලම සකසා අනතුරුව ඇය සේවිකාවක් අත ලිපියක් තබනවා.තමන් මිය ගියා යැයි පවසන දිනයේ සිට සතියකට පසු එය අම්මාට ලබා දෙන ලෙසත් තමන් නිරුපද්‍රිතව වෙසෙන බව ඇයට පවසන ලෙසත් ඇය සේවිකාවට පවසනවා.හමුදා කණ්ඩායම් කිහිපයක්ම අදාළ ජලාශයේ කුමරියගේ සිරුර සොයමින් පසු වද්දී සේවිකාව තවදුරටත් නිහඬව සිටින්නේ නැහැ.මුළු රජමාලිගාව ම අවමංගල්‍ය ක වෙස් ගෙන තිබියදී තමන් නිහඩව සිටීම වරදක් බව ඇය සිතන්නට පටන් ගන්නවා.ඒ නිසා ඇය සත්‍ය හෙළි කරන්නට තීරණය කරනවා.

කුමරිය වෙස් වලාගෙන රටින් පිට වන්නට තැත් දරන බව සිතමින් රජපවුල ඉතාම කෝපයට පත් වන්නේ ඒ ලිපිය දැකීමත් සමඟයි.සැකයේ වරදක්ද නැහැ.පිරිමියෙකු සේ වෙස් වලාගෙන රටින් පිට වන්නට උත්සාහ කරමින් සිටි මිෂාල් ජීවග්‍රහණයෙන් අල්ලා ගන්නට ඔවුන්ට හැකි වෙනවා.මේ වෙද්දි ගුවන්තොටුපළට දැඩි ආරක්ෂාවක් යොදා තිබූ නිසා ඇය හඳුනා ගැනීම අපහසු වී තිබුණේ නැහැ.සැකපිට කුමරිය අත්අඩංගුවට ගනිද්දී එයට කාලිඩ් විරුද්ධවී තිබෙනවා.ඔහුද අත්අඩංගුවට පත් වන්නේ ඉන් පසුවයි.

“අනාචාරයේ හැසිරීම” යන වරද ට ඔවුන්ට වරද පැටවෙනවා.මෙයට ඇසින් දුටු සාක්ෂි ඇත්තේ නැහැ.සෞදි නීතියට අනුව මෙය ඔප්පු කිරීමට ඇසින්දුටු සාක්ෂි අවශ්‍ය වෙනවා.එසේ නොමැති නම් වරද තුන් වරක් පවසා පිළිගත යුතු වනවා.ඇසින්දුටු සාක්ෂි කිසිවක් ම නොමැති නිසා  වරද නොපිළි ගන්නා ලෙසත් තමන් ඇයව ඇයව බේරා ගන්නා බවත් රජපවුල ඇයට දැනුම් දෙනවා.

අධිකරණ විනිසුරු වුයේ සෞදියේ රජු,අධිකරණය ඉදිරියේ තමන් අනාචාරයේ හැසිරුණු බව මිශාල් ප්‍රසිද්ධියේ පිළිගනු ලබනවා. ඇය එක වතාවක් ඒ පවසද්දී සෞදි රජතුමා අධිකරණ කටයුතු නවතා ඇය සමග පෞද්ගලිකව සාකච්ඡා කරනවා.ඔහු ඇය බේරා ගන්නා බවත් නැවත කිසි දිනෙක කාලිඩ් මුණ ගැසිය යුතු නැති බවත් ඔහු පවසනවා.නමුත් ප්‍රේමය එ තරමට වංචාවකින් අවසන් කරන්නට මිශාල්ගේ කැමැත්තක් ඇති වන්නේ නැහැ.ඇය නැවත උසාවි කටයුතු ආරම්භ වූ පසුව අනාචාරයේ හැසිරුණු බව තුන් වරක් ප්‍රකාශ කර සිටිනවා.

ඉන්පසු තීන්දුව නිකුත් වන අතර මිශාල්ට වෙඩි තබා මරා දැමීමටත් කාලිඩ්ගේ හිස ගසා දැමීමටත් නියෝග වනවා.මිෂාල් කුමරිය මියයන අන්දම කාලිඩ්ට අත් විඳින්නට සලස්වා ඉන්පසු ඔහු මරා දැමුණු බව පැවසෙනවා.

ආදර කතාවක් ම්ලේච්ඡත්වයෙන් අවසන් වන්නේ අන්න ඒ ආකාරයෙන්.

මේ සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයට සෞදියෙන් දැඩි විරෝධයක් එල්ල වූවා.එය විකාශය වීම යම් තරමකට පාලනය කරන්නට උන්ට හැකි වුණත් මේ නිසා ලෝකයේම ඇස්  සවුදියේ පවතින මේ ම්ලේච්ඡත්වය සම්බන්ධයෙන් එල්ල වූ බව පැවසෙනවා

මේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වූයේ 1977 ජූලි මාසයේදී.නමුත් මිෂාල් කුමරිය සම්බන්ධයෙන් අදටද කතාබහට ලක්වන්නේ සෞදි අරාබිය සහ සෙසු මැදපෙරදිග රටවල එවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් අදටත් සිදුවෙමින් පවතින නිසා.  
         

Related Articles

Don't Miss


Latest Articles