පරවුණු මල්.

නංගිත් එරන්ද මල්ලිත් පිට වෙලා ගිහින් ටික වෙලාවක්.අම්මා තාමත් සැරෙන් සැරේට අඬන නිසා අම්මා බදාගෙන හිත හදන නෑයෝ හෝටලයෙන් නික්මෙන්න තව වෙලාවක් යයි.මම චූටි දූ හෙව්වේ ඇඳුම් මාරු කරවන්න හිතාගෙන.ජීවිතේ පළමුවැනි පාරට මල් කුමාරියක් වුණු දෝණි “අම්මි කහනවා, අම්මි ලිප්ස්ටික් මැකුණා, අම්මි මට දොයිමතයි..” වගේ චෝදනා සෑහෙන්න කරමින් හිටිය නිසා එයාගේ ඇඳුම් මාරු කරන්න මට ඕන වුණා.

“කෝ සහන් දෝණි?”

මං ඇහුවේ නෑදෑයන්ට සමු දෙමින් හිටපු සහන්ගෙන්.

“මල්ලි ගාව හිටියා.මල්ලි කෙල්ලව වඩාගෙන රූම් එකට ගියේ.”

සහන් එහෙම කියද්දී මම හෝටලය ඇතුළට ගියේ මගේ එකම මල්ලි හොයාගෙන.මල්ලි දෝණිගේ මල් කුමාරි ඇඳුම් මාරු කරවගෙන එන ගමන්.මට දැනුණේ කියා ගන්න බැරි ආදරයක්.

“අනේ ඔයා බබාව චේන්ජ් කරල වොෂ් දැම්මුවද මල්ලි.මං මේ යන්න ගියේ..”

මම එහෙම ඇහුවේ මල්ලිත් දෝණිත් ළඟට ගිහින්.

“අක්කට ඉතින් මහන්සිනෙ.අපි ඇඳුම් මාරු කරා.ගෙදර යන්න පුලුවන් නේද දැන්.සහන් අයියා ඔක්කොම පේමන්ට්ස් ටික එහෙම බලන්න ගියා මහිතේ.”

මාස ගාණක් නංගිගේ වෙඩින් එකට මහන්සි වුණු මල්ලි කියන්නේ සැනසීමක හිනාවක් තොල් මතට අරගෙන.

“ඔන්න රජෝ..දැන්නම් මඟ අරින්න බෑ.නංගිත් බැන්දා.ඉක්මනට ඔයාගෙ කටයුත්තක් කෙරෙන්න ඕන.”

පේරාදෙණියේ ලොකු නැන්දා අපි ගාවට ආවේ එහෙම කියාගෙන.

“ආ බැරියැ නැන්දේ..”

මල්ලි හීන් සැරේ මාරු වෙලා යන්නෙ එහෙම කියාගෙන.

“ලොකු දුවේ, අපේ වේරගොඩ පරම්පරාව ගෙනියන්න ඉන්නෙ ඔච්චරයි.අපිට ඉන්නෙ එක මල්ලියි.මල්ලිට ඉන්නෙ එක කොල්ලයි.අපි මහන්සි වෙලා අපේ මලයට ඔයාලගෙ අම්මා කසාද බැන්දුව වගේ දැන් ඉතිං මහන්සි වෙලා මල්ලිට මඟුලක් කරල දෙන එක ඔයාලගෙ වැඩක්..”

අප්පච්චියි අම්මයි කැම්පස් එකේදී යාළු වුණාම ඒ සම්බන්ධෙ කඩන්න දේවාල ගාණෙත් ගිය ලොකු නැන්දා අප්පච්චිට මහන්සි වෙලා කසාදයක් කරලා දුන්නු හැටි කියනකොට මට උපදින්නේ හිනාවක්.

“මල්ලි බඳියි නැන්දෙ..”

මට ඕනෑ වුණේ මේ කතාබහ නවත්තන්න.

එදා මහ ගෙදර නැවතෙන්න මාත් සහනුත් හිතුවේ නංගිගේ නික්ම යාම අම්මාට දරා ගන්න අපහසු නිසා.මගේ ගර්භනී කාලය නිසා මටත් ඇඟට අමාරුයි.ඒ නිසා අපි එදා ආපහු කොළඹ නෑවිත් ගමේ ගෙදර නතර වුණා.

“සුලා..ඔයාට කෝල් එකක්.පුංචිගෙන්..”

යාන්තන් ඇහැ පියවෙනකොට සහන් මාව ඇහැරෙව්වා.

“වෙඩින් එකේ වැඩ ටික ලස්සනට වුණා නේද ලොක්කි..”

පුංචි පසු විපරම පටන් ගත්තා.මහන්සියට නිදා ගන්න ඕනෑ වුණු මට මේ ඇමතුම හිසරදයක්.ඒත් මොනවා කරන්නද?

“ලොකු පුතේ,දැන් නම් ශ්‍රීමාල් පුතාට බඳින්න කාලේ හරි.දැන් තිස් දෙකක්නෙ.නංගි බඳිනකම් වෙන්න ඇතිනෙ මෙච්චර කල් බලන් හිටියෙ..”

පුංචිත් සුපුරුදු තැටිය පටන් ගත්තා.මම ඒව අහගෙන හිටියේ කේන්තියෙන්.

“ලොකු අයියට කෙල්ලෙක් එහෙම නැද්ද ලොකු අක්කේ?”

අද දවල් ඥාති සහෝදරියක් එහෙම අහපු හැටි මට මතක් වෙනවා.

“නෑ මං හිතන්නෙ.ඉන්නවනම් කියයිනෙ..”

මම දුන්නේ එහෙම ඇල්මැරුණු උත්තරයක්.

“අහන්නකො අක්කේ,අයියලගෙ ඔෆිස් එකේ ඉන්නව මගෙ යාලුවෙක්.එයා අයියට පොඩ්ඩක් ක්‍රෂ්..මං ඒක අයියට කිව්වම මේ මනුස්සයා මට බැන්නනෙ..”

ඇය කියන්නේ අපහාසාත්මක කටහඬින්.කෙනෙකුට කැමති වෙන්න අපිට අයිතියක් තියෙනවා.ඒත් අනිකාට පුලුවන් අපිව ප්‍රතික්ෂේප කරන්න.ඒකත් අයිතියක්.ඒක මෙයාට තේරෙන්නේ නැද්ද?

“අයියා කෙල්ලන්ට මෙලෝම ඉන්‍ටරෙස්ට් එකක් නෑනෙ ලොකු අක්කේ..මට හිතෙනව මෙයා කැමති කොල්ලන්ටද කියලත්.බෝයිස් කොලේජ්නෙ ගියෙ..”

මට කේන්ති ආවේ ඒ කතාව අපහාසයක් හැටියට අරන් නෙවෙයි. සමලිංගිකයෙකු වීම මිනිස් අයිතියක්.ඒක තෝරාගැනීමක්.ඒත් විවාහ නොවන කෙනෙක් සමලිංගිකයෙක්මයි කියලා ලේබල් ගහන්න කාට කොහෙන් තියන අයිතියක් ද?

“ඕවා මොනවද සුලා..මට පොඩි මාමා කිව්වා සමහර කොල්ලො කසාද නොබැඳ ඉන්නේ බැඳපු ගෑනුන්ගෙ ගැටේට අහු උනාම ලු.සේසතම උන්ට දිය කර කර පැනි හැලියේ වැටුණු ඇඹලයා වගේ පස්සෙන් යනවලු.එතකොට කසාදයක් ඕන නෑලු..”

මගේ කේන්තිය නිවන්න ඉදිරිපත් වුණු සහන් කිව්වේ මගේ කේන්තිය තව වැඩිකරලා.

“මිනිහෙක් කසාද බඳින්නෙ සෙක්ස් කරන්නමද සහන්..මොනවද මේ විකාර..”

මට හරි කේන්තියි.සහන් මගේ ඔලුව අතගෑවේ කේන්ති නිවෙන්න.

“වාහනයක් ඩ්‍රයිව් කරන්න ලයිසන් ඕන වගේ සමහරු හිතන් ඉන්නේ සෙක්ස් කරන ලයිසන් එක කසාද සහතිකේ කියල..”

සහන් කියන්නේ හිනාවක් අතරින්.

“කවුරු මොනවා කිව්වත් මල්ලි කසාද බඳින එකක් නෑ සහන්..”

මල්ලි ඒ තීරණය ගනියි කියලා මට හිතෙනකොට මල්ලිට යන්තම් අවුරුදු විස්සක්.ඒත් අවුරුදු දොළහක් ගෙවුණත් මල්ලි තාමත් වෙනස් වෙලා නැති බව මම දන්නවා.

මල්ලි ඒ ලෙවල් කරන කාලෙදි සයුරි එක්ක යාළු වුණේ අනාගතේ ගැන මහ හුඟාක් හීන තියාගෙන.ස්කූල් ලව් කියන ඒවා කැඩිලා බිඳිලා යන ඉඩ වැඩි වුණත් පාඩුවේ ඉගෙන ගන්න මල්ලිට ඒක නවත්තන්න කියලා කෑගහලා මල්ලිගෙයි සයුරිගෙයි ජීවිත අවුල් කරන්න අපට ඕන වුණේ නෑ.

ඒ දවස උදා නොවුණානම් අද නංගිගේ විවාහ උත්සවයට සයුරිත් ඉඳීවි.සමහරවිට මං වගේ පැංචෙක් කුස දරාගෙන.නැත්නම් පුංචි පැටියෙක් තුරුළු කරගෙන!!

ඒ කලබලකාරී සඳුදා දවසක්.කැම්පස් යන මාව බස් එකට ඇරලන්න මල්ලි මාත් එක්ක ආවා.පාර පනින්න බලාගෙන ඉන්න පුංචි කෙල්ල දිහා මම බැලුවේ ඇස් කොණින්.

“අර සයුරි නේද?”

මල්ලි ලස්සනට හිනා වෙනවා.සයුරිට තමන්ගේ ලොකු නෑනා එක්ක කතා කරන්න ආස හිතෙන්න ඇති.එයා පාර පැනලා අපි ළඟට එන්න හැදුවේ ඒ නිසා.
ඒත් සයුරිට ඒක කරන්න වුණේ නෑ.ලොරියේ හැපෙනකොට එයාට මොනව හිතුණද කියල මං තාම හිතනවා.කෑගහගෙන එතනට දුවපු මල්ලි එයාව අත් දෙකට ගන්නවත් විලාප නගනවත් මට තාමත් ඇහෙන ගාණයි.

“එදා අර දැරිවිට පණ ගියේ ශ්‍රීමාල් පුතාගේ අත් දෙක උඩමයි..”

එතන හිටපු ගාමිණි මාමා තාමත් කියනවා.

මල් පිපෙන කාලයේ ජීවිතය සුවඳ කරන්න පිපුණු වසන්ත කුසුම අත් මතම පරවුණු ශෝකයෙන් මල්ලි වයසට යනවා.දැන් සයුරි යන්න ගිහින් අවුරුදු දහයක්.තාමත් මල්ලි ඉන්නේ අතීතයේ බව අපි දන්නවා.සයුරිගෙ මතක එක්ක වයසට යන මල්ලිට කසාදයක් මතක් කරන්න තරම් අපිට නරුම වෙන්න බෑ.

අතීත වේදනාවක් හිතේ දරාගෙන ඉන්න මල්ලිට එක එක ලේබල් ගහන මිනිස්සු නොදන්න දෙයක් කියලා කෑගහන්න මට හිතෙනවා.

“කිසිම ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න හිත හදා ගන්න බැරි මල්ලිට කසාද බඳින්න බල කරලා මොකටද?”

More Stories

Don't Miss


Latest Articles