මතක දිගහැරුම 65 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට පස්වන දිගහැරුම ,

මා දරුවන් ලැබීමට සිටින විටදී පවා හෂාන් සමඟ විවිධ රටවල් වල තරග සංචාරයන් සඳහා ගියෙමි.අප එංගලන්තයට ගිය බොහෝ අවස්ථාවන්වල දී නවාතැන් ගන්නේ අනුර ජයවර්ධන අයියගේ නිවසේය.ඔහුගේ බිරිඳ වූ ශෙරින් අක්කා මා ඉතාම හොඳින් රැක බලා ගත්තාය.ඔවුන් දෙදෙනා අපව එංගලන්තයේ පිහිටි Mother care වෙත කැටුව ගිය අතර අපගේ දරුවන්ට අවශ්‍ය බොහො බඩු භාණ්ඩ මිලට ගැනීමට එහිදී අපිට හැකියාව ලැබුණි.හෂාන්ට මෙන්ම මා හටද එය අලුත්ම ආකාරයෙ අත්දැකීමක් විය.

මට ලැබීමට සිටින්නේ නිවුන් දරුවන් බව අප ඒ මොහොතේදී දැන සිටි නිසා මිලදී ගත් සියලුම දේවල් වලින් දෙක බැගින් අප මිලදී ගත්තෙමු.අපගේ දරුවන් වෙත හොඳම දේවල් ලබා දීමට අපට උවමනා වූ බැවින් නැපි කටුවේ සිට දරුවන් නාවන බේසම් ,කිරි බෝතල් ඇතුළු සියලුම දේවල් අප මිලදී ගත්තේ එංගලන්තයෙන් ය.ඊට අමතරව බොහෝ වීදි වල ඇවිදිමින් මට අවශ්‍ය ඇඳුම් සහ තවත් බොහෝ දේවල් අප මිලදී ගත්තෙමු.නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පිරිමි දරුවකු වූ බව ඒ වන විට වෛද්‍යවරයා පවසා තිබූ නිසා දරුවන් දෙදෙනාටම අවශ්‍ය දේවල් අප මිලදී ගත්තේ නිරායාසයෙන්ම නිල් පැහැයෙන් ය.ඔවුන් දෙදෙනාට එකම වර්ගයෙන් සහ එකම පාටින් අවශ්‍ය දේවල් මිලදී ගැනීමට සාප්පු සවාරියේ යෙදීම අප ආසාවෙන් කළ අතර එය අපගේ ජීවිතයේ නොමැකෙන මතකයන් අතරට එකතු විය.

ගර්භනී කාලයේ මුල් අවදියේදී සාමාන්‍යයෙන් මව්වරුන්ට දැනෙන අපහසුතා බොහොමයක් මට දැනුණේ නැත.වමනය යෑම ,කෑම අරුචිය වැනි අසීරුතා මට නොතිබුණු අතර ව්‍යායාම පවා කරමින් මා ගත කළේ ඉතාම සාමාන්‍ය ජීවිතයක් ය.කෙසේ හෝ එංගලන්ත සංචාරයෙන් පසුව අප යෙදුණේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක ය.එහිදී අපට ආහාරයට ගැනීමට තිබුණේ ප්‍රමාණයෙන් මදක් විශාල බත් ඇට ය.ඒවා ආහාරයට ගැනීම මා හට තරමක් අසීරු වූ අතර බත් සහ ව්‍යංජන ගැනීමට ස්ථාන ද ඒ තරම් එහි තිබුණේ නැත.අප පිටතින් ආහාර ගෙන හෝටලයට ඇතුල් වන විටම මා හට අප්‍රියතාවයක් දැනුනු නිසා මා කාමරයට දිව ගොස් වමනය කළෙමි.දරුවන් ලැබීමට සිටි කාලය තුළ මට එසේ සිදු වූ ප්‍රථම සහ එකම වතාව එය විය.

සංචාරයෙන් අනතුරුව අප ලංකාවට පැමිණි අතර ඒ කාලයේදී නැවතත් පිටරට සංචාර යෙදුනේ නැත.ඉන්පසුව යෙදුණු සියලු තරග වාර තිබුණේ ලංකාවේම ය.ඉන්පසුව අප නිවස ඉදි කිරීමේ කටයුතු ඉක්මන් කළ අතර ඒ කටයුතු වලට පහසු වනු පිණිස හෂාන්ගේ දෙමව්පියන් ජීවත් වූ නිවසේ ඇනෙක්සිය වෙත පදිංචියට අප පැමිණියෙමු.සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔවුන් සමග තරග වාර යෙදුනේ ඒ අතරතුරය.දරුවන් ලැබීමට නියමිත දින මට ලැබී තිබුණේ ඔක්තෝබර් මාසයේ නිසා එයට කලින් අලුත් නිවසේ පදිංචියට යාමට අපට වුවමනා විය.ඒ අනුව එක් තරග වාරයකින් පසුව හෂාන්ට විවේක ලැබෙන දින දෙකක කාලය තුළ, පලවන දිනයේ දී ගෙට ගෙවැදීම සඳහා හොඳ නැකතක් අපට ලැබුණි.පන්සලේ ස්වාමීන් වහන්සේලා වඩම්මවා ගෙට ගෙවැදීම සඳහා කටයුතු අප සැලසුම් කළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට ද අප ආරාධනා කළෙමු.ඒ වෙනුවෙන්ම වෙනුවෙන් ම විශේෂ වූ කැවිලි මේසයක් ද අප විසින් සූදානම් කර වීය.

ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ඣායනය කරන අතරතුර දී අපි කිරි ඉතිරෙවූවෙමු.ස්වාමීන් වහන්සේලා විසින් දිගින් දිගටම පිරිත් සජ්ජායනය කරද්දී කිරි ඉතිරවීමට මදක් වෙලා ගත වූ අතර එය ඉතිරී යනතුරු සෑහෙන වේලාවක් ස්වාමීන් වහන්සේලා හට පිරිත් සජ්ඣායනය කිරීමට සිදු විය.එම කටයුතු අවසාන කිරීමෙන් අනතුරුව ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ඇතුළු සියලු දෙනාම ආහාර ගෙන ආගිය තොරතුරු කතා කරමින් අප සමඟ බොහෝ වේලා ගත කළහ.ඔවුන් ආපසු පිටත් වීමට සූදානම් වන අවස්ථාවේදී අර්ජුන රණතුංග ගේ බිරිඳ වූ සමදරා අක්කා මා හට යමක් පැවසීමට මෙන් මා අසලට පැමිණියාය.

” නංගි පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න .අද පිරිත කියවුණා දිග වැඩියි .බබාලා හම්බ වෙයිද දන්නෙ නැහැ. ඒ නිසා ටිකක් රෙස්ට් කරන්න “

සමදරා අක්කා පැවසූ දේ පිළිබඳව මට ඒ තරම් ලොකු හැඟීමක් නොවීය.නමුත් ඔවුන් අප නිවසින් පිටත් වී නොපෙනී යන විට එකවරම මගේ උදරයේ එක් පසෙකින් අධික වේදනාවක් මට දැනෙන්නට විය.එය මට ඉවසා ගත නොහැකි තරමේ අධික වේදනාවක් වූ අතර ඒ පිළිබඳව මට යම් අමුත්තක් දැනුනි.එම නිසා මා ඒ පිළිබඳව ඉතා ඉක්මනින් හෂාන් හට පැවසුවෙමි.දරුවන් ලැබීම සඳහා වෛද්‍යවරුන් නියම කළ දිනට වඩා මාසයකට පෙර දී මෙසේ අපහසුතා දැනීම පිළිබඳව මගේ අම්මා අතිශයින්ම බියට පත්විය.කෙසේ හෝ දරුවන් ලැබෙන දිනයට රෝහලට එනවිට රැගෙන යාම සඳහා අපට ලබාදී ඇති බඩු ලයිස්තුවට අදාල බඩු සියල්ලම මා ඒ වනවිට සූදානම් කර තිබුනත් ඒ මොහොතේ දී එය රැගෙන යාමට පවා අප සියලු දෙනාටම අමතක විය.මාසයකටත් පෙරම මට අපහසුතා දැනීම පිළිබඳව ඉතා බියට පත්වූ හෂාන්, මා සහ මගේ අම්මාව වාහනයට නංවාගෙන වේගයෙන් රෝහල දෙසට වාහනය ධාවනය කලේය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles