තමා මියැදෙන බව දැනගෙන සැමියාගේ අනාගත පෙම්වතියට බිරිඳ කියූ දේ

ආදරය සහ විවාහය තුළ කැපකිරීම් සහ පරිත්‍යාගයන් කරන්නට සිදු වෙන අවස්ථා ඕනෑ තරම්. සමහරවිට සමහරුන් කරන දේවල් අපට සිතන්නටවත් බැරිතැනක තිබෙනවා.මියැදෙන බව හොඳින් දැන සිටි බිරිඳක් තමන්ගේ සැමියා අනාගතයේ විවාහ කරගන්නා බිරිඳට වීඩීයෝ පටයක් පටිගත කිරීම අතිශය සංවේදී කතාවක්.

එමිලි සහ රයන් දරුවෙක් වෙනුවෙන් දිගු කාලීනව සිහින දුටු යුවලක්. එක්තරා අවස්ථාවක මේ සිහිනය ඉටු වෙනවා. ඔවුන් දියණියකගේ දෙමාපියන් බවට පත් වෙනවා. නමුත් එය සිහින අතරට එකතු වන්නේ ඔවුන්ගේ දුව උපතේදීම මළ දරුවෙක් වූ නිසා.

මවකට සහ පියෙකුට ඊට වඩා වේදනාවක් ඇත්තේ නැහැ. ඔවුන් ඒ සිදුවීම නිසා දැඩි මානසික පීඩාවකට පත් වෙනවා.එසේ තිබියදීත්, එමිලි සහ ඇගේ සැමියා රයන් සිහිනය අත්හැරීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ට කවදා හෝ නැවත දරුවෙකු ලැබීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වූවා. එමිලි දුර්ලබ සංකූලතා වලට මුහුණ දෙමින් සිටින බව ඔවුන් සොයා ගන්නා තෙක්ම ඔවුන් මෙම සිතුවිල්ලේ රැඳී සිටියා.

එමිලි බඩවැල ආශ්‍රිත රෝගී තත්ත්වයකට ලක් වූ අතර ඇගේ සම්පූර්ණ කුඩා අන්ත්‍රය ඉවත් කිරීමට සිදු වුණා. ශල්‍යකර්මයෙන් පසු ඇයට කන්නට බොන්නට හෝ කිසිවක් ගිල ගැනීමට නොහැකිව කිහිප වතාවක්ම මරණය අද්දර සිටින්නට සිදු වුණා.දරු ප්‍රසූතියෙන් පසු එමිලි අත්විඳිමින් සිටි  හෝර්මෝන වෙනස්කම් ද තිබුණා. ඒ අතර රෝගී තත්ත්වය උත්සන්න වන්නට පටන් ගත්තා.ඇයගේ ප්‍රධාන අවයව බොහොමයක් අහිමි වූ අතර දිවි ගලවා ගැනීම සඳහා හදිසි බද්ධ කිරීමක් අවශ්‍ය වී තිබුණා.අවයව බද්ධ කිරීම ඇයට සහ ඇගේ ස්වාමිපුරුෂයාට ලබා දුන් බලාපොරොත්තුවේ දීප්තියක් වුණත් ඒ ආලෝකය තවමත් ඇයට තර්ජනය කරන මරණයේ හැකියාව සමඟ පැමිණියා.ශල්‍යකර්මය ජීවිතයට තර්ජනයක් වන ක්‍රියා පටිපාටියක් වූ අතර ඇය එයට කොහොම මුහුණ දේවිදැයි ඇයට විශ්වාසයක් තිබුණේ නෑ.

ශල්‍යකර්මය අතරතුර යම් දෙයක් වැරදී ගියහොත් යැයි සිතා එමිලි ඇගේ මිතුරන් සහ පවුලේ අය අමතා වීඩියෝ කිහිපයක් පටිගත කිරීමට තීරණය කළා.ඒවා අසා ඔවුන් සියල්ලන්ම කඳුළු සලමින් සිටි නමුත්, ඇය තම සැමියාගේ ඊළඟ බිරිඳටද වීඩියෝවක් හරහා ඇමතීමෙන් පසු ඒ වීඩියෝ පටය බොහෝ ප්‍රසිද්ධියට පත් වුණා.

වීඩියෝව පළ කළ දා සිට මිලියන 3 කට වඩා වැඩි පිරිසක් නරඹා ඇති අතර එය කිසිවකුට පටිගත කිරීමට සිදු නොවිය යුතු හද කම්පා කරවන වීඩියෝවක්. ඇය ඒ නොදන්නා  කාන්තාවට ස්තූති කරමින් වීඩියෝව ආරම්භ කළා.

“මගේ ස්වාමිපුරුෂයාට ආදරය කිරීම ගැන ඔබට ස්තූතියි. මට සමාවෙන්න මම ඔබ ගැන ඉරිසියා කරනවා. මම ඇත්තටම බලාපොරොත්තු වූ ජීවිතය ඔබට ලැබෙනවා. ඔබට රයන් සමඟ ජීවත් වීමට ලැබීම ගැන මම ඊර්ෂ්‍යා කරනවා.”

ඉන්පසු එමිලි ඔවුන්ගේ ආදර කතාව විස්තර කරනවා. රයන් ආදරය ලැබීමට සුදුස්සෙක් නිසා ඇය මියගියහොත් ඔහුට අනිවාර්යයෙන් ම කාන්තාවක් ආදරය කළ යුතු බව ඇය තරයේම පවසා තිබුණා. මේ හද කම්පනය කරන වීඩියෝපටය අන්තර්ජාලයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වුණා.

මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල ඔයා, ඔයා එයාව හොයාගත්ත එක ගැන මට ගොඩක් සතුටුයි,ඔයා හරිම වාසනාවන්තයි එයා ඔයාට අවස්ථාවක් දීලා ආයෙත් ආදරය කරන්න තෝරගත්තා.” ඇය එසේ පවසන්නේ හඬමින්.

කීමට අවශ්‍ය සියල්ල ඇය දැනටමත් පවසා අවසන් වූ පසු, ඇය තම සැමියාගේ ඊළඟ බිරිඳට උපදෙස්  කිහිපයක් ලබා දුන්නා.ඇය රයන් කෙරෙහි කරුණාවන්තව ආදරය කරන්නේ නම්, ඔහු ඇයට හොඳම ස්වාමිපුරුෂයා වනු ඇති බවට එමිලි සහතික වුණා.

“මගේ රයන් ට ආදරය කිරීම ගැන ඔබට ස්තුතියි. ඔහු දැන් ඔබේ . මම ඔබ දෙපළ දෙස ආකාසයේ සිට බලන්නම්” ඇය වීඩියෝව අවසන් කළා. වීඩියෝව පටිගත කිරීමට එමිලිට විශාල ධෛර්යයක් අවශ්‍ය වූ අතර, ඇයගේ නිර්භීතකම ගැන මිනිසුන්  ඇයට ප්‍රශංසා කළා.

ප්‍රේමය පරිත්‍යාගයක්. තමන් වෙනුවෙන් කැප වූ සැමියාට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කළ එමිලි ලෝකයේ කොහේහෝ ජීවත් වන තරුණියකට එසේ ආමන්ත්‍රණය කළා.

නමුත් දෛවය කුරිරු වූයේ නෑ. එමිලි සියළුම ශල්‍යකර්ම සාර්ථකව අවසන් කළා. ඇයට දරුවෙකු කුස දරන හැකියාව සදහටම අහිමිව තිබෙනවා.නමුත් ඔවුන් මේ වෙද්දී සරොගසි ක්‍රමයට දරුවෙක් ලබා ගන්නට සූදානම්.

ප්‍රේමය නම් තමන් ආදරය කළ කෙනාට සදාකල් සතුට පැතීම නොවේද?

Related Articles

Don't Miss


Latest Articles