හිංසන දරාගත නොහැකිව දික්කසාදය තෝරා ගත් බිරිඳ

සත්‍ය සිදුවීමක් ඇසුරිනි.වෘත්තිය සදාචාරය සඳහා නම් ගම් මනංකල්පිත වේ.

සඳරේකා ජීවිතයේ අප්‍රමාණ බාධා මැදින් තමන්ගේ සිහින සම්පූර්ණ කරගත් යුවතියක්.කොළඹට ඉතා දුර බැහැර ප්‍රදේශයක උපත ලැබූ ඇගේ මව සහ පියා එතරම් ආදායම් උපයූ අය නොවේ.ඉගෙනීමට ඉතාම දක්ෂ සඳරේඛා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්නේ ඉතා මහන්සිවී අධ්‍යාපනය හැදෑරීමෙන් පසුවයි.මේ වෙද්දී වයස විසි එකක් වන ඇයට පියා අහිමිවී ගොස් දැනට පස් වසරක් පමණ ගෙවී ගොස් තිබෙනවා.සඳරේකාට අම්මා හැරෙන්නට සිටින්නේ අක්කා පමණයි.ඇය ඉතා සමාජශීලී තරුණියක්.ඉගෙන ගන්න අතරම රාජ්‍ය නොවන සංවිධානයක රැකියාවක් කරන්නට සඳරේකා තීරණය කළේ අම්මාට ඇගේ බර නොදැනෙන්නටයි.

“ඔය කතාව සඳාට කිව්වොත් උදව් නොකර ඉන්නෙ නෑ සහතිකයි.”

පෞද්ගලික ප්‍රශ්නයක් හෝ අධ්‍යාපනික ප්‍රශ්නයක් මතුවූ වහාම ඇගේ මිතුරියන්ටත් මිතුරන්ටත් සිහිවන්නේ සඳරේකාව.නිතරම අනිත් අයට උදව් කරන,ඉතා සුහදශීලී තරුණියක් වන ඇය එවැනි ගති ගුණවලින් හෙබි තැනැත්තෙක්.

උසස් අධ්‍යාපනය ලබන අතර ඇය නිරත වූ ඇගේ පාට්ටයිම් ජොබ් එක තුළ ඇය විශාල දෙයක් කළේ නැහැ.එය ඉතා සුළු රැකියාවක් වුණා.ලිපිකාරිනියක මට්ටමේ රැකියාවක් තමයි ඒ.ඇගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ නිමල්.ඔහු සඳරේඛාට වඩා වසර පහලොවක් පමණ වැඩිමහල් කෙනෙක්.ඔහු හදිසි අනතුරකට ලක් වන්නේ ඒ අතරේදී.පාදය ආබාධයකට ලක්වීම නිසා නිමල්ට දිගුකාලීනව ඇඳ විවේකය ගන්නට සිදු වෙනවා.රැකියාව කරන ස්ථානයේ හැම කෙනකුම සමඟ හොඳ හිත පවත්වා ගත් සඳරේකා ඔහුට උදව් උපකාර කරනවා.නිමල් එක්තැන්ව සිටින අතරේම කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යන්නට වග බලා ගන්නවා.නිමල්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ගනුදෙනු කරන්නට සිදුවන්නේ සඳරේඛා සමඟයි.ඒ නිසා ඔවුන් දෙදෙනා අතර සමීප හිතවත්කමක් ඇති වනවා. නිමල් ජොතිශ්‍ය හදාරා ඇති කෙනෙක්.ඔහු සඳරේකාගේ කේන්දරය දවසක් පරීක්ෂා කරනවා.සඳරේකා විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ සිසුවියක් කාලයේ ඇයට විවාහ යෝජනාවක් ගෙන එන්නට නිමල් කටයුතු කරනවා.ඒ කාලයේදී ඇගේ ඉගෙනීම් කටයුතුවලට පවා ඔහු උදව් කරමින් සිටිනවා.එම හේතු කාරණා නිසා සඳරේකා මේ විවාහ යෝජනාවට කැමැත්ත පළ කරනවා.නමුත් මේ වෙද්දී නිමල්ගේ පාදයේ යම් ආබාධිත තත්ත්වයක් ද පවතිනවා.නිමල් තම රැකියාවට අමතරව ජොතිශ්‍ය කාර්යාලයක් ද පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටිනවා 

“ඔයා ඔයාගේ ගෙදර ආවා මට මුණ ගස්වන්නේ නැත්තේ?”

විවාහයට කාලයක් ගෙවී ගියත් ඒ ප්‍රශ්නය සඳරේකාට තිබෙනවා.නිමල් ඒ ප්‍රශ්නයට යහපත් පිළිතුරක් ලබා දෙන්නේ නැහැ.

සඳරේකාට රාජ්‍ය ආයතනයක රජයේ සේවිකාවක ලෙස පත්වීමක් ලැබුණු පසු ඔවුන් කොළඹ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙනවා.ඇය පශ්චාත් උපාධියට ද සූදානම් වෙමින් පවතිනවා.ඒ කාලයේදී ඇය යම් යම් අර්බුද ඉගෙනීම් කටයුතු සම්බන්ධයෙන් ඇති කරගන්නට පටන් ගන්නවා.සමීපතමයන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඒ ගැන ඇයගෙන් විමසුවත් ඇය කිසිම ප්‍රශ්නයක් නැති බව පවසන්නට වග බලා ගන්නවා.

“මට ප්‍රශ්නයක් තියනවා හැබැයි ඒක කාටවත්ම කියන්න බෑ.”

ඇය අවසානයේ එසේ පැවසූ අවස්ථාවක ඇගේ ආචාර්යවරයෙක් ඇයව මනෝ උපදේශනයට යොමු කරන්නට වග බලා ගන්නවා.

මේ ඇගේ කතාව සහ ඇයට සිදු වී තිබූ දේ සම්බන්ධයෙන් මනෝ උපදේශක අනුරාධ ජයසිංහ මහතා පවසන කතාවයි.

මේ වෙද්දි සඳරේකාගේ විවාහයට වසර දෙකක් පමණ ගෙවී ගොස් තිබුණා.ඔවුන් දෙදෙනා අතර බොහෝ ගැටුම් ඇති වෙමින් තිබූ කාලයක් ඒ.

“මේ වෙද්දී නිමල් ගෙදරින් කෑම කන්නෙත් නෑ සර්.මම වෙනම උයාගෙන කන්නෙ.තමුසෙ මගෙ කෑමකට වහවත් දැම්මොත් කියලා එයා නිතරම කියනවා.”

සඳරේකා මට එසේ පැවසුවා.

“මම ඉගෙන ගන්නට නිමල්ගේ එතරම් කැමැත්තක් නෑ කියලා මට හිතෙන්න අරගෙන තියෙන්නේ.මගේ ටියුට් විසිකරනවා.මගේ ලෙක්චර්ස් තියන දවසට මට ගහනවා.මට මේවා කාටවත් කියන්න විදිහක් නෑ.අක්කා ඉන්නෙත් ගමේ.කොළඹ මට උදව්වට කවුරුත් නෑ.නිමල්ට ගොඩක් බලවත් හිතවත්තු ඉන්න නිසා මට කිසිම විසඳුමක් නෑ.”

 හරිහැටි නින්දක් නොමැති,ආහාර රුචියක් නැති,නිතරම සෘණාත්මක අදහස් වලින් පෙලෙන සඳරේකාට මේ වෙද්දි විශාද තත්ත්වයක් ඇති වෙමින් පවතින බව මට වැටහුණා.

“රස්සාවට ගියාම,කැම්පස් එකට ගියාම මම අමාරුවෙන් අනිත් අයත් එක්ක හිනාවෙලා ඉන්නවා ඒත් මම ඉන්නේ හිතින් අඬන ගමන්.”

සඳරේඛා ඉතාම සම්ප්‍රදායික යුවතියක්.විවාහ ජීවිතයේ බොහෝ ගැටලු ඇතත් දික්කසාද වීම හෝ විවාහය අත්හැර ගැනීම කාන්තාවකට විය හැකි දරුණුම අපරාධය බව ඇය විශ්වාස කරනවා 

“ඊට පස්සේ දන්න කියන අයට නෑදෑයින්ට කියන්නේ මොකක්ද?”

ඒක තමයි ඇයට තිබුණු ප්‍රශ්නය.ඇයට ඒවාට මුහුණ දීමට ශක්තියක් නැහැ.

මේ වෙද්දි නිමල්ට වෙනත් සම්බන්ධතාවයක් පැවතුණා.ඔහු සඳරේඛාට පෙනෙන්නට ම ඒ සම්බන්ධය ඉදිරියට පවත්වාගෙන ගියා.ඇයට ඇසෙන්නට පෙනෙන්නට ම අනියම් බිරිඳට ඇමතුම් ලබා ගන්නට ඔහු කටයුතු කළා.

“මාව කසාද බඳින්න කලිනුත් නිමල් මැරි කරල හිටපු කෙනෙක්. මම ඒක පස්සෙ තමයි දන්නෙ.එතනදිත් මාව රැවටීමට ලක් වෙලා.”

මේ සියල්ලම දැනගත් නමුත් සඳරේඛාට කිසිම විකල්පයක් පෙනෙන්නේ නැහැ.ඇයට තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ.පීඩනයෙන් පෙළෙන ඇයට විසඳුම් සෙවීමට මම ආරම්භ කළේ ඉන්පසුවයි.

ඔවුන්ට ඇත්තේ පිටතට පෙනෙන ලෙස හොඳින් පවත්වාගෙන යන විවාහයක්.ඔවුන් පිටත සමාජයට පෙන්වන්නේ ඔවුන් ඉතාමත් ආදරයෙන් ජීවත් වන යුවළක් බවයි.නමුත් වසරක් පමණ තිස්සේ ඔවුන් අතර විශාල අර්බුද පවතින බව දන්නේ ඔවුන් දෙදෙනා පමණයි.

කෙසේ නමුත් සඳරේඛා පමණක් උපදේශනයට පැමිණි නිසා ඇය ඉදිරිපත් කළ ගැටළු අනුව ඇයගේ ජීවිතය සම්බන්ධයෙන් කළ හැකි වඩාත්ම යහපත් දේ කිරීමට පමණක් හැකියාව ලැබුණා.

ගැටලුව ඉදිරිපත් කළ මම මුලින්ම ඔවුන්ට පවුල් උපදේශනයට ආරාධනා කළ ද සඳරේකා එය කරන්නට අකමැති වීමත් පසුකාලීනව ඉල්ලීම් කළ ද නිමල් එය තරයේ ප්‍රතික්ෂේප කිරීමත් නිසා සඳරේකාගේ පාර්ශවයෙන් සඳරේකාට ජීවිතය සම්බන්ධයෙන් වඩා හොඳ තීරණයක් ගැනීමට අවශ්‍ය මනෝ උපදේශන සහය ලබා දීම මට කළ හැකි වුණා.

එහිදී විටින් විට ක්‍රමිකව සඳරේකා මනෝ උපදේශනයට යොමු වුණා..සඳරේඛාට නිමල් සම්බන්ධයෙන් සිතු දේ වූයේ සඳරේඛා තමන්ට වඩා ඉහළට යාම සම්බන්ධයෙන් ඉරිසියාවක් සහ ඔහුට තමන් සම්බන්ධයෙන් හීනමානයක් ඇති බවයි.සහ අසීමිත කාන්තා ඇසුරට ලොල් වීම නිසා ඔහුට අසාමාන්‍ය ලිංගික ආශාවක් ඇති බවයි.ඔහු ඇය ගැන සැලකිලිමත් වූයේ ද නෑ.නමුත් නිමල් උපදේශනයට සහභාගී වීම් ප්‍රතික්ෂේප කිරීම නිසා සඳරේකා කොතරම් නිවරැදිද එහි සදොස් තැන් ඇතිදැයි සෙවීමටත්  පවුල සම්බන්ධයෙන් නිමල් තිබු ගැටලු සහ ඔහුගේ ජීවිතය තුළ තිබූ ගැටලු හඳුනා ගැනීමට හැකියාවක් නොවූ නිසා ඔහුට උදව්වක් ලබා දීමට හැකි වූයේ නැහැ.

“පවුල ඉදිරියට පවත්වාගෙන යනවද?වෙන් වෙනවද?”

ඒ කාරණාව සම්බන්ධයෙන් සඳරේකා සෘජු තීරණයක් ගත යුතු වුණා.මෙය පවුල තුළ අර්බුදවලට ලක් වී සිටින බොහෝ කාන්තාවන්ට ගත නොහැකි වී ඇති තීරණයක්.මෙය කාන්තාවන් බොහෝ ගැටලුවට ලක් වෙනවා.මෙතනදී විවාහය පවත්වාගෙන යා හැකි යුවලවල් වෙන් වීමද විශාල ගැටලු ඇති අය එක්ව ජීවත් වීමද තෝරා ගන්නවා.මේ තෝරාගැනීම් එකිනෙකාට අනන්‍ය වූ අවස්ථා තිබෙනවා.මේ කාරණා දෙක තුලින්ම ගැටලු තවදුරටත් සංකීර්ණ වෙනවා.ජීවිතය විඳවීම ඉතිරි වෙනවා.

ඇයට සැබෑවටම අවශ්‍ය වූයේ නිමල් ගෙන් වෙන්වීමටයි.ඇයට ඒ සදහා ශක්තියක් හෝ ධෛර්යයක් තිබුණේ නැහැ.ඉන්පසු සමාජයට මුහුණ දීමට ඇයට තිබුණේ විශාල බියක්.

රාජකාරි කටයුත්තකට කොළඹින් පිටතට යන්නට නිමල්ට සිදුවන්නේ ඒ අතර.පිටත් වූ දවසේ උදෑසන ඔවුන් දෙදෙනා අතර විශාල ගැටුමක් ඇතිවී නිමල් සඳරේඛා ට පහර දෙනවා.තීරණයක් ගන්නට සුදුසුම මොහොත පැමිණ ඇති බව සඳරේඛා ට වැටහෙන්නේ ඉන්පසුවයි.ඇය නිමල්ට ගෙදරින් පිටත් වන්නට හැර තමන්ට ජීවත් වීමට තැනක් සොයා ගන්නවා.

“මට තවදුරටත් මේක ඉවසගෙන ඉන්න බැහැ. මම ගෙදරින් යනවා මම වෙන් වෙන්න් තීරණය කළා.”

නිමල්ට එසේ දන්වන ඇය පහර කෑ තුවාල සමග පොලිසියට ගොස් පැමිණිල්ලක් දමන්නට කටයුතු කරනවා.

මේ මොහොත වන විටත් සඳරේඛා හිඳින්නේ තීරණ ගැනීම සම්බන්ධයෙන් දුර්වල අඩියක.ඇයට විශ්වාසය ඇති කර ගැනීම සහ තීරණ ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම උපදේශනය අවශ්‍ය වෙනවා.එයින් පිටතට විත් ජීවිතය පවත්වාගෙන යන ආකාරය ගැන ඇයට විශාල ලෙස උදව් අවශ්‍ය වෙනවා.ප්‍රතිකාර නිවැරදිව ලැබෙද්දී ඇය ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගන්නට නිර්භීතව කටයුතු කරනවා.මෙහිදී වෘත්තිය වශයෙන් උපදෙසක් ගන්නවානම් කාන්තාවන්ට සවිබල ගැන්වීම පහසුයි.

සඳරේඛා දික්කසාද නඩුවක් පවරා දික්කසාදය ලබා ගන්නට කටයුතු කරනවා.නමුත් ඇයට මුල් කාලයේ එය තමන්ගේ රාජකාරි ස්ථානයට වත් පවසන්නට ධෛර්යයක් නැහැ

“මහත්තයා රට ගියා”

එසේ පවසමින් හිඳිනා ඇයට යථාර්තය පිලි ගැනීමේ වැදගත්කම ගැන ද උපදෙස් ලැබෙන්නේ මනෝ උපදේශනය හරහා.නිවැරදි උපදේශනය ඔස්සේ සම්පූර්ණ සුවපත් භාවය ලබන ඇය මේ වෙද්දි සිටින්නේ වෙනත් සාර්ථක විවාහයක් කරගෙන විදෙස් රටක පදිංචියට ගොසින්.

අසාර්ථක විවාහයකින් ඉවත්වීමට බොහෝ කාන්තාවන්ට ඇත්තේ බියක්. පවුලක් සම්බන්ධයෙන් උපදේශන ලබා දෙද්දී ඒ පවුල එකතු කළ හැකි අවස්ථා තිබෙනවා.නමුත් ඔබ හිඳින්නේ ඉතාම විෂ සහිත සම්බන්ධතාවයක නම් ඔබ කළ යුත්තේ ඉන් ඉවත් වීමයි.

“රට්ටු මොනවා කියයිද?”

එසේ සිතෙන තුරු ඔබට සැනසීමක් ලැබෙන්නේ නැහැ.ඔබ ඔබේ අභ්‍යන්තර සාමය පවත්වා ගැනීම ඉතාම වැදගත්.මේ සම්බන්ධයෙන් ගත යුතු හොඳම තීරණය ගන්නට කාන්තාවක් ලෙස ඔබට ශක්තිය තිබිය යුතුමයි.තමන් විවාහ වූ පුද්ගලයා වෙනස් කළ නොහැකි බව වටහා ගත් විට ඉන් මිදෙන නිවැරදි මාර්ගය තෝරා ගන්නට ඔබ බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා.එවැනි තීරණයක් ගැනීමට ප්‍රමාද වීම හෝ නොගෙන සිටීම ඔබ අනාගතයේ දී පසුතැවිලි වීමට හේතුවක් විය හැකියි.එසේම ඒ ගන්නා තීරණය ගැන ද ඔබ අනාගතයේදී කිසිලෙසක පශ්චාත් වීම නම් සුදුසු නැහැ.හරි මඟ පෙන්වීමක් සහිත ගන්නා තීරණ ඔබට එවැනි පසුතැවීම් නැති කරන්නේ නැහැ.වඩා යහපත් දේ කිරීම සඳහා කළ හැකි සියළුම උත්සාහයන් ඔබ ගත යුතුමයි.සමහර අවස්ථාවන්වලදී අපි සමහර තීරණ ගන්නට උත්සාහ කළත් ඒ වෙනුවෙන් අපට ශක්තියක් ඇති වන්නේ නැහැ.අන්න ඒ අවස්ථාවන් වලදී උපදේශනය අපට වැදගත් වෙනවා.සඳ රේඛාට මේ මොහොතේ ලැබුණේ ද ඒ ශක්තියයි.

තමන් විෂ සහිත සහකරුවෙක් නිසා දිගින් දිගටම අපහසුතාවයට ලක්වනවානම් ඉන් මිදෙන්නට ඕනෑම කෙනෙකුට පූර්ණ අයිතිය තිබෙනවා.එය ගැහැණු හෝ පිරිමි ලෙස වෙනස් වන කාරණාවක් නොවේ.කාන්තාවන් බොහෝවිට ඕනෑවට වඩා ඉවසීමට උත්සාහ කරන අතර එය ඔබට ඔබ අහිමි කරවන කාරණාවක්.පවුලක් කියන්නේ සහයෝගය සහ ආදරය සමඟ ඉදිරි බලාපොරොත්තු සහ අනාගත අරමුණු වෙනුවෙන් එක්ව කටයුතු කරන ඒකකයක්.එහි නිරන්තරයෙන් අඩදබර පවතිනවා නම් ඔබට ඔබේ අරමුණු වෙත ඇවිද යන්නට බැහැ.ඔබට කිසිම මානසික නිදහසක් පවතින්නේත් නැහැ.ඒ නිසා ඕනෑම අවස්ථාවක සම්බන්ධයෙන් ඉවත් වීමට ඔබට අයිතිය තිබෙනවා.නීත්‍යානුකූලව ඉන් ඉවත් වූ පසු ඔබට බලපෑම් කරන්නට කිසිවෙකුට හැකියාවක් නැහැ.මානසික නිදහස සම්බන්ධතාවයක් තුළ අංක එක විය යුතුමයි.විශ්වාසය සහ අනෙකාට ගෞරව කිරීම සම්බන්ධතාවයක් තුළ පැවතිය යුතුමයි.ඒවා සම්බන්ධයෙන් සැලකිලිමත් වූ විට ඔබට හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම අසීරු වන්නේ නැහැ.

මානසික නිදහස නැති තැනකින් ඉවත්වීම ඔබේ අයිතිය බව අමතක කරන්නට එපා.

Related Articles

Don't Miss


Latest Articles