මතක දිගහැරුම 109 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය නම වන දිගහැරුම,

අම්මාගේ තුන් මස දානමය පිංකම දින උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්තුමාගෙන් මා හට දුරකථන ඇමතුමක් ලැබුණි.ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයක් එදිනට පැවැත්වෙන බැවින් එතුමාට දානමය පිංකමට සහභාගී විය නොහැකි බව ලේකම්තුමා දැන්වීය.එම පණිවිඩය ලැබුණු විට මා හට තරමක කණගාටුවක් දැනුණේ පිංකමට සහභාගී වන හෂාන්ගේ ආසනයේ බොහෝ දෙනා නායකතුමාගේ සහභාගිත්වය බලාපොරොත්තු වී සිටින බැවිනි.දේශපාලනයේ නියැලෙන විට තමන්ගේ නායකතුමා තමන්ගේ විශේෂ අවස්ථාවන් වලට සහභාගි වීම දේශපාලනයේ නියැලෙන්නා හට කෙරෙන ගෞරවයක් සහ දේශපාලන කටයුතු වෙනුවෙන් කරන කැපවීම් වෙනුවෙන් ධෛර්යය දීමක් ලෙස සැලකේ.එම නිසා ඒ අවස්ථාවේදීම මා රනිල් වික්‍රමසිංහ මහතා හට දුරකථනයෙන් ඇමතුවෙමි.

” සර් අද කොහොමහරි එන්න බලන්න.අවිස්සාවේල්ල ආසනයේ ගොඩක් අයට පින්කමට ආරාධනා කරලා තියෙන්නේ.ඒ හැමෝම ඔබතුමාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා .ඒ නිසා ඔබතුමා ගේ පැමිණීම අපට ගෞරවයක් “

” මට ලොකු වැඩක් තියෙනවා අප්සාරි හදිසියේ දාගත්ත.ඒ උනාට මම කොහොම හරි උත්සාහ කරන්නම් එන්න “

නායකතුමා එසේ පැවසුවමුත් දහවල් තුන පමණ වන විට ඔහුගේ ආරක්ෂකයන් කිහිප දෙනෙකු අප නිවසට පැමිණියහ.සාමාන්‍යයෙන් ඒ ආකාරයට ආරක්ෂකයින් පැමිණ අදාල ස්ථානය පරීක්ෂාවට ලක් කරන්නේ නායකතුමා පැමිණෙනවා නම් ය.එම නිසා මා එම ආරක්ෂකයන්ගේ නායකතුමා පැමිණෙනවාදැයි විමසුවෙමි .එවිට ඔවුන් පැවසුවේ නායකතුමාට සහභාගිවීමට විශේෂ අවස්ථාවක් ඇති බවත් ඔවුනට අපගේ නිවස වෙත යන ලෙස ඔහු දැනුම් දුන් බවත් ය.ඔහුට යෙදි තිබුනේ විශාල රාජකාරියක් නිසා මා ඔහුගේ පැමිණීම එතරම් බලාපොරොත්තු වූයේ නැත.

අම්මා වෙනුවෙන් පැවැත්වුන පිංකමට විශාල සෙනගක් සහභාගි විය.ධර්ම දේශනාව සඳහා අප ආරාධනා කළේය කළේ සුමංගල ස්වාමීන් වහන්සේට ය.අපගේ නිවසට වැඩම කළ උන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළ අතර සියලු දෙනාම පාහේ ඉතා උනන්දුවෙන් එම දේශනාව ශ්‍රවණය කරමින් සිටියහ.ඒ අතරතුර නිවසින් පිටත යම් කලබලකාරී ස්වරූපයක් සහ කසුකුසුවක් මා හට දැනුනි.කාලයේ මා වාඩි වී සිටි තැනම සිට තරම් කර බලන විට මා දුටුවේ රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන ආකාරයයි.ඔහුව පිළිගැනීම සඳහා හෂාන් සහ මම හුන් තැනින් නැගී සිටීමට සූදානම් වන විට ඔහු නිවසේ දොර ළඟ සිට, ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලෙසට අතින් සංඥා කළේය.එයට අවනත වූ හෂාන් සහ මම හුන් තැනම සිට නැවතත් ධර්ම දේශනය වෙත අවධානය යොමු කළෙමු.නිවසේ දොරටුව අසල සිටගෙන සිටි නායකතුමා මද වේලාවක් ධර්ම දේශනාව ශ්‍රවණය කළේය.ඉන්පසුව ඔහු පිටව යන ලෙස අතින් සංඥා කරමින් මා හට පැවසු අතර මමද හිස නමා ඔහුගේ පැමිණීම වෙනුවෙන් ස්තුති කරමින් ඔහු හට ආචාර කලෙමි.අප නිවසින් පිටත සිටි අය පසුව මා හට පැවසුවේ නායකතුමා ධර්ම දේශනාවට බාධාවක් නොවන පරිදි සියලු දෙනාම සමඟ කතාබහ කර පිටව ගිය බවයි.ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කර තිබූ ග්‍රන්ථ එළිදැක්වීමට සහභාගි වූ නායකතුමා ,එම කාර්යය අතරතුර දී සහභාගී වීමට අත්‍යවශ්‍ය කටයුත්තක් ඇතැයි පවසමින් අපගේ පිංකමට සහභාගි වී ඇති බව මට පසුව දැන ගන්නට ලැබුණි. මගේ ආරාධනය පිළිගෙන විශාල වැඩකටයුත්තක් අතරමැදදී වුවද අපගේ පිංකමට සහභාගීවීම පිළිබඳව මා එතුමාට මගේ ගෞරවය පුද කරමි.

අම්මා ගේ වියෝවෙන් පසුව ඇය අප වෙනුවෙන් කළ යුතුකම් පවා අඩුවක් නොමැතිව ඉටුකිරීමට තාත්තා උත්සාහ කළේය.හෂාන් සහ මම ගෙවූයේ අතිශය කාර්යබහුල ජීවිතයකි.සමහර දින වලදී උදෑසන නිවසෙන් පිට වෙන අප දෙදෙනා නැවත නිවසට එන්නේ රෑ බෝ වී ය.තාත්තා නිවසේ රැඳෙමින් මෙසේ සියලුම කටයුතු සොයා බලමින් , සිටින සේවකයන් සමග කතාබහ කරමින් සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කළේය.මා උදෑසන නිවසින් පිටවන විට ඔහුගේ නිදන කාමරයේ යතුර තාත්තාට බාර දෙමි.අප පිටත් වූ පසු තාත්තා නිවසේ සේවකයන් වෙත පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කාමරයේ දොර ඇර දෙන්නේය.

අප නිවසේ නොමැති අවස්ථාවන් වලදී දරුවන්ගේ කටයුතු සොයා බැලීම ද තාත්තා කලේය.අල්ලපු නිවසේ සිටින හෂාන්ගේ දෙමව්පියන්ද ඒ සඳහා තාත්තාට සහයෝගය දැක්වූ අතර එම නිසා කිසිදු අවස්ථාවක දරුවන් නිවසේ තබා යාම පිළිබඳව ගැටලුවක් මා හට තිබුණේ නැත.ඇතැම් දිනවල දරුවන්ව පාසල වෙත ඇරල වීම සඳහා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපගේ රියදුරු සමග තාත්තාද යයි.එපමනක් නොව දහවල් කාලයේදී අප නිවසේ නැත්නම් දරුවන්ගේ කෑම බීම පිළිබඳව පවා ඔහු සොයා බලයි .

තාත්තා ගේ කාමරය පුරාවට ම තිබුණේ ඔහුගේ සහ අම්මාගේ රාමු කල පින්තූරය.අප හැම දෙනාගේම පින්තූර රාමු කර ලබා ගැනීම එකල සිටම තාත්තා තුළ තිබූ පුරුද්දක් විය.එසේ රාමු කළ පින්තූර බොහෝමයක් තාත්තගේ කාමරයේ වූ අතර ඇතැම් අවස්ථාවලදී තාත්තගේ කාමරයට යන මා හට ඒවා දුටු විට හැඬුම් එයි.තාත්තා සෑම විටම පවසන්නේ අම්මා අපව ආරක්ෂා කරන බවයි.ඒ ආකාරයට අම්මාව සිහිපත් කරන ඔහු අම්මා වෙනුවට වගකීමක් ම කිසිදු පැකිලීමකින් තොරව අප හට ඉටු කළේය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles