කුස්සියේ ප්ලාස්ටික් භාවිතය අහිතකර ඇයි?

ප්ලාස්ටික් වලින් සකසන ලද මුළුතැන්ගෙයි  උපකරණ කියන්නේ වෙළඳපළින් ඉතා පහසු මිලට ලබා ගන්න පුළුවන් දෙයක්. ඒත් ඔබ ඒවා මිලදී ගන්නේ ඒවායෙන් ඔබගේ සෞඛ්‍යයට සහ පරිසරයට ඇතිවිය හැකි හානි පිළිබඳව කිසිම අදහසක් නැතිවයි. විශේෂයෙන්ම මුළුතැන්ගේයි කටයුතු වලට ප්ලාස්ටික් වලින් සකසන ලද භාණ්ඩ සහ උපකරණ භාවිතය එතරම් සුදුසු වන්නේ නැහැ.ඒ ඇයි කියලා මේ ලිපියෙන් බලමු.

උණුසුම් ස්භාජන සමඟ නිතර ගැටීමෙන් දිය වීමට ලක් වීම 

පොලිස්ටිරින් වලින් සාදන ලද ප්ලාස්ටික් උපකරණ සෙල්සියස් අංශක 100 – 120 හෝ ෆැරන්හයිට් අංශක 212 – 248 ක ඉහළ උෂ්ණත්වයකදී දිය වී යනවා. ඊට අමතරව ඒවා නිතර නිතර උණුසුම් භාජන සමඟ ස්පර්ෂ වීමත් සමඟද දිය වීමකට ලක් විය හැකියි. මෙය එක වරම සිදු නොවුණත් ටිකෙන් ටික සිදු වනවා. ඔබ නොදැනුවත්වම ඒවා භාවිතයට නුසුදුසු තත්වයට පත්වෙනවා.

පිරිසිදු කිරීමට අපහසු වීම 

ප්ලාස්ටික් වලින් නිපදවන ලද භාජනයක ආහාර ගබඩා කිරීමෙන් පසුව එය පිරිසිදු කිරීම යනු එතරම් පහසු කාර්යයක් නොවෙයි. විශේෂයෙන්ම ප්ලාස්ටික් වල තෙල් බැඳී තිබීම නිසා එය ඉතා තදින් අතුල්ලා පිරිසුදු කළ යුතුයි.මෙහිදී ප්ලාස්ටික් භාජනය සීරි යාම , කැඩී යාම හෝ වෙනත් ආකාරයකින් හානියට පත් වීම සිදුවෙනවා. එසේ හානියට පත් භාජන නැවත නැවත භාවිත කිරීම ඒ තරම් සුදුසු නැහැ.

සෞඛ්‍යයට අහිතකර වීම 

දශක ගණනාවක් තිස්සේ ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා භාවිතා කරන BPA (bisphenol A) සමහර පිළිකා වර්ග වල අවදානම වැඩි කරන බව සහ බොහෝ සෞඛ්‍ය ගැටළුවකට ද හේතු වන බව පර්යේෂකයන් පවසනවා. ප්ලාස්ටික් භාජන තුළ උණුසුම් ආහාර අනුභව කිරීමෙන් සෞඛ්‍යයට අහිතකර හානි ඇතිවිය හැකි බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.අධික ලෙස ප්ලාස්ටික් භාවිතය මඟින් වකුගඩු ගල් ,හෝර්මෝන අසමතුලිතතාවය , විවිධ පිළිකා වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.  සමහර රටවල් මගින් දැනටමත් BPA තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, FDA විසින් එම ද්‍රව්‍යය කුඩා ප්‍රමාණවලින් මිනිසුන්ට ආරක්ෂිත බව තීරණය කර තිබෙනවා. ඊට අමතරව වීදුරු හෝ ලෝහ භාවිතය පිළිබඳව සලකා බලන ලෙසත් බොහෝ රටවල් වලින් නිර්දේශ කරනවා.

ඒවායේ ආයු කාලය කෙටි වීම 

ප්ලාස්ටික් උපකරණ කට්ටල බොහොම අඩු මිලකට ඔබට මිලදී ගන්න පුළුවන් උනත් ඒවා දිගු කාලයක් භාවිතා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒවා ඉතා ඉක්මනින් හානියට පත්වන නිසා ඔබට නැවත නැවත උපකරණ මිලදී ගැනීමට සිදුවෙනවා. ප්ලාස්ටික් භාජන වල උණුසුම් ආහාර ගබඩා කිරීම නිසාත් , උණුසුම් ආහාර සඳහා ප්ලාස්ටික් හැඳි භාවිතා කිරීම නිසාත් , වෙනත් කටයුතු සඳහා ප්ලාස්ටික් උපකරණ භාවිතා කිරීම නිසාත් , ප්ලාස්ටික් උපකරණ බරින් ඉතා අඩු සහ සැහැල්ලු නිසාත් ඒවා නිතර භාවිතයට ගැනෙනවා. ඒ නිසා මේවායේ ආයු කාලය ඉතාම කෙටියි. ඉන් අදහස් වන්නේ ඒවා භාවිතයට එතරම් සුදුසු නොවන බවයි.

ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වීම 

ඔබ භාවිතා කර ඉවත ලන ප්ලාස්ටික් හැඳි සහ ගෑරැප්පු , ඉවත ලන අපද්‍රව්‍ය බහාලන ප්ලාස්ටික් බෑග් ආදී ප්ලාස්ටික් වලින් නිපදවන ලද බොහෝ දේවල් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකියි. මෙමගින් සිදු වන්නේ ඉතාම දරුණු ලෙස පරිසරය දූෂණයට ලක් වීමයි. මෙසේ ඉවත ලන ප්ලාස්ටික් ගිනි තැබීම නිසා පරිසරයට එකතු වන දුම මගින්ද සිදුවන්නේ ඉතා බරපතළ සෞඛ්‍යය හානි සිදු වීමයි. 

ප්ලාස්ටික් වෙනුවට භාවිතා කළ හැකි, ශරීරයට අහිතකර නොවන අමුද්‍රව්‍ය වලින් නිපද වූ ,බොහෝ කාලයක් භාවිතා කළ හැකි උපකරණ සහ භාණ්ඩ මේ වන විට ඕනෑ තරම් වෙළඳපොලේ දැක ගන්නට තිබෙනවා.මේවායේ මිල තරමක් අධික උනත් එවැන්නකට මුදල් ආයෝජනය කිරීම කිසිසේත්ම අපතේ යාමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා ප්ලාස්ටික් භාවිතය නවතා ඉතා හොඳ තත්වයේ උපකරණ වලට මාරු වීමට දැන් කාලය එළඹ ඇති බව Smartlady අපි ඔබට මතක් කර දෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles