මතක දිගහැරුම 98 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ අටවන දිගහැරුම ,

දරු ප්‍රසූතියෙන් පසුව දින දෙකක් පමණ රෝහලේ රැඳී සිටීමට මා හට සිදු විය.බොහෝ දෙනාගේ සුබපැතුම් මා වෙත ගලා ආ අතර මාගේ සහ දරුවාගේ සුවදුක් බැලීම සඳහා බොහෝ දෙනා රෝහලට ද පැමිණියහ.අලංකාර මල් පොකුරු අතැතිව පැමිණි ඒ සියලු දෙනාගේම ආදරය සහ ආශිර්වාදය මා හට ඒ මොහොතේ ඉමහත් ශක්තියක් විය.

අලුත උපන් කුඩා පුතු ද රැගෙන ආපසු නිවසට පැමිණීමෙන් පසුව ඔහුගේ සියලු කටයුතු සිදු කළේ මා විසින්මය.මගේ සහයට නිවසේ කිහිප දෙනෙකු සිටියත් ඒ කිසිවෙකුටත් මා පුතුගේ වැඩ කටයුතු කිරීමට ඉඩ තැබුවේ නැත.නිවුන් දරුවන් දෙදෙනාගේ කටයුතු කිරීමෙන් ඒ වන විට මා බොහෝ අත්දැකීම් ලබා සිටි නිසාත් , වයසින් මුහුකුරා ගොස් සිටි නිසාත් බාල පුතු ව රැකබලා ගැනීම සහ ඔහුගේ කටයුතු කිරීම මට විශාල පහසුවක් විය.දේශපාලන කටයුතු වලට අවතීර්ණ වීමෙන් පසුව හෂාන් ඉතා කාර්යබහුල වූ නිසා මා නිවසේ සහ දරුවන්ගේ සියලු කටයුතු කළමනාකරණය කර ගත්තෙමි.මගේ අම්මාද නිතර නිතර ම පාහේ මා බැලීම සඳහා අපගේ නිවසට පැමිණියාය.නමුත් මා ඒ බොහෝ අවස්ථාවන්වල දී ඇය හට පැවසුවේ ඒ මොහොතේ දී ඇය ගත කළ යුත්තේ නංගී සමඟ බවයි.ඒ වන විට ඇය ඇයගේ ප්‍රථම දරු ප්‍රසූතිය වෙනුවෙන් සූදානම් වෙමින් සිටි නිසා අම්මාගේ සහාය වැඩිපුරම අවශ්‍ය වන්නේ ඇයට යැයි මා සිතුවෙමි.නමුත් අම්මා මා පිළිබඳව සොයා බැලීමට පැමිණීම නතර කළේ නැත.ඇය දිනපතා ම අප නිවසට පැමිණෙමින් නිවසට දුම් අල්ලමින් අප නිවසෙහි ද කාලය ගත කළා ය.

වැඩිමහල් පුතුන් දෙදෙනා ඔවුන්ගේ බාල සහෝදරයාට දැක්වූයේ අසීමිත ආදරයකි.ඔවුන් දෙදෙනාට පමණක් මා දැක්වූ ආදරය බාල සහෝදරයා වෙතද බෙදී යාම පිළිබඳව ඔවුන් තුළ ඉරිසියාවක් වැනි හැඟීමක් කිසි විටෙකත් තිබුණේ නැත.ඔවුන්ට අවශ්‍ය වූයේ නිතරම ඔවුන්ගේ මල්ලි ළඟ හිඳිමින් ඔහුව අතගාමින් සිටීමටය.බාල පුතු නින්දේ සිටින අවස්ථාවලදී පවා ඔවුන්ට එසේ කිරීමට අවශ්‍ය වූ විට මා ඔවුන් කාමරයට පැමිණීම වැළැක්වීමට උත්සාහ කලෙමි.ඒ නැවතත් ඔහුව නිදි කිරීම තරමක අපහසු කාර්යයක් වන නිසාය. ” අම්මි අපිට මල්ලිව අල්ලන්න වත් දෙන්නේ නෑ ” කියමින් නෝක්කාඩු කියන වැඩිමහල් පුතුන් දෙදෙනා කාමරය වෙතින් නික්ම යයි.කෙසේ හෝ අප ඔවුන් දෙදෙනා වෙනුවෙන් සූදානම් කළ කාමරයේ නිදා ගැනීමට ඔවුන් හුරු වූයේ කුඩා පුතුගේ පැමිණීමෙන් පසුවය.ඔවුන් දෙදෙනාට කාමරය හුරුවන තුරු බොහෝ අවස්ථාවන්වල දී මගේ අම්මා ද ඔවුන් සමග නිදා ගත්තාය.

නිවුන් දරුවන් දෙදෙනා අතර වෙනස විනාඩියක පමණ කාලයක් වුවත් ඔවුන් දෙදෙනාගෙන් බාල පුතු නිවසේ හුරතලා ලෙස අප කාගේත් අවධානය දිනාගෙන සිටියේය.නමුත් මා වැඩි කාලයක් අලුත උපන් කුඩා පුතු වෙත අවධානය දීම නිවුන් දරුවන් දෙදෙනාගෙන් බාල පුතු ගේ සිතෙහි යම් දුකක් ඇති කර ඇති බව වරෙක මට සිතුනි.කෙසේ වෙතත් නිවුන් දරුවන් දෙදෙනාගේ වැඩකටයුතු කිරීමද ,ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීම ද ඒ අතරතුරදී බාල පුතුගේ වැඩකටයුතු කළමනාකරණය කරගෙන කර ගැනීමටද මා ඉමහත් වෙහෙසක් දැරුවෙමි.අපහසුවෙන් හෝ සියල්ල සමබරව කරගෙන යන අතරතුර දරුවන් තිදෙනා වෙතම අවධානය යොමු කිරීමට මා උත්සාහ කළෙමි.කෙසේ හෝ බාල පුතුට හැකි තරම් කාලයක් මව්කිරි ලබා දීමට උත්සාහ කළ මා නිවුන් දරුවන් දෙදෙනාට ලබා දුන්නාට වැඩි කාලයක් බාල පුතුට මව් කිරි ලබා දුන්නේ එක් දරුවෙකුට මව්කිරි ලබාදීම එතරම් අපහසු කාර්යයක් නොවන නිසාය.

සියල්ල කළමනාකරණය කර ගන්නා අතරතුර මා ක්‍රමක්‍රමයෙන් හෂාන්ගේ දේශපාලන කටයුතු වලට ද සහයෝගය ලබා දීම ආරම්භ කලෙමි.හෂාන් ඔහුගේ කටයුතු වලට පහසු වන ආකාරයට අවිස්සාවෙල්ල ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන තිබූ නිසා බාල පුතුට මාස තුනක් පමණ වන විට මා ඔහුව ද කැටුව හෂාන්ගේ කටයුතු වලට සහයෝගය දැක්වීමට එහි ගියෙමි.ඒ සමගම සමහර දින වලදී නිවුන් දරුවන් දෙදෙනාවද මා කැටුව ගියෙමි.

ඒ අතරතුර කාලයේදී මගේ නංගීද පළවෙනි දරු ප්‍රසූතියට මුහුණ දුන්නාය.මගේ තාත්තාගේ සමේ පැහැයට සමාන තරමේ සමක් ඇති නංගිට ලැබුණේ ඒ හා සමානම සුන්දර රුවක් ඇති පුත් රුවනකි.කෙසේ වෙතත් ඇය මව් පදවිය ලැබීම පිළිබඳව අප සියලු දෙනාගේම සිත් වල අසීමිත සතුටක් විය.

දිනක් මා නිදා සිටින අතරතුර අළුයම් කාලයේදී කවුරුන් හෝ මා හට කතා කරන බව මා හට ඇසුනි.

” චූටි පුතා ව හම්බ උනේ කැබලිත්තේ ගිහින් පූජාව කරපු දවසේ නේද ? “

යනුවෙන් කවුරුන් හෝ මගෙන් ඇසූ ආකාරය මා සවන් තුල දෝංකාර දෙමින් තිබුණි.උදෑසන අවදි වූ විට කවුරුන් හෝ මගෙන් විමසූ දේ පිළිබඳව මගේ මතකයට නැගුණි.කාලයක් පුරාවටම දින පොතක් ලිවීම මා පුරුද්දක් කරගෙන සිටියෙමි. දිනය පුරාවටම සිදු වූ දේවල් , වියදම් ආදී සියල්ලම මා එහි සටහන් කරමි.එපමනක් නොව එම පැරණි දින පොත් සියල්ලම මා සතුව අදටත් සුරක්ෂිතව ඇත.කවුරුන් හෝ සිහිනෙන් විමසූ දෙය හදිසියේම සිහිපත් වූ විට මා ඊට පෙර අවුරුද්දෙ දිනපොත ගෙන පරීක්ෂා කළෙමි.බාල පුතු මෙලොව එළිය දුටුවේ 2005 වර්ෂයේ සැප්තැම්බර් පස් වන දින වන අතර හරියටම ඊට පෙර වසරේ එනම් 2004 වර්ෂයේ සැප්තැම්බර් පස්වන දින අප විසින් කැබලිත්ත පූජා භූමියේ පූජාව සිදුකර තිබුණි.එය දින පොතේ සටහන් වී තිබෙනු දුටු විට මා පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි.බාල පුතු තරමක් තේරෙන වයසට පැමිණි විට ,

” ඔයාව මට දුන්නේ කැබලිත්තේ ඉන්න දෙවියෝ නේ “

යැයි මා ඔහුට කියමි.අප නිවසේ සේවය කිරීමට සිටින අය ඇතැම් විට ඔහු හා විහිළු තහළු කරමින් ඔහුව කෝපයට පත් කරන විට ඔහු එකවරම ඇඟිල්ල දිගු කරමින් ඔවුන් වෙත පවසන දෙයක් ඇත.

” මේ. මට මොකුත් කියන්න එපා හරිද ? දන්නවද මාව දුන්නේ කවුද කියලා ? මාව දුන්නේ කතරගම දෙවියෝ “

අප සියලු දෙනාගේම මුවට සිනහවක් නංවමින් ඔහු එසේ පවසයි.කෙසේ හෝ කැබලිත්ත පුද භූමියේ පූජාව සිදු කළ සිදුකළ අවස්ථාවේදී මා ප්‍රාර්ථනා කලේ තවත් දරුවෙකු ලැබීමට මා හට වාසනාව ඇත්නම් මා හට ආශීර්වාද කරන ලෙසයි.මා ප්‍රාර්ථනා කළ දෙය හරියටම වසරකට පසුව මා හට ලැබීම ඇත්ත වශයෙන්ම වශයෙන් ම ආශ්චර්යයක් ලෙස මා සලකමි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles