මතක දිගහැරුම 96 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ හයවන දිගහැරුම ,

බොහෝ දේ තේරෙන වයසේ පසු වූ පුතුන් දෙදෙනාද කැටුව හෂාන් සහ මම එංගලන්තයේ විවිධ ස්ථානවල සංචාරය කළෙමු.දින 10ක පමණ වූ එම ගමන අතරතුරදී මගේ කුස සිටි දරුවාට ද අවශ්‍ය දේවල්ද මා මිලදී ගත්තෙමි.කෙසේ හෝ අප එම එංගලන්ත ගමනේ යෙදෙමින් සිටින විට ක්‍රිකට් ආයතනය තුළ යම් යම් ගැටලු ඇති වෙමින් තිබී ඇත.එම ගැටලු වල ප්‍රථිඵලයක් වශයෙන් තිලංග සුමතිපාල මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඉවත් කර වෙනත් අතුරු පාලක කමිටුවක් පත් කර තිබුණි.ඉන්පසුව එය මගින් Cricket Aid ව්‍යාපෘතිය නතර කර ඇත.එම ආරංචිය අප වෙත ලැබුණේ එංගලන්තයේ සිටින අතරතුර දී ය.නමුත් හෂාන් ඔහුගේ වැඩපිළිවෙළ නතර කර දැම්මේ නැත.ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් දරුවන් පිළිබඳව සහ වැඩපිළිවෙළ කෙරෙන ආකාරය පිළිබඳව අවශ්‍ය කරුණු කාරණා සියල්ලම ඔහු සාකච්ඡා කර ගත්තේය.අප නැවත ලංකාව බලා පැමිණියේ ඉන් පසුවය.

අප ලංකාවට පැමිණෙන විට Cricket Aid ව්‍යාපෘතිය මුළුමනින්ම නවතා තිබුනි.එයින් හෂාන් ව ඉවත් කිරීම සඳහා හේතුවක් ඔවුන් හට තිබී නැත.නමුත් ඔහුව ඉවත් කිරීමට හේතුවක් ඔවුන් පසුව දක්වා තිබුණි.හෂාන් එංගලන්තයට යන විට නිවාඩු ඉල්ලුම් නොකර ගිය බවට ඔවුන් එම හේතුව ලෙස දක්වා තිබුණි.නමුත් ඇත්ත වශයෙන්ම හෂාන් එංගලන්තයට පිටත් වීමට පෙර, ඔහුගේ ගමන පිළිබඳව සහ ගමනේ අරමුණ පිළිබඳව විධායක නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් දැනුවත් කළේය.එසේ හේතු දක්වමින් නොනැවතුන ඔවුන් හෂාන් වෙනුවෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ද කටයුතු කර තිබුණහ.කෙසේ හෝ ඒ අතරතුර දී පවා හෂාන් Cricket Aid නිලධාරී මණ්ඩලය සමඟ අප නිවසේ සිට අවතැන් වූ ජනතාව වෙනුවෙන් සිදු කරගෙන ගිය අදාල ව්‍යාපෘති වල කටයුතු සිදු කළේය.එම කටයුතු වලට අවශ්‍ය වූ වියදම් පවා හෂාන් තම පෞද්ගලික වියදමින් දැරුවේය.සති දෙකක පමණ කාලයක් හෂාන් අනෙකුත් නිලධාරීන් සමග එසේ වැඩ කටයුතු කළේය.නමුත් අවාසනාවකට මෙන් අවසානයේ දී Cricket Aid ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමිණි.සුනාමියෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් කෙරීගෙන ගිය සියලු ව්‍යාපෘති ද , අසරණ වූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ද ඒ අනුව සම්පූර්ණයෙන්ම ඇණහිටුනි.

අවතැන් වූ ජනතාව වෙනුවෙන් සිදුකරගෙන ආ ඉතා වටිනා ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවීම පිළිබඳව අප කාගේත් සිත් තුළ වූයේ විශාල කම්පාවකි.මව් පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටි මා හට එය විශාල වශයෙන් මානසික කඩා වැටීමක් විය.කිසිදු වාසියක් හෝ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ස්වේච්චාවෙන් සේවය කළ හෂාන්ද ව්‍යාපෘතිය නවතා දැමීමට සිදු වීම හේතුවෙන් විශාල ලෙස කම්පා විය.අනෙක් අතට, අසරණ වූ දරුවන් හට ශිෂ්‍යත්ව ලබා ලබා දීමේ වැඩපිලිවෙල ඉතා පිළිවෙලින් සහ හොඳින් සැලසුම් කළ ද එය සම්පූර්ණ කිරීමට නොහැකි වීම පිළිබඳව ද අප හැම දෙනාගේම සිත් වල කණගාටුවක් ඉතිරි විය.පසු කාලීනව අප හට දැන ගැනීමට ලැබුණු පරිදි දේශපාලන බලපෑම් සහ විවිධ මතභේදාත්මක තත්ත්වයන් නිසා Cricket Aid ව්‍යාපෘතිය එසේ නවතා දැමීමට සිදුවී ඇත.කෙසේ හෝ දිවි පරදුවට තබමින් එල්ටීටීඊ සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වමින්ද , විශාල කැපකිරීම් කරමින් ද ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවූ නිසාද, සිදු වූ සියල්ල පිළිබඳව අවසානයේ දී හෂාන්ගේ සිතෙහි විශාල කලකිරීමක් විය.

ව්‍යාපෘතිවල කටයුතු සඳහා හෂාන් හට විශාල සහයෝගයක් ලබා දුන්, Cricket Aid ව්‍යාපෘතියෙ හිටපු භාණ්ඩාගාරික වූ කෙවිටියාගල මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමාගේ හිතවතෙකු විය.දිනක් හෂාන් ව මුණ ගැසීමට පැමිණි කෙවිටියාගල මහතා මෙසේ කීවේය ,

” ඔයාගේ වැඩ ගැන ගොඩක් අය බලාගෙන ඉඳලා තියෙනවා.ඒ අය ඔයාගේ මේ වැඩපිළිවෙළ ගැන ගොඩක් ප්‍රශංසා කළා.ඔයා වගේ තරුණ කෙනෙක් මේ කරන සේවය ගැන හැමෝම හොඳ කතා කරනවා .ඒ විතරක් නෙමෙයි ඔයා වගේ කෙනෙක් දේශපාලනයට එනවා නම් හොඳයි කියලාත් ඒ අය කතා වුණා.මොකද දේශපාලන බලය තියෙනවා නම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ .මේ වගේ දේවල් කරන්න අපේ රටේ නම් දේශපාලන බලයක් තියෙන්න ඕනේ.කාට උනත් Cricket Aid වගේ ගොඩක් හොද ව්‍යාපෘතියකට මේ වගේ දෙයක් නවත්තන්න පුලුවන් උනා නේ “

ඉතා හොඳින් සැලසුම් කර දියත් කරමින් තිබූ වටිනා ව්‍යාපෘතියක් නතර කිරීමට සිදුවීම පිළිබඳව කාල කිරීමෙන් පසු වූ හෂාන්ගේ සිතට කෙවිටියාගල මහතාගේ වදන් තදින් කා වැදුණේය.

” ඒ අයගෙන් ඔයාට ආරාධනාවක් තියෙනවා “

යයි වැඩිදුරටත් පැවසූ කෙවිටියාගල මහතා , හෂාන් පිළිබඳව කතාබහ කළ පිරිස මුණගැසීමට ඔහුව කැටුව ගියේය.හෂාන් නැවතත් නිවසට පැමිණියේ සුහද කතාබහකින් පසුවය.

” ඔයා වගේ දක්ෂ චරිත දේශපාලනයට එන්න ඕනේ ඉස්සරහට මේ රට ගොඩගන්න.නායක තුමාගෙන් ආරාධනාවක් ආවා.ඔයා කැමතිද ? “

යනුවෙන් නැවත වාරයක් කෙවිටියාගල මහතා හෂාන් ගෙන් විමසුවේය.

වාමාංශික පවුල් වූ අපගේ පවුල් වල එක්සත් ජාතික පක්ෂය සඳහා ඡන්දය ලබාදුන් ලබා දුන් කිසිවකු සිටියේ නැත.මගේ දෙමව්පියන් සහ හෂාන්ගේ දෙමව්පියන්ද වාමාංශික විය.එම නිසා කෙවිටියාගල මහතාගේ යෝජනාවට මා තදින්ම විරුද්ධ වූයෙමි.මන්ද , හෂාන්ගේ සිත තුළ තිබූ කලකිරීම නිසා ඔහු කෙවිටියාගල මහතාගේ යෝජනාවට කැමැත්තක් දැක්වූයේය.ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ ජය පරාජය යන අවස්ථා දෙක හමුවේ රට වැසියන් ලබාදුන් නොමද සහයෝගය සහ ආශිර්වාදය නිසා ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට හෂාන් තුළ තදබල උවමනාවක් විය.නමුත් රටට සේවයක් කිරීමට නම් දේශපාලන බලය වුවමනා බව ඔහු තුළ සිතුවිල්ලක් වූයේ ගත වූ කාල වකවානුව තුළ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් නිසා ය.අප කිසිවකුත් දේශපාලනයට සම්බන්ධ පවුල් වල අය නොවූ නිසා මා මගේ විරෝධය දැක්වූයෙමි. හෂාන්ට ලැබුණු ආරාධනාව පිළිබඳව දැනගත් ඔහුගේ මිතුරන්ද දේශපාලනයට ප්‍රවිශ්ට වීම සඳහා නිරන්තරයෙන්ම හෂාන්ව දිරිමත් කළහ.කෙසේ හෝ අවසානයේදී මා ඔහුගේ කැමත්තට ඉඩ දුන්නේ රට වැසියන් කෙරෙහි සේවය කිරීමට හෂාන්ට තදින්ම උවමනා වීම නිසාය

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles