සමීපතමයෙකු Body shaming කළ නිසා ජීවිතය එපා වූ තරුණියක්

(මනෝ චිකිත්සක බුද්ධිකා එරන්දි ජයසිංහ මහත්මියගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

හැම ගැහැනියක්ම සුන්දර රූපයක් දරන්නට කැමතියි. තමන්ගේ රුව සුන්දරව තබා ගන්නට කැමතියි. ඒ රූපය තමන්ට අවශ්‍ය ආකාරයට නැති බව හිතෙද්දී ඇය මානසිකව ඇද වැටෙන්නට පවා පුළුවන්.

ඉමාලි වයස අවුරුදු හතලිහක කාන්තාවක්. ඇයට තිබුණේ දුටුවන් වශී කරගන්නා රූපයක්. සැබෑවටම ඇය දුටුවිට නැවත හැරී බලන්නට හිතෙන තරම්. ඇය තරමක පිරුණු ඇඟපතක් සහිත කෙනෙක්. ඒ නිසා ඇය තමන්ගේ ඇඟ සම්බන්ධයෙන් ආ නරක ප්‍රතිචාර ගැන දැඩිව වේදනාවෙන් සිටියා.

මා වෙත සේවා දායිකාවක පැමිණෙන විට “ඔයා හරිම ලස්සන කෙනෙක්” වැනි දෙයක් පවසා ආත්ම විශ්වාසය වර්ධනය කිරීම මගේ සිරිතක්. නමුත් මම ඇය පිළිගන්නට එහෙම කියද්දී ඇය ඇසුවේ “ඔබ ඔය කියන්නේ ඇත්තක්ද? මට එහෙම කියන්නේ ඇත්තටම නෙවේ කියලා මං දන්නවා” කියලයි. 

ඇයට තිබුණේ වෙනස් ප්‍රශ්නයක්. ඇයට තමන්ගේ සිරුරේ බර අඩු කරගන්නට ඕනෑ වුණා. නමුත් එය සිදු වුණේ නෑ.විවිධ ක්‍රම සහ ව්‍යායාම කළත් ඇය චබී කෙල්ලක ලෙස උස්මහත් වී තිබෙනවා. ඇය කුඩා කාලයේ සිටම පිරිපුන් සිරුරක් දැරූ බව මට දැන ගන්නට ලැබුණා.

“ඔයා සෝනක්ෂි වගේ”

ඇයට එහෙම කියපු අයත් ඕනෑ තරමට හිටියා. එහෙම අහන්නට ලැබුණත් ඇගේ හිතේ තදින්ම තිබුණේ බතලියක ලෙස body shaming වලට ලක් වූ මතකයන් පමණයි.

“ඔයාට දුක හිතෙනම මතකය මොකක්ද?”

මම ඇය සමඟ දීර්ඝ ලෙස කතා කරමින් ඇසුවා.

“මගේ ලොකු අම්මගෙ දූට මම හරිම ආදරෙයි.ඒත්  චූටි කාලේ අක්කි තමයි මට බතලි බතලි ගාන්න පටන් ගත්තේ. මං එයාට එච්චර ආදරේ කරනකොට එයා එහෙම කියන එක ගැන මට සෑහෙන්න දුක හිතුණා.”

ඉමාලි හෙළිදරව් කළා.

ඒ වගේම ඉමාලි අධ්‍යාපනයට ඉතාම දක්ෂකම් දැක්වූ අයෙක්. ඇය උසස් අධ්‍යාපනය ලබද්දී ඒ අධ්‍යාපන හැකියාවන් වලට ඉරිසියා කළ අයද ඇයට ශරීරය ගැන කියමින් විහිළු කරන්නට අමතක කර නැහැ.ඉතින් ඉමාලි ඩයට් ප්ලෑන් අනුගමනය කරන්නටත් ජිම් යන්නටත් පටන් ගෙන තිබුණා. නමුත් ඇගේ සිරුරේ ප්‍රමාණයේ වෙනසක් වී තිබුණේම නැහැ.

“මට සෝනක්ෂි වගේ කතා අනිත් අය කියන්නේ එයාලා මං ලස්සනයි කියලා හිතාගෙනම බලන නිසා. එහෙම නැතුව මගේ ඇති ලස්සනක් නැහැ.”

ඉමාලි එහෙම කියනවා.

ඇගේ අර අක්කා ඇයව දකින සෑම මොහොතකම “ඉමා තවත් බතලි වෙලානෙ” කියන එක නැවතී නැහැ. සතියකට වතාවක් දුටුවත් අවුරුදු 10කින් දුටුවත් ඇගේ මන්තරය එකම එකක් වුණා. ඉමාලිගේ ලොකු ම මානසික පීඩකයා ඇය බව මට තහවුරු වුණා. 

“ඔයාගේ මූණ මොන තරම් ලස්සන උනත් ඔයාට මොනතරම් ලස්සන ෆීචර්ස් තිබුණත් වැඩක් නැහැනෙ ඉමා. ඔයාගේ ඇඟ නම් පුදුම කැතයි. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ ඔයාට මෙහෙම වුණේ වුණේ ඇයි කියලා. අපේ අක්කා මට එහෙම කියන්නේ මූණටමයි. එයා එක පාරක් මට මිනිස් ඇට සැකිල්ලක රූපයක් වට්ස් ඇප් එවලා තිබුණා. එහෙම එවලා මගෙන් අහනවා මේ වගේ පොඩි දේකට ඔයාගේ ඔය ඇඟේ බර දරාගන්න පුළුවන් කියන්නෙත් හරිම පුදුමයක් නේද කියලා?  මට මේක මහ පුදුම පීඩාවක්”

මේ වෙද්දී ඉමාලි අසනීප වලට ලක් වී සිටියා. ඇයට ආහාර ගත් සැනින් වමනය කරන්නට සිතුණා. නමුත් ඇය එහෙම කරේ නැහැ. ඇගේ පෝෂණවේදීන් මෙතැන මානසික ප්‍රශ්නයක් ද ඇති බව වටහා ගෙන තිබුණා. ඒ අනුව තමයි ඇය මා වෙත යොමු වන්නේ.

ඇය මේ වෙද්දී බොහෝ කෑම වර්ග ප්‍රතික්ෂේප කරන්නටත් පටන්ගෙන තිබුණා. ඒ නිසා ඇයට යම් මන්දපෝෂණ තත්ත්වයක් ද ඇති වෙමින් ඇති බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබුණා.

ඉමාලිට වයස අවුරුදු දොළහක දියණියක් සිටියා.ඉමාලිට කිසිම මානසික හානියක් නොකරන ඇය හින්දි නිලියක තරම් ලස්සන බව කියන මිතුරියන් සහ ඥාතීන් දියණියට ද එක්තරා ප්‍රතිචාරයක් දක්වන්නට පුරුදු වී සිටියා.

“දූ.. ඔයා අම්මි වගේමයි. පුදුම ලස්සනක්.”

නමුත් ඉමාලි එය වටහා ගන්නේ වැරදි ආකාරයටයි. දියණියත් ඇය මෙන් මහත කෙනෙක් වෙයිදැයි ඇය බොහොම බියට පත් වුණා. නමුත් දියණියගේ BMI අගයේ කිසිම වරදක් තිබුණේ නැහැ.

“ඒත් මාත් පොඩි කාලේ මේ සයිස් එකටම නේ හිටියේ. ඒත් අක්කලා අතින් මාව මොනතරම් bully උනාද? එහෙම වෙන්න ඇත්තටම හේතු වුනේ මොකක්ද? පුංචි කාලේ වෙච්ච දේවල් හින්දා මට traumas තියෙන්න ඇති. ඒ නිසා ඇත්තටම මට මානසික උපදේශනය අවශ්‍යයි.”

ඉමාලි අවසානයේදී මට එහෙම කිව්වා.

ඇයගේ දියණියව පාවිච්චි කරමින් ඉමාලි ව සුවපත් කිරීම මට බොහෝ පහසු වුණා. ඔවුන් දෙදෙනාගේ පෙනුම ඇත්තටම එක සමානයි. ඉමාලිගේ ඒ වයසේ ඡායාරූප දියණියගේ දැන් පෙනුමට සියයට සියයක්ම සමාන වුණා. ඒ නිසා ඇගේ විශ්වාසය වෙනස් කිරීම ඉතාම පහසු වුණා.

“ඉමාලි, ඔයාගේ ලස්සන දැක්කේ ලස්සන හදවත් තියන ලස්සන මිනිස්සු. ඔයාගේ ජීවිතේ නාස්ති කරේ ඔයා එක්ක හැමතිස්සෙම තරඟයක් තිබුණු අය.”

මම ඇයට පහසුවෙන් තේරුම් කර දුන්නා. එය ඇය මානසික හිංසනය හරහා දැඩි රෝගී තත්ත්වයකට ලක් වීම වැළැක්වීමට හේතු වුණා. 

දශක හතරක් තිස්සේම ඇය රූපය හන්දා විඳවා තිබුණා. එයට හේතු වී තිබුණේ එකම කාන්තාවක් නිතරම ඇය වටා කැරකෙමින් පැවසූ දේවල්.

“අනේ ඔයාගේ මූණේ ලස්සන ඇඟෙත් තිබ්බනම්”

ඥාති සහෝදරිය එසේ පවසන වාරයක් පාසා ඉමාලිට දැනුණු පීඩාව කියන්නට බැරිතරම් බව.ඇය මා සමග කියා සිටියා.

හොඳ දෙයක් හෝ නරක දෙයක් අපට නිරන්තරයෙන් ඇසෙන්නට පටන් ගත් විට අපි එය අපටත් නොදැනීම විස්වාස කරන්නට පටන් ගන්නවා. කෙනෙක් තව කෙනෙක්ව මානසිකව පහළට ඇද දමන්නට ක්‍රියාකිරීම මිනිමැරුමකට සමාන වන්නේ ඒ නිසාමයි. ඒ වගේම සමහර රටවල මානසික හිංසන නීතියෙන් දඬුවම් ලැබෙන තරමේ වරදක්.

“ඇත්තටම ඥාති සහෝදරියට දැන් සමාව දෙන්න. ඒ වගේම තවත් අයව මේ විදියට හේතුවක් නැතුව මානසික පීඩාවට ලක් කිරීම සම්බන්ධයෙන් එයාටත් මානසික ප්‍රතිකාර අවශ්‍යයි. පුළුවන් නම් එයාව මානසික උපදේශකවරයෙක් වෙත රැගෙන යන්න”

අධික මහත නිසා වාචික හිංසාවට පත් වෙන බොහෝ ගැහැනු අය ඇන්සයිටි, බඩගින්න නිසා එන තරහ, මානසික පීඩනය වැනි තත්ත්වයන් වලට ලක් වෙනවා. ඒ වගේම ආහාර වලට ඇති බිය පවා ඇති වෙන්න පුලුවන්.

හොඳ නිරෝගී අයට පවා මේ Body shaming නිසා ඉක්මනින් මානසික රෝගී තත්ව ඇති වෙන බව අමතක කරන්න එපා. කෙනෙකුගේ වචනවලට තවත් කෙනෙකු පුදුමාකාර ලෙස මානසිකව ඇද දමන්නට පුළුවන්.ඒ වගේම ජීවිතයක් සහමුලින්ම කණපිට පෙරලලා දමන්නටත් පුළුවන්. ඒ නිසා සෑම විටම ඔබේ මුවින් පිටවෙන වචන ගැන සැලකිලිමත් වෙන්න. 

වචන මල් පෙති කරගන්න.පිහි තුඩු කරගන්නට එපා.

Related Articles

Don't Miss


Latest Articles