නැවත හමුවේවිද සසරේ.

පසුගිය සතියෙන්

වෙනදා” ආදරෙයි” කියා නවතන ඇමතුම අද ක්ෂණිකව නවතා දැමීමේ පාලුව විඳගනිමින් නැගී සිටි ඈ තමාට කිසියම් විවේකයක් ටික දිනකට හෝ අවශ්‍ය බව තේරුම් ගත්තා.දුරකතනය ඕෆ්කර දැමූ ඈ ජීන්ස් එකකින් සහ ටී ශර්ට් එකකින් සැරසී ගමන් මල්ලට ඇඳුම් කිහිපයක් දමා ගත්තා.යන්නේ කොහොදැයි නොදැන දොර අගුලු ලෑ ජීවිතයේ පළවෙනි දිනය අද බව සිහියට ආමුත් සුපුරුදු තැනින් යතුර තැබුවේ විසල් සවස නිවසට පැමිණෙන බැවින්.යා යුතු කොහේදැයි නොදන්නා මුත් කොහේ හෝ යා යුතු බවත්,නැවත පැමිණීමට හෝ නොපැමිණීමට නම් පළමුව නික්මී ගොස් තමා සමගම සටනක නිරත වියයුතු බව හඟිමින් අරමුණකින් තොරව ඇය හමුවූ පළමු කුලී රථය නවත්වා ගත්තා

…………………………………………………………………………………………………………………………………………………

“මිස් කොහේටද යන්නෙ?රියදුරා කඩිමුඩියේ රථය පණ ගන්වමින් විමසුවා.යන්නේ කොහොදැයි නිනව්වක් නොමැතිව රථයට ගොඩවූ නිමායාගේ සිතට ආවේ නොරිස්සුම් හැඟිමක්.

“ඔහොම ඉස්සරහට යමු,මම කියන්නම් බහින තැන”රියදුරාගේ ප්‍රශ්න කිරීම් වලින් ගැලවෙමින් ඇය නොසැලකිල්ලෙන් පැවසුවා.වාහනය ඉදිරියට ඇදෙද්දී යන්නේ කොහේටදයි සිතිය යුතු බව නිමායා අවබෝධ කරගත්තා.යා යුතු තැන් කිහිපයක රූ ඇයගේ මනසේ ඇඳී ගියත් ඒ කිසිවක් මේ මොහොතේ යාමට සුදුසු තැන් නොවන බව ඇය අවබෝධ කරගත්තේ අවේලාවේ පමණක් නොව විසල් නොමැතිව පැමිණීමේ සිට ප්‍රශ්න රැසකට පිළිතුරු නොකඩවා සැපයීමට තමාට සිදුවන බව දන්නා හෙයින් සහ එවන් හේතු දැක්වීමකට මුහුණ දීමට තරම් මානසිකත්වයක තමන් නොමැති බවත් ඇය ට දැනුනු නිසාවෙන්.

“කොහේ යන්නද කොහේ එන්නද ඔබත් ඇසුවා මගෙන්

මමත් ඇසුවා ඔබෙන්”

පෙර එක දවසක විවාහයට පෙර දෙමාපියන් ගේ අවසරයකින් තොරව විසල් සහ මිතුරන් සමග සහභාගී වූ විනෝද චාරිකාවක් අවසානයේ වෙන් වීමේ වේදනාවෙන් මෙන්ම නිවසට ආරංචි වීදෝයි බියෙන් තමන් සිටිද්දී වීදියේ ඈත කොනක ගුවන් විදුලියකින් පැතිරුණු ඒ ගීය ඇයට කවදාවත් අමතක නොවන ලෙස ඇයගේ මතකයේ රැඳුනේ විසල්ගෙන් මිදී යාමට වීමේ වේදනාවෙන් ඇය සිටි නිසාවෙන්.අද විසල්ගෙන් මිදී ඇයවත් නොදන්නා ඉසව්වක් වෙත ඇය ගමන් කරමින් සිටින අතර ඒ ගීය ඇයගේ මනසේ වාදනය වුණා.එදා යන්නට සිය නිවස තිබුණත් අද සිය දෙමාපියන් වෙත යාමට ධෛර්‍යයක් ඇයට නොවුනේ ඔවුන්ගේ ප්‍රශ්න වලට දිය හැකි පිළිතුරක් ඇය නොදැන සිටි නිසාවෙන්.

වේලාව නවය හමාර බව රථයේ ඔරලෝසුව පෙන්වමින් තිබුණ අතර ඉදිරියට යාමට ලැබූ අණ පිළිපදිමින් රියදුරා රථය නිදැල්ලේ පදවමින් සිටියා.තමා අද කාර්‍යාලයට නොපැමිණෙන බව දැනුම් දී නොමැති බව එක් වරම නිමායාට සිහිවුණා.එපමණක් නොව දහය හමාරට තමාට ඇමති වරයාගේ හමුවක් ද තිබෙන බව සිහි වීමෙන් ඇය තවත් නොසන්සුන් තත්වයට් පත් වූ අතර කලයුතු එකම දෙය කුමක්දැයි නොදන්නා මුත් නිරායාසයෙන් කිසිවෙක් ඇයගේ මනස තුළ ඇයට උපදෙස් දෙමින් සිටියා.

“මාව හෙලන් හොස්පිටල් එක ලඟින් බස්සවන්න.”

එක් බැල්මකින් ඇය දෙස බැලූ රියදුරා කිසිවක් නොවිමසාම වට රවුම වේගයෙන් ගෙන රථය නැවත හරවා පැමිණි දෙසට විරුද්ධ දෙසට යාමට පටන් ගත්තේ අවසානයේ නිශ්චිත ගමන් ඉලක්කයක් ලැබීමේ ප්‍රීතියෙන්.

රියදුරු ගාස්තුව ගෙවා පුද්ගලික රෝහලේ ලොබියට ඇතුල් වන නිමායාට දැනුනේ සැහැල්ලුවක්.ලොබියේ පසෙක ඇති සුදු පැහැයෙන් බැබලෙමින් පරිමිත කරුණාවෙන් තමා දෙස බලා සිටින බුදු හිමි රුව අබියස තත්පර කිහිපයක් රැඳුනු ඈ කඩනම් ගමනින් කවුන්ටරය වෙත ගොස් සිය අවශ්‍යතාවය පැවසුවා.

“මට ෆුල් බොඩි චෙකප් කරගන්න ඕනි.මගෙ ඉන්ශුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න විදියට ඇරෙන්ජ් කරන්න.දැනට දවස් දෙකකට රූම් එක බුක් කරන්න.මොකද මගේ ඩොක්ට හරහා ෆැප් එකක් කරගන්නත් ඕනි.”

සේවිකාව ගේ කඩිසර ඇඟිලි යතුරු පුවරුව හරහා වේගයෙන් ගමන් කළ අතර සිය නම ඉදිරියේ සිය අවිවාහක කල වාසගම හිතාමතාම සටහන් කිරීමට ඇය පසුබට වුනේ නැහැ.

“හරි මැඩම්,රූම් එක ලෑස්තියි.මැඩම්ට යන්න පුලුවන්.චෙකප් එකට අවශ්‍ය විස්තර දැන ගන්න අපේ ඔෆිස කෙනෙක් පැයකින් විතර රූම් එකට එයි.”

සැනසුම් සිතිවිල්ලකින් යුතුව පුද්ගලික රෝහල් කාමරය වෙතට ගිය නිමායා එහි තිබුනු පිරිසුදු පැහැයෙන් දිදුලන ඇඳෙහි දිග ඇදුනා.අත් බෑගයෙන් දුරකතනය ගෙන ක්‍රියාත්මක කර ඇය කාර්‍යාලයට කතා කර තමා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතවී සිටින බව දැනුම් දුන්නේ මහත් සැහැල්ලුවෙන්.ටික් ටික් හඬින් පැමිණි මග හැරුණු දුරකතන ඇමතුම් පණිවිඩ බහුතරයක් තිබුණේ විසල්ගෙන්.තමා කාර්‍යාලයේ නොමැති බව දැනටමත් ඔහු දන්නා බවත්,තමා කොහි ගියේදැයි අසහනයෙන් පසුවන බව්ත් තේරුම් ගත් නිමායාට දැනුනේ කුරිරු සතුටක්.ඔහු කෙතරම් දවසක් තමාට මෙලෙස වංචා කරන්නට ඇද්ද යන්න සිහි වීමෙන් එම කුරිරු හැඟීම අභිබවමින් මහත් ආත්මානුකම්පාවක් ඇයව වෙලා ගත්තා.ඒ මොහොතේම නැවත විසල් ගේ නමින් දුරකතනය නාද වෙන්නට පටන් ගත් අතර ඇය දුරකතනය ක්‍රියා විරහිත කර යහන මත දිග ඇදුනා.

පැය හතරක පමණ දිගු නින්දකින් පසු ඇහරුණු නිමායාට තමා මේ සිටින්නේ කොහේදැයි සිතා ගන්නට නොහැකි වුණා.තත්පර කිහිපයක ඇවෑමෙන් එකින් එක සිදුවීම් පෙරහැරක් සේ මනසේ මැවෙන්නට වූ අතර යලිත් ඇයට අපහසුවක් දැනෙමින් තිබුණා.කාමරයේ දොරට තට්ටු කරමින් සේවකයෙක් කාමරයට පැමිණි අතර ඇයගේ රුධිර පරීක්ෂාව සඳහා සාම්පල ලබා ගත යුතු බව පැවසුවා.ෆුල් බොඩි චෙකප් එක කරන ආකාරය පියවරෙන් පියවර ඇයට පැහැදිලි කල ඔහු ලේ සාම්පල ලබා ගෙන ඉක්මනින් ම පිටවුණේ කඩිසර කාර්‍යක්ෂම නිලධාරීන් පිළිබඳ ප්‍රසන්න හැඟීමක් ඉතිරි කරමින්.රාජ්‍ය අමාත්‍යාංශයක සේවය කරන නිමායා තම සේවකයෙක් නම් මේ කාර්‍යය සඳහා දවසම වැය කරනු ඇති බවට සිහිවූවේ පසු තැවීමකින්.

ආහාරය පිණිස පලතුරු සලාදයක් පමණක් ලබා ගත් ඇය නැවත නින්දකට පිවිසුණා.නැවත දුරකතනය අතට ගත් ඇය එය ක්‍රියාත්මක කල අතර හදිසියක්.ඉක්මනින් කතා කරන්න යනුවෙන් සිය සොයුරියගෙන් ලැබුන ඇමතුම කියවූවේ නොසන්සුන්ව.

නිමායා ඇමතුමක් ලබා ගැනීමට පෙර සොයුරියගේ අංකය තිරය මත දිස් වන්නට වූ අතර නිමායා ගැහෙන හදින් යුතුව ඇමතුම ගත්තා.

“නංගි ඔයා කොහේද ඉන්නෙ,අයියෝ උදේ ඉඳන් ඔයාට ගන්නවා.උදේ විසල් ගෙ කා එක ඇක්සිඩන්ට් වෙලා.එයාට ටිකක් අමාරුයි.එක දිගටම ඔයාට කතා කරනවා.ඇක්සිඩන්ට් වුන වෙලේ ෆෝන් එක ලැබුන අය වයිෆ් කියල ඔයාගෙ නම දැකල ඔයාට එක දිගටම අරන්.ඒත් නෝ ආන්සර් නිසා යාලුවෙක් කෝල් කලාම එයාට කියල.මම උදේ ඉඳන් ඔයාව හොයනවා”

“අනේ අක්කා විසල් කොහෙද දැන්?එයාගෙ තත්වය කොහොමද?”නිමායා අඬා වැටෙන්නට වුණා.

“මම ඉන්නෙ හොස්පිටල් එකේ.ජෙනරල් හොස්පිටල් ඔයා ඉක්මනින් එන්න.නිලූට කතා කරන්න .එයා ඔයාව ගනී ඉන්න තැනකින්.කලබල වෙන්න එපා”

නිමායා ඉකිබිඳිමින් ඇඳ මතට කඩා වැටුණා.ඉක්මනින්ම සිය මිතුරිය නිලූට කතා කල ඈ තමා රැගෙන යාමට පැමිණෙන ලෙසත් විසල්ගේ තත්වයත් පැවසුවේ ඉකි ගසමින්.කඩි මුඩියේ රෝහල් බිල් සෙට්ල් කර විනාඩි කිහිපයකින් තමන්ව රැගෙන යාමට පැමිණි මිතුරියගේ වාහනයට නිමායා ගොඩවූවේ ද නොනවත්වා හඬමින්.

“අනේ නිලූ මාව ඉක්මනටම විසල් ලඟට ගෙනියන්න.අනේ එයා නැතුව මට මේ ලෝකෙ තනියම ඉන්න බැහැ.එයා තරම් මාව දන්න කවුරුත් මේ ලෝකෙ නැහැ.අනේ උදේ අපි තරහ වෙලා ආවෙ.මට ඕන මම එයා එක්ක තරහ නෑ කියන්න.එයාගෙ ජීවිතේ ඕනිම දේකට මම ඉන්න වා කියන්න.අනේ නිලූ අපි ඉක්මනින් යමු”

“උදේ විසල් මට කතා කලා නිමායා.එයා කලබල වෙලා හිටියෙ.ඔයාගෙ ෆෝන් ඕෆ් නිසා එයා ආපහු ගෙදර ඇවිත් ඔයා නැති පාර හැම තැනම ඔයාව හොයල.ඒ යන අතරෙ ඇක්සිඩන්ට් වෙලා තිබ්බෙ.අපි යමු ඉක්මනින්.විසල් ඔයා එනකම් බලාගෙන ඇති.”

ට්‍රැෆික් වෙලාව ඉක්මවූ බැවින් මාර්ගය සිය ගමනාන්තය වෙත යන්නවුන් සිය ගමානාන්තයට ඉක්මනින් ලඟාවනු පිණිස ඉඩ හසර ලබා දෙමින් සිටියා.දහසක් මංමාවත් මගීන් වෙනුවෙන් විවර වී තිබුණ අතර පැය කිහිපයකට පෙර යා යුතු අතක් නොදැන අතරමං වී වේදනාවෙන් පෙලෙමින් සිටි මගියෙකු රැගත් වාහනය,ඇය යා යුතු,ඇගේ සෙනෙහස අවශ්‍යම වූවකු වෙත ඇය රැගෙන යාම සඳහා ආරක්ෂිත වේගයකින් යුතුව ඒ දහසක් මාවත් අතරින් ගමන් ගනිමින් සිටියා.තමා යා යුතු කොහිද බවත්,තම හදවත තිබෙන්නේ කොහිද බවත් තේරුම් ගත් මගියෙකු නොසන්සුන්ව ගැහෙන හදවතකින් යුතුව අසුනට බරවී දෑස් අඩවන් කරගෙන සිටියා.

නිමි.

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content