අලුත් විනෝදාංශය.

ඔන්ලයින් ක්ලාස් එක ඉවර කරලා සමාධි ලැප්ටොප් එක වැහුවේ මහන්සියෙන්.මේ ඉගැන්වීම ගැන සමාධිට පුංචි සතුටක්වත් දැනෙන්නේ නෑ.පුංචි පැටවුන්ගේ හිනාව,සිංහල ටීචගෙන් හොඳ ළමයා කියලා අහගත්තාම මුහුණේ මැවෙන සතුට නැතුව සමාධිට දැනෙන්නේ සාංකාවට බර හැඟීමක්.
ඉස්කෝලේ සියඹලා ගහ යටට වෙලා සිංහල පොතේ කවි කියවන්න තිබුණා නම් මොනතරම් අපූරුද?

වැසි වසිනා අහස අපි
මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළොව අපි
සිරි ලංකා රටම අපි…

.අද තිබුණේ ඒ පද්‍ය පන්තිය ගැන උගන්වන්න.අටේ පන්තියේ දරුවෝ එක්ක මේ පාඩම මොනතරම් ලස්සනකට බෙදා ගන්න තිබුණද කියලා සමාධි කල්පනා කළා.ඒත් මේ වැසි වසිනා අහසත් මුතු හට ගන්නා මුහුදත් රටේ ඇති ලස්සනත් බලන්න දරුවන්ට කවදා හැකි වෙයිද කියලා සමාධිට හිතා ගන්න බෑ.සමාධි ගුරුතුමියක් වෙලා වැඩි කාලයක් නෑ.දරුවන්ට වගේම තමන්ටත් පාසල් ජීවිතේ අහිමි වුණු වේදනාව නිසා හිරි වැටුණු හිත අරගෙන සමාධි මුළුතැන්ගෙයට යන්න හැදුවේ අම්මාට කියලා තේ එකක් හදා ගන්න.

දුරකථනය නාද වුණේ එතකොටම.කොවිඩ් නිසා විවාහය කල් යෑම ගැන දුකින් ඉන්න හසිත වෙන්න ඇති.සමාධි දුරකථනය අතට ගත්තේ පෙම්වතා එක්ක ඔන්ලයින් ක්ලාස් කිරිල්ලේ තියන ගැහැට ගැන කියන්න.

ඒත් ඒ නොදන්නා අංකයක්.

“මේ සමාධි ටීච නේද? මම නෙතුකගේ අම්මා..”

එහා පැත්තේ ඉන්නේ ගෝලයෙක්ගේ අම්මා කෙනෙක්.සිග්නල් ගැටළු,දරුවාට පාඩම් නොතේරීම ගැන ගැටළු වගේ දාහක් කතන්දර එක්ක දෙමාපියන්ගේ පැමිණිලිත් හොඳටම වැඩියි.සමාධි ආපහු ඉඳගත්තේ මහන්සියෙන්.

“නෙතුක ඔන්ලයින් ක්ලාස් මඟ අරිනවා ටීච.ඇප් එක ඔන් කරලා මේ ළමයා ගේම්ස් ප්ලේ කරනවා.ක්ලාසස් එන්නම එයාගේ තාත්තා අරන් දීපු ලැප්ටොප් එකෙන් රෑ එළිවෙනකන් ගේම් ගහන්න අරගෙන..”

අම්මා කියන්නේ දරුණු ගැටළුවක් ගැන.සමාධි ඒ ගැටළුව අහන් හිටියේ බොහොම ප්‍රවේසමෙන්.

“අනික මේ පොඩි ලමයින්ට ඔරොත්තු දෙන සෙල්ලං නෙවේ ටීච ඒ.ඊයේ මහත්තයා පුතාගේ කාමරේ ළඟින් යනකොට ඕකව මරපං වෙඩි තියපං කියනව ඇහෙනවලු.හොඳටම ගුටිත් කාලා ඉන්නෙ..”

මේ දවස්වල නිවසට කොටු වෙලා ඉන්න දරුවන්ට ගහන්න බනින්න යන එකත් එයාලගේ මානසිකත්වයට කරන දරුණු බලපෑමක් කියලා නෙතුකගේ අම්මට තේරුම් කරන්න සමාධි වගබලාගත්තා.ඒත් මේක ගැටලුවක්.online ඉගෙනීම පැත්තකට දාලා දරුවෝ පරිගණක ක්‍රීඩාවලට යොමු වී ඉන්න බව රහසක් නෙමෙයි.

“මේක ඇත්තටම ප්‍රශ්නයක් අම්මේ. “

සමාධි එයාගේ අම්මට නෙතුක ගැන කිව්වේ තේ බොන අතරේ.

“දරුවන්ට ඉස්කෝලේ එන්න නෑ.යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න නෑ.විෂය බාහිර ක්‍රියාකාරකම් නෑ.ඔන්ලයින් ඉගෙන ගන්න පටන් අරන් දැන් මෙයාලා කරන ලොකුම හොර වැඩේ තමයි මේ ගේම් ගැහිල්ල..”

සමාධි කියන්නේ දුක බෙදා ගන්න ඉන්න හොඳම කෙනා අම්මා නිසා.විශ්‍රාමික ගුරුවරියක් නිසා දරුවන්ගේ ප්‍රශ්න චාන්දනීට හොඳින්ම තේරෙනවා.

“දෝණි, මේ කාලේ ඒ කාලේ කියලා නෑ.ටික ටික ලොකු වෙනකොට දරුවෝ වැරදි පාරවල්වල යනවා.ඒක වළක්වන එක ඉතින් ගුරුවරයෙක්ගෙ වගකීමක්.
ඔයාටත් ඔය දරුවා හරි පාරට ගන්න පොටක් පෑදෙන්නම ඕන..”

සමාධි අහස පොළොව ගැටලනකම් කල්පනා කළා.හොඳ අම්මා කෙනෙකුට දරුවෙක් හරි පාරට ගන්න පොටක් නොපෑදෙන්නේ නෑ.ඉස්කෝලේ ළමයි ඔක්කොම වගේ තමන්ගේ දරුවෝ කියලයි සමාධි හිතන්නේ.එතනින් අට බී පන්තිය විශේෂයි.දෙපාරකට තුන්පාරකට වඩා ටීචත් දරුවොත් මුණ නොගැහුණට පන්තිබාර ගුරුතුමිය හැටියට ඒ දරුවෝ තිස් දෙනාම තමන්ගේම දරුවෝ කියලයි සමාධි හිතන්නේ.

සමාධි නෙතුකගේ ගෙදරට ඇමතුමක් ගත්තේ අලුත්ම අදහසක් හිතේ තියාගෙන.ඊටපස්සේ නෙතුකගේ පරිගණක ක්‍රීඩා ඇබ්බැහිය ගැන පැමිණිලි ආවේ නැති තරම්.නෙතුක කරන්නේ මොනවද ඇහුවම “අර වැඩේ එක්ක හරිම බිසී” කියලා නෙතුකගේ අම්මා හිනා වෙනවා.

නෙතුක එහෙම වට්ස්ඇප් පණිවිඩයක් එවලා තිබුණා.තමන්ට ටීච හොයලා දුන්නු අලුත් විනෝදාංශයේ ප්‍රගතිය තියන ඡායාරූප කිහිපයක් ඒ එක්කම එවන්න නෙතුක අමතක කළේ නෑ.

“දෝණි,ඔයාට කුරියර් එකකින් පාර්සලයක් ගෙනත් දුන්නා.මං අරන් තිබ්බා.”

සමාධි ඔන්ලයින් ඉගැන්වීමකින් පස්සෙ කාමරෙන් එළියට එනකොට චාන්දනී සාලයේ තිබ්බ පෙට්ටියක් පෙන්නුවා.මාස්ක් එකක් සහ අත්වැසුම් දාලා සනීපාරක්ෂාව ගැන සහතික වෙමින් සමාධි ඒ පාර්සලය විවෘත කරා.

“එළවළු?? ඔයා එළවළු ඕඩර් කරාද දෝණි? මං ඊයෙත් කොරටුවෙන් එළවළු ටිකක් කඩාගෙන ආවා.”

අම්මා අහන්නේ පාර්සලේට එබීගෙන.සමාධි හිනාවීගෙන පාර්සලේ ඇතුළෙන් ලියුමක් අතට ගත්තා.

ටීච,

ටීචට බොහොම ස්තූතියි මට අලුත් විනෝදාංශයක් හොයලා දුන්නට.කාමරේට වෙලා ගේම් ගහනවට වඩා මගේ එළවළු පැලවලට සාත්තු කරනකොට මට ලොකු සතුටක් ආවා තමයි.හැමදාම පෝර වතුර දාලා පැල උස්මහත් වෙනකොට ගේම් එකේ ස්ටෙප්ස් සම්පූර්ණ කරනවට වඩා මට ගොඩාක් සතුටු හිතුණා.අපි පරිසරයට ආදරේ කරනකොට පරිසරයත් අපිට ආදරේ කරනවා කියලා ටීච කියපු කතාව නම් ඇත්තම ඇත්ත.මේ ගස්වලට ආදරෙන් කතා කරනකොට ඉක්මනින් මල් පිපුණා.ඊට පස්සේ කරල් ගෙඩි හැදුණා.මුල්ම අස්වැන්න ටීචට..”

සමාධි ඒ ලියුම මහ හයියෙන් කියෙව්වෙ සන්තෝසෙන්.ඇස්වලින් වැටුණු හීන් කඳුළක් අස්සෙන් තක්කාලි,මෑකරල්,කරවිල ගෙඩි හිනා වෙන හැටි සමාධිට පෙනුණා.

“මං ඒකනෙ දෝණිට කිව්වේ.දරුවෙක් නරක පාරකින් එළියට ගන්න ලස්සන ලස්සන අරමුණු හොයලා දෙන්න පුලුවන් ටීච කෙනෙක්ටම තමයි.හැබැයි ඒ හොඳ ටීච කෙනෙක්ට.”

චාන්දනී එළවළු මල්ලත් අරන් මුළුතැන්ගෙයට ගියේ එහෙම කියාගෙන.

සමාධි කාමරයට ගියේ සැනසීම හිතේ පුරවාගෙන.කාමරයේ බිත්තියේ ඉන්න Hichki චිත්‍රපටියේ නෛනා මාතුර් තමන් එක්ක හිනා වෙනවා සමාධි දැක්කා.ගුරු සේවය පටන් ගන්නකොට නෛනාගේ පෝස්ටර් එකක් කාමරේ බිත්තියේ ගහගත්තේ ඒ වගේම හොඳ ගුරුතුමියක් වෙන්න හිතාගෙන.

“මේ ලෝකේ නරක ගුරුවරු හිටියත් නරක ළමයි නෑ..”

නෛනාගේ කතාව සමාධිට මතක් වුණා.

ඇත්ත,දරුවෝ තාමත් හිස් චිත්‍ර පොත්.ලස්සනම පාට හොයාගෙන ඒ පිටු සුන්දර කරන වගකීම අයිති වැඩිහිටියන්ට.

More Stories

Don't Miss


Latest Articles