පවුලේ නත්තල.

“අම්ම ඇහුවා ක්‍රිස්මස් ඩිනර් එකකට එනවද කියලා..”

යොමාල් එහෙන අහනකොට ටෙහානි නෑහුණු ගාණට ටීවි එකේ සද්දේ වැඩි කරා.යස අපූරු අදහස! ක්‍රිස්මස් ඩිනර් එකක් කියන්නේ පවුලේ කට්ටිය වටවෙලා ඕපාදූප කියෝන එක කියලා යොමාල් තාම හිතන එකට ටෙහානිට ලැජ්ජයි.කරන්න දේකුත් නෑ.

“හෙට එන්නම් කියන්න..”

ටෙහානි එහෙම කියලා නිළියන්ගේ අලුත්ම විලාසිතා ගැන විපරම් කරන්න පටන් ගත්තා.මේ වගේ ලස්සන ඇඳුමක් ඇඳගෙන යාළුවෝ එක්ක විනෝද වෙන්න තියන දවසක යොමාල්ගේ ගෙදර යන්න ටෙහානිට පොඩ්ඩක්වත් හිත නෑ.

“අම්මා අපි එනකන් බලාගෙන ඉන්නවනෙ ටෙහානි..”

යොමාල් එහෙම කියද්දී ටෙහානි ටීවී එක ඔෆ් කරලා කාමරේට ගියේ තරහින්.යොමාල් වගේ මනුස්සයෙක් කසාද බැන්දොත් ජීවන රටාව සහමුලින්ම වෙනස් කරගන්න වෙනවා කියලා අම්මි කීපාරක්නම් කිව්වද?ඔක්කොම අත් ඇරලා අක්කිත් අම්මිත් ඉන්න ඕස්ට්‍රේලියාවට පියාඹන්න හිතෙන්නේ මේ වගේ වෙලාවට

“මට ඇඳන් යන්න එකක් නෑ..”

ටෙහානි ආයේ කියන්න පටන් ගත්තා.යොමාල් ටෙහානිගේ ඇඳුම් අල්මාරිය දිහා බැලුවේ පුදුමයෙන්.

“ඔව් තියනවා.ඔයාගේ අක්කලාට එහෙම ඒවා ස්ටයිලිෂ් වැඩී.කොට වැඩී.පිට කපලා වැඩි.පපුව පේනව වැඩී.අනේ යොමාල් නත්තල කියන්නේ සැනසීමට නේද?”

ටෙහානි එහෙම කියලා බුම්මාගෙන ඇඳට වැටුණා.ටෙහානිට එහෙම ඉන්න ඉඩ දීලා යොමාල් ආයෙත් බැල්කනි එකට ආවේ අම්මා තමන් එනකන් ඇති කියලා හිතන ගමන්.

“අම්මේ..අපි හෙට එන්නද?”

නත්තල පහුවෙලා හරි අම්මා බලන්න එන බව තමන්ටම පිළිණ දෙමින් යොමාල් එහෙම අහනකොට අම්මාගේ සුසුම් හඬ යොමාල්ගේ කනේ හැපෙන තරමට ඇහුණා.

sad christmas

“නෑ අම්මේ.ටෙහානිට පාටි එකකට යන්න තියනවා..යාලුවොනෙ.තරහ වෙයි..”

යොමාල් එහෙම කියද්දී අම්මා නම් කීවේ වෙන කතාවක්.

“පාටිවලට ආයේ හෙට යන්න බෑනෙ පුතේ.අද ඒකට යන්න.හෙට එන්නකො.මං උයලා තියන්නං රහට.මං බත් කටක් කන්න එනකම් බලන් ඉන්නෙ.හෙටත් උයන එක මට මහ දෙයක් යැ..”

අම්මා තමන්ගේ අයිතිය කියලා අද එන එක අනිවාර්යය නොකර තමන්ගේ පවුලේ සාමය රකින්න යොමාල්ට උදව් වෙන බව ඔහුට තේරුම් ගියා.අම්මා තවත් දේවල් කිව්වේ ඒ කතාව තහවුරු කරමින්.

“කසාද බැන්දට පස්සෙ අපිට ඕන හැමදේම කරන්න බෑ පුතා.දෙන්නාම දෙන්නාගෙ කැමති අකමැති දේවල් තේරුම් ගන්න ඕන.ටෙහානි ආස දේවල් කරන්න ඕන ඔයා.ඒ ළමයව බලෙන් මෙහෙ එක්කන් එන එකවත් ඔයා තරහින් පාටියට යන එකවත් නෙවෙයි වෙන්න ඕන.දෙන්නම කැමති දේ කරන එක..”

හිත ඇතුළේ ගින්නක් ඇවිලෙමින් ආවානම් අම්මා ඒ ගින්න නිවා දමපු බව යොමාල්ට සහතිකයි.යොමාල් ආපහු කාමරේට එනකොටත් ටෙහානි ඇඳේ පෙරලිලා කල්පනා කරනව.

“අපි අද ක්‍රිස්ටිලගෙ ගෙදර යං..අම්මා කියනවා හෙට එන්නලු.අම්මා හෙට උයන්නම්ලු..”

යොමාල් එහෙම කියනකොට ටෙහානි යොමාල් දිහා බැලුවේ පුදුමයකින්.

“අම්මා බැන්නද?”

යොමාල් හිස වැනුවේ නැති බව කියන්න.

“මං අවුරුදු විසි අටක්ම අම්මලා එක්ක ක්‍රිස්මස් එක ගෙව්වා.ඔයා ආස දේ කරන්න බැරිනම් මගේ ආදරේට තේරුමක් නෑනෙ.අම්මා උනත් කියන්නේ ඔයා කැමති දේ කරන්න බැරිනම් මං ඔයාව බාර ගත්තු එක තේරුමක් නෑලු..”

යොමාල් එහෙම කියලා ටෙහානිගේ හිස අත ගාගෙන නැගිට්ටා.යාළුවෝ හැමෝම ගමක නැන්දම්මා කෙනෙක් කියන්නේ හරිම වදයක් වෙයි කියලා කල් ඇතුව කියපු සාස්තර තමන්ගේ ඔලුවේ තදින්ම වැඩ කරන බව ටෙහානිට හිතුණේ ඒ වෙලාවේ.

පාටියට යන්න සෑහෙන වෙලාවක් තියෙන නිසාම ටෙහානි ෆෝන් එක අතට අරගෙන ෆේස්බුක් පැත්තේ රවුමක් ගියා.නත්තල් නිවාඩුවට හැමෝම එකඑක දේවල් කරලා.සමහරු චාරිකාවල.තවත් සමහරු පින් අතේ වැඩ.තවත් අය සාදවල..ලෝකයම සතුටින්.

එක මිතුරියක් පළ කරලා තිබුණු පවුලේ ඡායාරූප අතර ටෙහානිගේ ඇස් නැවතුණේ අහම්බෙකින් වගේ.පවුලක් කියන්නේ උණුසුම් හැඟීමකට කියලා ටෙහානිට හදිසියේ හිතෙන්න පටන් ගත්තා.තාත්තා දික්කසාදයට පස්සේ කැනඩාවට ගියේ ආන්ටි ෂෙරීන් එක්ක.ආන්ටි ෂෙරීන්ට ලැබුණු දූට තරම් තාත්තා ටෙහානිටත් අක්කාටත් ආදරේ ද කියන්න ටෙහානි දන්නේ නෑ.ඒත් අම්මාත් දැන් ටෙහානි ළඟ නෑ.අක්කා දැකපු දවසක් මතක නෑ.

“නැන්දම්මලා නම් වාත හොඳේ..”

ටෙහානිගේ වෙඩින් එකට කලින් දවසේ ලංකාවට ආපු අම්මා එහෙම කියන්න ඇත්තේ තාත්තාගේ අම්මා ගැන මතකයෙන්.ඒත් ඒක ඇත්තක් නම් යොමාල්ගේ අම්මා හෙට එන්න කියයිද?

Couple in love sitting next to a Christmas

ටෙහානි සෑහෙන වෙලාවක් කල්පනා කරා.ක්‍රිස්ටීන්ගේ බර්ත්ඩේ පාටි එක,ඇනිවසරි පාටි එක වගේ දේවල් කීයක් නම් එන අවුරුද්දේ ඒවිද? ඒත් යොමාල්ගේ පවුලේ අය ආයේ මුණ ගැහෙන්න ලබන අවුරුද්දේ නත්තල්ම එන්න ඕනෑ.පවුලක් කියන දේ ඇත්තටම හොඳද නරකද කියලා හිතලා බලන්න මේ තමයි වෙලාව කියලා ටෙහානි හිතුවා.

“ටෙහානි, ඔයා අඳින්නේ මොකක්ද? මං ඔයාට මැච් වෙන්න අඳින්නම්..”

යොමාල් කාමරේට එනකොට ටෙහානි හිටියේ සැහැල්ලු ගවුමක් මදින ගමන්.

“ඔයාට ලේසි එකක් අඳින්න අනේ.ඔයා කොහොමත් කැතයි කියලා අම්මලා අක්කලා දන්නවා..”

ටෙහානි එහෙම කියන ගමන් හිනා වුණේ යොමාල්ව පුදුම කරන ගමන්.

“ලොකු අක්කගෙයි චූටි අක්කගෙයි බබාලට ටෝයිස් මොනවහරි ගන්නත් ඕන..ඉක්මනින් ලෑස්ති වෙන්න හොඳේ..”

නාන කාමරයට යන ගමන් ටෙහානි කෑගහනකොට යොමාල්ටත් හිනාවක් නැගුණා.ආදරේ ඉවසිලිවන්ත බව කියන්නේ නිකමට නොවන බව ඔහු හිතුවේ සැනසීමෙන්.

More Stories

Don't Miss


Latest Articles