මතක දිගහැරුම 122 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය විසි දෙවන දිගහැරුම ,

මේකප් වර්ග භාවිතා කිරීමේදි මා භාවිතා කරන නිෂ්පාදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නේ ඒවා මාගේ මුහුණට ආලේප කරන නිසාය.මිලෙන් තරමක් අධික වුවද ලෝකයේ හොඳම වෙළද නාම යටතේ පවතින නිෂ්පාදන මා මේකප් කිරීම සඳහා භාවිතා කරමි.මේකප් නිශ්පාදන එකතු කිරීම මා විනෝදාංශයක් ලෙස සිදුකළා කීවොත් නිවැරදිය .මා ගුවන් සේවිකාවක ලෙස සේවය කරන කාලයේ විවිධ රටවල් වලින් බොහෝ මේකප් නිෂ්පාදන මිලදී ගත් අතර ඒ කාලයේ පැවතියාටත් වඩා මේ වන විට ඒවායේ මිල තරමක් අධිකය.නමුත් මම ගුවන් සේවයෙන් ඉවත් වූ පසු ,අප රටේ මිලදී ගැනීමට හැකි හොඳ වෙළෙඳ නාම යටතේ පවතින මේකප් නිෂ්පාදනයක් පිළිබඳව සොයා බැලිය යුතුයැයි මා හෂාන් සමග පවසන විට ඔහු පැවසුවේ, කිසිම විටක පෙරදී මා භාවිතා කළ නිෂ්පාදන වෙනස් නොකරන ලෙසයි.මා නොමැතිව ඔහු විදෙස් රටක සංචාරයකට සහභාගී වනවා නම්, මා හට අවශ්‍ය නිෂ්පාදන ලයිස්තුවක් මා ඔහුට ලබා දුන් විට ඔහු මා වෙනුවෙන් ඒවා මිලදී ගෙන එ‍යි.

මා සතුව මේකප් නිෂ්පාදන විශාල වශයෙන් ඇත.ඇතැම් අවස්ථාවලදී මගේ පුතුන්ගේ පෙම්වතියන් පවා සමහර නිෂ්පාදන උත්සාහ කර බැලීමට මාගෙන් ඉල්ලා සිටින අතර මම ඒවාට ඉඩ දෙන්නේ ඉතාම කැමැත්තෙනි. විවිධ මේකප් කිරීමේ ක්‍රම අත්හදා බැලීමට මා තුළ හොඳ උනන්දුවක් පවතින අතර සමහර අවස්ථාවන් වලට සහභාගි වීමට පෙර මා පැයක පමණ වේලාවක් ගතකරමින් සූදානම් වෙමි.රූපලාවන්‍ය ක්ශේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත ප්‍රවීණ රූපලාවන්‍ය රූපලාවන්‍ය ශිල්පීන් වන හැරිස් විජේසිංහ මහතා සහ මගේ සහෝදරයෙකු බඳු ධනංජය බණ්ඩාර පවා , මා තනිවම කරගන්නා මේකප් එක පිළිබඳව සමහර උත්සව අවස්ථාවල දී මුණ ගැසුණු විට වර්ණනා කර ඇත.

මේ වන විට ලංකාවේද දේශීය වශයෙන් ඉතා හොඳ අමුද්‍රව්‍ය අඩංගු විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන , ශරීරයේ ආලේප කරන ක්‍රීම් වර්ග ආදිය නිකුත් වී ඇති බැවින් මා ඉඳහිට ඒවා ද උත්සාහ කර බලමි.කෙසේ වුවත් මා මාගේ මුහුණ සඳහා භාවිතා කරන්නේ කාලයක සිටම භාවිතා කළ නිෂ්පාදන පමණි.

ඊට අමතරව මුහුණ සදහා කරන සියලුම සත්කාර ,ඇහිබැමි සැකසීම ඇතුළු සියලුම රූපලාවන්‍ය කටයුතු මා සිදු කර ගන්නේ තනිවමය.මා වෙනුවෙන් සාරි විලාසිතා නිර්මාණය කරගන්නා විට ඒවා ඇඳ ගැනීමට පහසුවන ලෙස ද මා නිර්මාණය කර ගනිමි. මා ගත කරන කාර්ය බහුල ජීවිතය සමග උත්සව අවස්ථාවලට සහභාගි වන විට රූපලාවන්‍යාගාර වෙත යාමට කාලය වැය කරනවාට වඩා මා නිවසේ නිවසේදීම මට අවශ්‍ය සියලු කටයුතු කරගැනීම විශාල පහසුවක් වේ. එය මාගේ කාලය ඉතිරි කර දෙන අතරම මගේ සිතට ද විශාල තෘප්තියක් එකතු කරයි.මගේ වැඩ කටයුතු මා ඒ ආකාරයට නිවසේදීම සිදුකර ගැනීම නිසා විශාල මුදල් ඉතිරියක් ද සිදුවන බව මා විශ්වාස කරමි.

මා Air Lanka ආයතනයේ සේවය කළ කාලයේ සිටම මාගේ කොන්ඩ විලාසිතාව පවත්වාගෙන ආවේ එකම ආකාරයකටය.බොහෝ දෙනා එය වෙනස් නොකරන්නේ මන්දැයි බොහෝ අවස්ථාවන්වල දී මාගෙන් විමසුවත් එය මාගේ අනන්‍යතාවය ලෙස මා සලකමි.හෂාන් පවසන ආකාරයට ඒ කොන්ඩ විලාසිතාව මා හට හොඳින්ම ගැලපේ.

ඒ වගේම මා සෑහෙන කාලයක සිට ව්‍යායාම කිරිම නොකඩවාම සිදු කරමි.අදටත් මගේ දින චර්යාවෙන් අනිවාර්ය වේලාවක් ඒ සඳහා මා වෙන්කර ඇත.මගේ ශරීර සෞඛ්‍යය නිසි ආකාරයෙන් නිරෝගීව පවත්වාගෙන යාමට එය විශාල වශයෙන් ඉවහල් වනු ඇතැයි මා සිතමි.ව්‍යායාම කිරීමට අවශ්‍ය උපකරණ හෂාන් විසින් මට ගෙන ගෙනැවිත් දී තිබෙන නිසා ඒ කාර්යය ඉතා පහසුය.ඒ උපකරණ තබා ඇත්තේ අප නිවසේ මුළුතැන්ගෙයට ආසන්නව නිසා ඇතැම් අවස්ථාවලදී ආහාර පිසින අතරතුර දී වුව ද සුළු ව්‍යායාම් වල නිරත වීමට මා හට හැකියාව ඇත.වැඩ කටයුතු නිමා වී මා රාත්‍රියේ නිවසට පැමිණියත් ව්‍යායාම සඳහා මා කාලය වෙන් කරමි.වර්තමානයේදි බොහෝ දෙනා ව්‍යායාම සිදු කරන්නේ ශරීරයේ බර අඩු කර ගැනීමට වුවත් මා ව්‍යායාම සිදු කරන්නේ ශරීරයේ තිබෙන බර නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා සහ නීරෝගීව සිටීම සඳහාත් ය.

අප ලබා ගන්නා බොහෝ ආහාර අප සකස් කරන්නේ නිවසේදීම ය.තෙල් අධික ආහාර ගැනීම අප අවම කර ඇති අතර ගන්නා සෑම ආහාර වේලක්ම සමබර ආහාර වේලක් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත්තෙමු.මා කුඩා කාලයේ සිටම මගේ අම්මා සහ තාත්තා ආහාර පිළිබඳව කටයුතු කළේ ඉතාම සැලකිල්ලෙන් ය.වර්තමානයේ දී මම ද ඒ ආකාරයෙන්ම මගේ පවුලේ අය වෙනුවෙන් කටයුතු කරමි.ඉතා හොඳ එළවළු සහ පලතුරු වර්ග , කැඳ වර්ග පරිභෝජනය කරනවා නම් බොහෝ ලෙඩ රෝග වලින් වැළකී සුවපත් දිවියක් ගත කළ හැකි බව මා විශ්වාස කරමි.මෑතකදී මා කියපු වෛද්‍යවරයෙකුගේ ලිපියකට අනුව පොල්සම්බෝල යනු දිනපතාම වුවත් අපගේ ආහාරයට එකතු කරගත යුතු දෙයකි.සාමාන්‍යයෙන් අප නිවසේ තුන් වේලෙන් එක් වේලකට හෝ පොල් සම්බෝල එකතු කර ගැනීමට මා කටයුතු කරමි.අප මොන තරම් කාර්යබහුල ජීවිතයක් ගත කළ ද අපගේ පහසුව උදෙසා අවන්හල්වලින් ආහාර ගැනීමට පුරුදු වී නැත.එක් ව්‍යංජනයක් සමඟ හෝ නිවසේදීම උණු උණුවෙන් ආහාර ගැනීමට අප පුරුදු වී සිටිමු.මේ වන විට අපගේ පුතුන් තිදෙනා ද ඒ රටාවට හුරු වී සිටිති.ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ පෙම්වතියන් ඔවුන් කැමැති විවිධ ආහාර වර්ග සකස් කර දෙන ලෙස මාගෙන් ඉල්ලා සිටින විට ,මා ඔවුන්ට ඒවා සකස් කර දෙන්නේ ඉතාම කැමැත්තෙන් සහ ආදරයකින් ය.

මේ වන විට මා නිරතවන රැකියාව නිසා මා ගත කරන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයකි.ඒ කෙසේ වුවත් නිවසේ කටයුතු , දරුවන්ගේ කටයුතු ,විශේෂයෙන්ම තවමත් පාසල් යන වයසේ පසුවන මාගේ බාල පුතුගේ කටයුතු යන සියල්ලම මා කළමනාකරණය කර ගත යුතුව ඇත.බොහෝ අවස්ථාවන්වල දී අප නිවසේ නොසිටින නිසා නිවසේ කටයුතු වලට සේවකයන්ගේ සහයෝගය ලබා ගැනීම අවශ්‍ය වේ.විශේෂයෙන්ම ආහාර පිසීමේ කටයුතු වලට මා ඉතාම ආසා කළ ද මේ වන විට ඒ සඳහා ද සේවකයෙකුගේ සහයෝගය ලබා ගැනීමට මා හට සිදු වී ඇත.මගේ දරුවන් සහ හෂාන් ප්‍රියකරන කෑම වර්ග සකස් කර දීමට මා සැමවිටම උපරිම උත්සහ කරමි.පවුලේ සියලු දෙනාම නිවසේ සිටින්නේ බොහෝ අවස්ථාවලදී රාත්‍රි කාලයේදීය.ඒ නිසා මා නිවසට පැමිණීමට පෙර මා සකස් කරන්නට සැලසුම් කරන ආහාර වලට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර තබන ලෙස සේවකයන්ට උපදෙස් දෙමි.ඉන් පසුව නිවසට පැමිණෙන මා හැකි ඉක්මනින් මගේ පවුලේ අය වෙනුවෙන් ආහාර සකස් කරමි.

මා මොන තරම් කාර්යබහුල ජීවිතයක් ගත කළ ද මා මුල් තැන දෙන්නේ මගේ පවුලේ අය වෙනුවෙන් ය.ඉන්පසුව මා මුල්තැන දෙන්නේ මගේ රැකියාවට ය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මා හට විශේෂ කාර්යභාරයක් භාරදී ඇති බැවින් ඒ වෙනුවෙන් මා කැප වී කටයුතු කරමි.මා හට බොහෝ උත්සව අවස්ථාවන් අවස්තාවන් වලට ආරාධනා ලැබෙන අතර මා ඒවාට සහභාගී වන්නේද තෝරාබේරාගෙන ය.සෑම දිනකම රාත්‍රියේ දී මා එළඹෙන දිනය කළමනාකරණය කරගන්නේ කෙසේදැයි සැලසුම් කරමි.බොහෝ දිනවලදී මා මගේ දරුවන් වෙනුවෙන් ඔවුන් ප්‍රිය කරන ආහාර වර්ග සූදානම් කර ශීතකරණයේ තබන්නේ පසුදිනට පහසු වන පරිදි ය.මවක සහ බිරිඳක වශයෙන් මගේ අතින් ඉටුවිය යුතු යුතුකම් සියල්ලම නොපිරිහෙළා සිදු කිරීමට මා උපරිම වශයෙන් උත්සාහ කරන්නේ ඒ ආකාරයටය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles