අසල්වැසි වත.

මාෂි මිදුලේ තිබුණු මල් පෝච්චි එහෙ මෙහෙ කරේ සතුටකින්.”තමන්ගෙම ගෙයක්” ඇගෙත් කසුන්ගෙත් හීනය මේ තරම් ඉක්මනින් ඉෂ්ට වීම ගැන මාෂිට සන්තෝසයක් දැනෙනවා.මාෂි ගේ දිහා බලාගෙන හිටියේ ඒ ආසාවෙන්.කසුන් ජල නල කාර්මිකයෙක් වෙලා.අනිත් දවසට කම්පියුටර් එක බදාගෙන ඉන්න එකෙක් අද තමන්ගෙ ගෙදර වැඩ කරාම මොකද? මාෂි සිතුවේ හිනාවෙන ගමන්.

කෙටි ලී වැටට උඩින් මූණක් එබුණේ ඒ වෙලාවේ.

“ඔයාලා ද මේ ගේ ගත්තෙ?”

වයස්ගත පෙනුමක් සහිත ආන්ටි කෙනෙක් ලී වැටට උඩින් එබිලා බලන් ඉන්නවා.

“කුලියට වෙන්න ඇති..”

නිවස මුදලට ගත්ත බව කියනකොට මුහුණ පොඩ්ඩක් අඳුරු වුණත් ආන්ටි දිගටම විස්තර අහන්න ගත්තා.

“ලස්ස අනූවක් කියන්නෙ වැඩියි.ඕක පරණ ගෙයක්.”

නගරයට ආසන්න ගෙයක් මේ ගානට පාඩු නෑ කියලා දන්න හැමෝම කියපු හැටි මාෂාට මතක් වුණත් මාෂා මොකුත්ම නොකියා හිනා වුණා.ආන්ටි දිගින් දිගටම මාෂාගෙන් සහ කසුන්ගෙන් විස්තර අහන්න අමතක කරේ නෑ.

“එන්න ආන්ටි තේ එකක් බොමු..'”

සීනි තියන නිසා තේ අගුණ බව කිව්ව ආන්ටි ඊටපස්සේ මාෂාට ලේන් එකේ අය ගැන චරිත සහතික දෙන්න පටන් ගත්තා.

“මේ ඉස්සරහ ගෙදර අය ඉන්නෙ.ආමි එකේ හිටිය ලොක්කෙක්.අන්න ඒ උඩඟුමකින් ඉන්නෙ තාම.කාවවත් ගණන් ගන් නෑ.කුලසේකරලා මේ ගේ කුලියට දුන්නු හැමපාරම ඒ ආපු මිනිස්සු මාසෙන් ආපහු යැව්වා.මොනවහරි කියලා පොලිසියට පැමිණිලි කරනවා..”

මාෂි කසුන්ගේ මුහුණ දිහා බැලුවේ කරදරයෙන්.බඩු අස් කරනකොට ඒ දිහා බලන් හිටිය නපුරු පාට වියපත් පිරිමියා මාෂිට මතක් වුණා.

“කතාබහට යන්නෙපා දුව.ඕනෑ දෙයක් තිබ්බොත් මට කියන්න..”

දුරකථන අංකයත් දීපු ආන්ටි යන්න ගියේ එහෙම කියාගෙන.

“අපිට ඉතින් වැඩක් නෑනෙ.අපි කාටත් හෙලෝ හායි කියල ඉමු.කේලම් අහන්නත් එපා මාෂි,ඒ වගේම මිනිස්සු ගැන තීරණ ගන්න හදිසි වෙන්නත් එපා.”

කසුන් එහෙම කියද්දී මාෂි ඔලුව වැනුවේ ඒ කතාවට එකඟ වෙන්න හිතාගෙන. අලුත් ගේ පිළිවෙළකට අස් පස් කරගත්තට පස්සෙ ඔෆිස් යන්න එන්න මිසක් අහළ පහළ ගැන හිතන්නවත් මාෂිලාට වෙලාවක් තිබ්බේ නෑ.

“ගුඩ්මෝනිං අංකල්.”

දවසක් රැකියාවට පිටත් වෙනකොට ජොගින් කරමින් හිටිය විශ්‍රාමික හමුදා නිලධාරියට කසුන් සුබ පැතුවා.පිළිතුර හිස වැනීමක් විතරයි.

“අර මාලිනි ආන්ටි ඇත්ත කීවදත් මන්දා.අනේ ගණන් ගත්තෙම නෑ..”

මාෂි කිව්වේ නුරුස්සන හඬකින්.කසුන්ට ඕවගෙ ගාණක් නෑ.

“මාෂි..අද මං රෑ වෙනවා.ඔයාට තනියම ඉන්න පුලුවන්ද? නැත්නම් ඔයා අමන්දලගෙ ගෙදර ඉන්න මං එනකම්..”

එක දවසක් කසුන් එහෙම කියද්දී මාෂිට ඒ ගැන කේන්තියක් දුකක් ආවේ නෑ.සමහර ව්‍යාපෘති වෙනුවෙන් දිවා රෑ නැතුව මහන්සි වෙන එක කසුන්ගේ රස්සාවේ හැටි.

“ඉතින් අනේ මං කලිනුත් හිටියේ.ඕක ඒ හැටි දෙයක් ද?”

මාෂි එහෙම කියනකොට කසුන් කීවේ වෙන කතාවක්.

“නෑ..ඒ කාලෙ අපේ ඇනෙක්ස් එකේ ආන්ටි ඉතින් ඔයා කැරපොත්තෙක්ට බය වුණත් දුවන් එනවනෙ.මං කියන්නෙ අපි මේ පළාත හරියට දන් නෑනෙ..”

ඒ කතාවේ ඇත්තක් තිබුණත් මාෂිට තමන්ගෙම ගෙදර ඉන්න බයක් තිබුණේ නෑ.ඉතින් එදා හවස ඔෆිස් ඉවර වෙලා ඇවිත් හොඳට දොරවල් වහගත්තු මාෂි උයන පිහින වැඩ ඉවර කරලා කාමරේට ආවේ ෆිල්ම් එකක් බලන්න හිතාගෙන. කසුන් නැතුව ඒකටත් කම්මැලි හිතෙනකොට ෆේස්බුක් යන්න මාෂිට හිතුණා.
යාළුවන්ගේ ෆොටෝස් බල බල,හිනා වෙවී ඉන්න අතර මාෂිට යමක් ඇහෙන්න ගත්තා.

සද්දයක්!

ඕනෑවට වඩා හොල්මන් චිත්‍රපටි බලපු එකේ විපාක කියලා හිතපු මාෂි ආයේ හොඳින් ඇහුම්කන් දුන්නා.සද්දයක් ඇහෙනවා!

කාමරේ අගුලු දාගත්තු මාෂි කරන්න දෙයක් හිතන්න පටන් ගත්තා.ඒත් හිතා ගන්න බෑ.හෙමින් සීරුවේ ජනේලයෙන් බලනකොට කවුද ඇවිදිනවා පේනවා.මාෂිගෙ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා.කරන දෙයක් හිතා ගන්න බැරුව මාෂි ආයෙම සැරයක් දුරකථනය අතට ගත්තා.කසුන්ට කීවට කසුන් මොනවා කරන්නද?පොලිස් හදිසි ඇමතුම් අංකයට කලින් මාෂිට මතක් වුණේ මාලිනි ආන්ටිව.

“අනේ කවුද ඇවිල්ල ආන්ටි..මිදුලෙ ඇවිදිනවා..”

ඒත් මාලිනි ආන්ටිගේ උත්තරය වුණේ ගේ ඇතුලට වෙලා ඉන්න කියන එක විතරයි.තරුණ ගෑනියෙක් ඉන්න ගෙයක් අස්සට පනින හොරෙක් මොනවා නොකරයිද කියලා හිතෙනකොට මාෂිට ඇඬෙන්න ගත්තා.

පොරබැදීමක් සහ පහරදීමක් ඇහුණේ අන්න ඒ වෙලාවේ!

“දූ විතරයි ඇත්තෙ.දුව…ඔයා ඉන්නවද?”

ඒ කාරුණික හඬ මාලිනි ආන්ටිගෙනම් නෙවෙයි.ඒත් මාෂි ඉකිලන අතරේ ගිහින් දොර ඇරියා.එළියේ ඇවිදිමින් හිටිය මිනිහා කටින් ලේ පෙරාගෙන බිම ඉඳගෙන ඉන්නවා.ආඩම්බරකාර අසල්වැසියා ඔහු දිහා බලාගෙන ඉන්නේ නපුරු ඇස් දෙකකින්.

“දුව..අපිට සැක හිතුණු නිසා බැලුවෙ.අංකල් පාරවල් දෙකයි ගැහුවෙ.මං පොලිසියටත් කතා කරා.අපි ගේ ඇතුළෙන් ඉමු..”

මහ ආඩම්බරකාර විස කට්ටක් කියලා මාලිනි ආන්ටි කිව්ව හමුදා නිලධාරියාගේ බිරිඳ මාෂි එක්ක ගේ ඇතුළට ආවා.මේ පළාතට හොරු නොඑන බවත් අලුත් ගේ නිසා සමහරවිට එන්න ඇති බවත් කියමින් ඇය මාෂිගේ බිය තුරන් කරා.

“පුතා රෑ වෙන දවසට ඔයා එන්නකො අපේ ගෙදර.අපේ කෙල්ලත් ඉන්නවනෙ.කතාවක් දාගෙන ඉන්න පුලුවන්..”

පොලිස් වාහනය ආවේ ඒ වෙලාවේ.හොරාව අරගෙන පොලිස් වාහනය පිටත් වෙන්න හදනකොට මාලිනි ආන්ටි හොරෙන් එබෙන හැටි මාෂි දැක්කේ පාරේ විදුලි එළියෙන්.ඇය කාරුණික අසල්වාසිනියට වාරු වුණේ ඒ හින්දමයි.

More Stories

Don't Miss


Latest Articles