අම්මා කැමති නෑ!

“ඔයා ඔය ඇඳන් ඉන්න ගවුම හරි ලස්සනයි දිව්‍යා..”

නුවන් මට කියන්නේ ආදරණීය හඬකින්.ඇත්තටම තමන් ආදරය කරන කෙනා අතින් ඒ වගේ කතාවක් අහනකොට ඕනෑම ගෑනු ළමයෙකුට දැනෙන සතුට මටත් දැනෙන්න පටන් ගත්තා.මම නුවන් දිහා බැලුවේ ආදරේ පුරවාගත්ත ඇස් දෙකකින්.ඒත් නුවන් මගේ ඇඟිලි වලින් අල්ලාගෙන ඊළඟට කියන්න ගත්තේ මහා පුදුමාකාර කතාවක්.

“ඒ වුණාට පැටියෝ, අපේ අම්මා කැමති නෑනෙ ගෑනු ළමයි අත් නැති කොට ගවුම් අඳිනවට.අපේ නංගිටත් හරියට බනිනවා..”

මම සමහරවෙලාවට ඕනෑවට එපාවට ඇඳුමක් පටලවගෙන එළියට බහිනකොට “මොකක්ද චූටි ඔය ඇඳන් ඉන්නේ? තරුණ ළමයෙක් නේද? පිළිවෙළකට ලස්සනට ඉන්නකො..” කියන අපේ අම්මාව මට මතක් වුණේ එකපාරටම.ඒ නිසා මං නුවන්ට හිනාවක් විතරක් දෙන්න පරිස්සම් වුණා.

“නුවන්, මේ බලන්නකො..”

මගේ හොඳම යාළුවා තරූ ලස්සන ටැටූ එකක් කරපු ෆොටෝ එකක් නුවන්ට පෙන්නන ගමන් මම නුවන් දිහා බැලුවේ මගෙ හිතට ආපු අදහසක් කියන්න.ඒ තවත් දවසක.

“මේක හරි ලස්සනයි නේද නුවන්? මටත් ආසයි ටැටූ එකක් කරන්න..”

මාත් එක්ක වරුවක් තිස්සේ ටැටූ ඩිසයින් තෝරපු නුවන් ඊටත් පස්සේ වචන පටලව පටලවා දෙයක් කියන්න ගත්තා.

“දිව්‍යා, ඔයා ඇඟපුරාම ටැටූ ගැහුවත් මං නම් ඔයාට ආදරෙයි.ඒ වුණාට අපේ අම්මා ඕවට ආස නෑ දිව්‍යා..”

නුවන් මේ තරමට අම්මාට බය ඇයි කියන දේ හිතා ගන්න බැරි වුණත් මම නිහඬ වුණා.නුවන් කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න,ජීවිතේ ගැන හොඳ තේරුමක් තියන කොල්ලෙක් කියලා මං හිතාගෙන හිටියත් ඒ දේවල් ඒ තරම් ඇත්ත නෙවෙයි කියලා හිතෙනකොට මට මං එක්කම දැනෙන්නේ තරහක්.

“ඔයා තාම නුවන්ගෙ වයිෆ් නෙවේනෙ දිව්‍යා.ඉතින් එයාගෙ අම්මගෙ පදේට නටන්න ඕනද ඔයා?”

මම ෂොපින් ගිහින් අත්දිග ගවුම් හොයනකොට තරූ මගෙන් ඇහුවේ නොරිස්සුමෙන්.ඒකත් ඇත්ත! හොඳ නරක ගැන ප්‍රවේසමෙන් තේරුම් ගන්න ඉඩ දෙන මගේ අම්මාත් හැමදේටම නීති දාන නුවන්ගේ අම්මත් කියන්නේ අහසත් පොළොවත් තරම් වෙනස් චරිත දෙකක් කියලා මට නොහිතුණාම නෙවෙයි.

“ඔයා මැරි කළාට පස්සේ රස්සාවෙන් අස් වෙනව නේද දිව්‍යා?”

නුවන් දවසක් ඇහුවේ හරි අපූරු ප්‍රශ්නයක්.මම ඒ වෙනකොට හිටියේ ඊළඟ උපාධිය වෙනුවෙන් මම සිහින මවන විදේශ විශ්ව විද්‍යාලයට යන්න තියන පාරවල් ගැන සෝදිසි කරමින්.එහෙම දිග ගමනක් යන්න හීන දකින මට කසාදෙන් පස්සේ රස්සාව අතාරින්න කියන එක ඇහුණේ මහා නපුරු තාලෙකට.

“ඔයා ආස මං රස්සාවෙන් පස්සෙ ගෙදර ඉන්නවටද?”

මං එහෙම අහනකොට නුවන් හිනා වුණා.

“එහෙමම නෙවෙයි ඉතින්!” 

නුවන් එහෙම කියන්නේ මගේ මුහුණ දිහා නොබලා ඉන්න ප්‍රවේසම් වෙන ගමන්.

“අපේ අම්ම ඊයේ මාත් එක්ක කතා කර කර හිටියා අපි ගැන.අම්මා නම් කියන්නෙ ඔයා කසාදෙන් පස්සෙ රස්සාවට ගියාම මුළු ගෙදරම අවුල් වෙන්න පුලුවන්ලු..”

එහෙම වෙන සූත්‍රය ගැන නුවන්ගේ අම්මා මුණ ගැහෙන්න ගිහින් අහන්න තරම් හිතෙන සිතුවිල්ලට දිගින් දිගටම පොහොර දමමින් නුවන් කතා කරන්න පටන් ගත්තා.

“ගෙදරක් පිළිවෙළකට තියා ගන්නයි බබාලා හොඳට හදා ගන්නයි බෑ දිව්‍යා ඔයා රස්සාවක් කරොත්.අනිත් එක අපි බැන්ද ගමන් බබෙක් හදමු හොඳේ..අම්මා කියන්නෙ ඉක්මනින්ම මුණුබුරෙක් දකින්න ඕනලු.”

මම ලෙහෙසිපහසු නොවන ගැටයක පැටලෙමින් තියෙන බව තේරුම් යනකොට තාම පෙරහැරේ කසහඬ ඇහෙන මානයේ මං ඉන්න බව මම හිතුවා.ඇත්තටම තාම පෙරහැර ගිහින් නෑ.

“තමන් ගන්න තීරණ ගැන මිනිස්සු එකපාරක් නෙවෙයි දෙතුන්පාරක් හිතන්න ඕන චූටි.ඔයා ගන්න හදන තීරණේ හින්දා ඔයාගේ ජීවිතේම අවුල් වෙනවා නම් ඔයාට ඕනෑ වෙලාවක හැරෙන්න පුලුවන් වෙන්න ඕන.නේද?”

කස හඬ අහමින් ඉන්න මගෙන් අම්මා එහෙම අහනකොට මම  මගේ අම්මා කියන දේ මොනතරම් ඇත්තක්ද කියලා කල්පනා කළා.

“අපි වැඩිහිටියො කියන දේවල් පිළිගන්න ඕන තමයි.ඒත් ඕනෑවට වඩා මමයි තාත්තයි වුණත් ඔයාගෙ ජීවිතේට අත පෙව්වොත් ඔයා ඒකට කැමතිද චූටි?”

අම්මා අහනකොට කස හඬ එක්ක බෙර හඬේ සද්දෙත් මට ඇහෙන්න පටන් අරන්.තාමත් පෙරහැර ගිහින් ඉවර නෑ.

නුවන්,මට යූකේ යන්න පුලුවන්.අර යුනිවර්සිටි එකෙන් මාව තෝරාගෙන..”

මගේ සතුට නුවන් එයාගේ කර ගත්තේ නෑ.ඊටත් පස්සේ එයාගේ අම්මා මම තනියම වෙන රටවල් වල යනවට අකමැති බව කියන්න සෑහෙන වෙලාවක් වියදම් කරා.මම ඒ කතාව අහගෙන හිටියේ අහගෙන ඉන්න ඕන නිසා.ආයේ මම නුවන්ට ඇහුම්කන් දෙන එකක් නැති නිසා.

“නුවන්,ඔයාගේ අම්මාට ඕන හැමදේම කරන්න මට අමාරුයි.ඒකෙන් ඔයාගෙ විතරක් නෙවෙයි මගේ හීනත් නැත්තටම නැති වෙලා යනවා.මට මාව නැති කරගන්න අමාරුයි.ඒ නිසා ඔයාගෙ අම්මා ආස විදියට ගෑනු ළමයෙක් හොයා ගන්න මම ඔයාට සුබ පතනවා..”

මගේ අන්තිම පණිවිඩය නුවන්ට යවපු මම ලොකු හුස්මක් ගත්තා.ඇත්තටම නිදහස කියන්නේ පුදුමාකාර ලස්සන හැඟීමකට.

More Stories

Don't Miss


Latest Articles