මතක දිගහැරුම 10- අප්සාරි සිංහබාහු තිලකරත්න

දසවන දිගහැරුම ,

සකුරා මල් පිපෙන සමය යනු ජපානයට උදාවන ඉතාම සුන්දර සමයකි .බැලූ බැලූ අත රෝස පැහැයෙන් සකුරා මල් පිපී පරිසරයට එක් කරන්නේ අමුතුම සුන්දරත්වයකි. Miyajima නැමැති පන්සලක් සහිත දූපතේ සකුරා ගස් රාශියක් තිබුණි. සකුරා මල් පිපෙන සමයට මිනිසුන් බොහෝ දෙනා එම දූපත වෙත යන්නේ ferry නැමැති බෝට්ටු වර්ගයෙනි. විනෝද චාරිකා යනවාක් මෙන් එහි යන අය සකුරා ගස් යට වාඩි වීගෙන කා බී සතුටු වෙති .

ඒ වගේම , සකුරා ගස් ඇති මාර්ග වල ඇවිද යන්නට මා ඉතා ප්‍රිය කළෙමි . සකුරා මල් වැටී ඇති එවැනි මාර්ග අතිශය සුන්දරය. එවැනි අත්දැකීම් මා සිතට අදටත් ඇති කරන්නේ පහන් හැඟීමකි .

ජපානයේ නගරබදව ඇති නිවෙස් බොහෝමයක් ගෙවත්තක් හෝ කුඩා මිදුලක් රහිත වුවද ඉන් එහාට යන විට හැම නිවසකටම අඩුම තරමේ නිවස හැරුණුකොට පර්චස් 10ක හෝ 15ක ගෙවත්තක් අනිවාර්යයෙන්ම ඇත.එම හැම බිම් අඟලකම පාහේ ජපන් වැසියන් වගා කරන්නෙ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමේ වැදගත්කම ඔවුන් ඉතා හොඳින් දන්නා නිසා සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ඔවුන් අගය කරන නිසාය .

ඔවුන්ගේ ගෙවතුවල සියලුම වගා කටයුතු කරන්නේ පවුලේ අය එකතු වී ය . ලොකු සපත්තු සහ තොප්පි පැළදගෙන සියලු දෙනාම සමගියෙන් එළවළු ඇතුළු තමන්ට අවශ්‍ය බොහෝ දේවල් තමන්ගේම ගෙවත්තේ වගා කරති . දේශීයත්වය අගය කරන සහ ආරක්ෂා කරන ඔවුන් පුරාණයේ සිට පැවත එන වගා ක්‍රම තවමත් ඒ ආකාරයෙන්ම පත්වා ගෙන යන අතර ඔවුන් වගා කරන සියළුම බෝග සඳහා භාවිතා කරන්නේ ඔවුන් විසින්ම සකස් කරගත් වස විස කිසිවක් නොමැති පොහොර ය .

ජපානයේ ජීවත් වූ කාලය තුළදී මා විසින් නිතරම කැරට් යුෂ , පළතුරු යුෂ ආදී නැවුම් යුෂ වර්ග පානය කළ අතර ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව මට කිසිදු සැකයක් නොවූයේ එම සියලු එළවළු සහ පලතුරු වස විස වලින් තොර ඒවා බව මා අත්දැකීමෙන්ම දන්නා නිසාය. නමුත් අවාසනාවකට වර්තමානයේ මා හට එවැනි නැවුම් යුෂ වීදුරුවක් සකස් කර ගැනීමට පෙර භාවිතා කරන එළවළු සහ පළතුරුවල ගුණාත්මකභාවය පිළිබඳව සිය දහස් වාරයක් කල්පනා කර බැලීමට සිදුව ඇත. අප රටේ බොහෝමයක් දෙනා අඩු වයසින්ම බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වීමට ,වගා කටයුතු වල දී බෝග වලට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය සහ ඇතැම් පොහොර වර්ග හේතු වී ඇත .

නමුත් ජපානයේ මේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව මා කිව යුතුමය . වයස අවුරුදු 70, 80 ගණන්වල අය පවා ජීවිතයේ රිසිසේ විඳින අතර මගේ ජපන් අම්මාගේ දැන් වයස අවුරුදු අසූවකි . ඇය අදටත් හොඳින් හැඳ පැළඳ තනිවම ශරීර සුවතා මධ්‍යස්ථානය වෙතද යන අතර තමන්ගේ වැඩ කටයුතු තනිව කර ගනිමින් කිසිදු ලෙඩ රෝගයකින් තොර නිරෝගී ජීවිතයක් ගත කරයි. මා ජපානයේ ජීවත් වූ කාලය අතරතුර ද අසනීප වූ අයෙක් පිළිබඳ අසා නැති අතර එවැනි අයෙක් බලන්නටවත් ගොස් නැත .ඒ සියල්ලටම හේතුව ඔවුන්ගේ ජීවන රටාව සහ වස විස වලින් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර භුක්ති විඳීමයි.

මගේ දෙමව්පියන්ගෙන් ලද යහපත් ගති පැවතුම් නිසා සහ ජපානයේ එම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවට හුරු වූ මා අදටත් පිටතින් ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත. මා ඇතුළු මගේ පවුලේ සියලු දෙනාගේම සෑම ආහාර වේලක්ම නිවසේ පිසු සෞඛ්‍යාරක්ශිත සහ පෝෂ්‍යදායි ආහාර වේලක් කර ගැනීම මගේ අරමුණ වී ඇති අතර කාර්යාලයට යන සෑම දිනකදීම පවා මා නිවසේ පිසූ ආහාර රැගෙන යාමට උනන්දු වෙමි . හදිසියේ හෝ පිටතින් ආහාර ගැනීමට සිදුවුවහොත් එය මුළු දිනය පුරාම මගේ සිතට වද දෙන කරුණක් වේ . ඉතාම කලාතුරකින් වෙනසකට මෙන් පිටතින් ආහාර ගැනීමක් හැරුණුකොට අනෙක් සියළුම ආහාර වේල් නිවසේම සකස් කර ගැනීමට මා වග බලා ගන්නවා පමණක් නොව මගේ දරුවන් වෙත ද මා එය හුරු කර ඇත්තෙමි .

ජපානයේ ජීවත්වෙන කාලයේදී ඇතැම් අවස්ථාවල මා මගේ රට ගැන කණගාටු වූ අවස්ථාද ඇත . ජපන් වැසියන් මෙන් සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගී ජීවන රටාවක් ලක් වැසියන් වන අපට අනුගමනය කිරීමට හැකියාව නැත්තේ මන්දැයි මා බොහෝ වර කල්පනා කර තිබේ . අප කුඩා කාලයේ දී පරිසරය සුන්දර කරමින් සැරිසැරූ සමනලයන් ,කණාමැදිරියන් ,පළගැටියන් වැනි සතුන් වර්ග පවා අද අපට දකින්නට නැත්තේ පරිසරයට ඇති වී ඇති විශාල හානිය නිසාවෙනි. වගා කටයුතු වල දී බොහෝ අය භාවිතා කරන විෂ රසායනික ද්‍රව්‍ය නිසා පරිසරයට හිතකර වූ සතුන් පවා දැන් වඳ වී ගොස් ඇත. කෙසේ හෝ ඉදිරි පරපුරට වත් වස විස වලින් තොර ආහාර ලැබෙන ජීවිතයක් ගත කරන්නට ලැබෙන්නේ නම් ඉතා අගනේය .

එක් අවස්ථාවකදී ජපානයට විදෙස් රටවල් වලින් පැමිණි ළමුන් සඳහා ජපන් භාෂා තරගයක් පැවැත්වුනි. මා එයින් දෙවැනි ස්ථානය ලබා ගත් බව අදටත් මා සිහිපත් කරන්නේ මා ගැනම නිහතමානී ආඩම්බරයකිනි .

ශිෂ්‍යත්වය සඳහා ජපානයට පැමිණි ළමුන් සියලු දෙනාටම Fuji කඳු අසල සති දෙකක summer camp එකක් පැවැත්වුණි.ඒ වන විට බොහෝ දෙනාට ජපන් භාෂාව හොඳින් කතා කිරීමට හැකි වී තිබූ අතර එක් එක් රටවල් වල ළමුන් ඔවුන්ගේ අත්දැකීම් අනෙක් අය සමග බෙදා ගත්හ. ජපන් භාෂාව කථා කිරීමට නොහැකි ළමුන් ද සිටි අතර එයට හේතුව වී තිබුණේ ඔවුන්ගේ පවුල් වල අය ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමයි. කෙසේ හෝ එම දින කීපය අපට ඉතා විනෝදජනක දින කිහිපයක් බවට පත්විය .

ශිෂ්‍යත්වය සඳහා පැමිණි ළමුන් බොහෝ දෙනෙක් ඒ වන විට තමන් සිටි නිවෙස් මාරු කර තිබුණි. එය දැනගත් විට මට හැඟුනේ මගේම අම්මා තාත්තා මෙන් දෙදෙනෙක් ජපානයේදී ලැබීමට තරම් මා ඉතා වාසනාවන්ත අයෙක් බවයි . මෑත කාලයේදී මගේ ජපන් අම්මා තෙවරක් පමණ මා බැලීමට ලංකාවට පැමිණි අතර අවසන් වරට පැමිණි අවස්ථාවේ දී මා ඒ බව ඇයට කීවෙමි. එවිට ඇය පැවසුවේ මා ඉතා ගුණ යහපත් දැරියක් වූ නිසාත් ඒ හේතුව නිසා ඔවුන් මට දැඩිව ආදරය කළ බවත්ය. තවද ඇය මට පැවසුවේ මා ජපානයට ගිය අලුත මගේ අම්මා විසින් ඇයට ලියුමක් එවූ බවයි. මවකගේ ආදරයට ජාති භේදයක් හෝ රටවල් භේදයක් නැති බවත් , ලෝකයේ කොතැනක සිටියත් මවකගෙ සිත තුල සෑම දරුවෙකුටම ඇති ආදරය සමාන බවත් , එම ආදරයම මා හටත් දෙන ලෙසත් මගේ අම්මා මෙන් මා රැක බලා ගන්නා ලෙසත් අම්මා විසින් ජපන් අම්මා වෙත යැවූ ලිපියේ සඳහන්ව තිබු බව ජපන් අම්මා පැවසීය. එම ලියුම කියවා තම දෑසට කඳුළු ඉනූ බවත් එතැන් සිට තව තවත් ආදරයෙන් මා රැකබලා ගැනීමට තමන් සිතා ගත් බවත් ජපන් අම්මා මට පැවසීය . ඇත්ත වශයෙන්ම සැබෑ අම්මලා දෙදෙනෙකුගේම ආදරය ලැබීමට තරම් මා අතිශය වාසනාවන්ත දැරියක වීමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles