දුෂ්කර ගම්මානවලට එන්නත් රැගෙන පාගමනේ යෙදෙන යුවතිය

සෑම කෙනෙකුම ඉතා අසීරුවෙන් දිවි ගෙවන කාලයක අන් අය වෙනුවෙන් කැප වන්නට සිතෙන්නේ අල්පයක් වූ මිනිසුන්ට පමණයි.එවැනි විශාල හදවතක් ඇති කාන්තාවක් ගැන අද ඔබ සමඟ බෙදා ගන්නට අපි හිතුවා.අන් අය වෙනුවෙන් කැප වූ ඇය ගැන UNiCEF ආයතනයේ නේපාල නිල වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙනවා. 

පසුගිය වසර හතර පුරා, බිර්මා දේවි කුන්වාර් නම් තිස් දෙහැවිරිදි තරුණිය නේපාලයේ ඈත බටහිර දෙසින් පිහිටි ඩර්චූලා දිස්ත්‍රික්කයේ කඳුකර මාර්ගවල දිනපතා ගමනේ යෙදෙනවා. එන්නත් පෙට්ටියක් ඇගේ පිටේ තදින් සවි කර ඇති බව දකින ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා. ඛලංගා දිස්ත්‍රික් මූලස්ථානයේ ඇති එන්නත් ගබඩාවෙන් වරින් වර එන්නත් එකතු කිරීම සහ ඒවා දිස්ත්‍රික්කයේ ඉහළ ප්‍රදේශයේ පිහිටි පිපල්චෞරි සෞඛ්‍ය මුරපොල වෙත ගෙන යාමේ වගකීම බිර්මා සතුයි.ඇය සහායක කාර්ය මණ්ඩල සාමාජිකාවක් ලෙස සේවය කරන්නියක්.

32 හැවිරිදි බිර්මා මුල් කාලයේදී ගමේ ළමයින්ගේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණය සඳහා විවිධ ජීවිතාරක්ෂක එන්නත් රැගෙන ගියා.COVID-19 වසංගත කාලයේ පවා ඇය ඒ ක්‍රියාව නවත්තන්නට කටයුතු කළේ නැහැ.කොවිඩ් පැතිරී ගිය මුල් කාලයේදී එකිනෙකාට සමීප නොවී සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නට බොහෝ අය ක්‍රියා කළත් බිර්මා ඒවා ගැන තැකීමක් කළ තරුණියක වූයේ නෑ.

“COVID-19 එන්නත  රට තුළ ලබා දීම ආරම්භ කිරීමෙන් පසුව, මම එම මාර්ගයේම ගමන් කරන්නට වූයේ මෙම නව එන්නත් සමඟ, ”ඇය පවසනවා.

එන්නත් රැගෙන බිර්මා ගමන් කරන්නේ පහසු මාර්ගයක නොවේ. ගමනේ හරි අඩක් වාහනයකින් යා හැකි වුවත් ඉතිරිය ගිරි දුර්ග මාර්ගයක්.එහි පාලම් පවා තරණය කරන්නට බිර්මාට සිදු වෙනවා.මහ වැසි තත්ත්වයන් වලදී පවා ඇය නොසැලී තමන්ගේ ගමන ගිය බවට යුනිසෙෆ් අඩවිය සාක්ෂි සපයන්නේ ඡායාරූප ඡායාරූප සහ වීඩියෝපට ද සහිතවයි.

මේ කිසිම මාර්ගයක සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් විශ්වාසය තබන්නට බැහැ.බොහෝ විට අධික වර්ෂාවෙන් පසුව ඇති වන නායයෑම් ඉතාමත් සුලබයි.පටු, ගල් සහිත මාර්ගවල වර්ෂාව නිසා සති ගණනක් වාහන ධාවනය කළ නොහැකි වන පරිදි ඇති වන බාධා සහ අන්තරායන් ද වාර්තා වෙනවා. “එය අවදානම් ගමනක්.” බිර්මා එසේ පවසනවා.

නමුත් ඒ අවදානම් සහ අන්තරාදායක බව ඇය දරා ගන්නේ ඇය වෙනුවෙන් නම් නොවෙයි.ඇගේ රටේ සිටින බොහෝ පීඩිත වූ දුෂ්කර ගම්මානවල වැසියන් වෙනුවෙන්.

පැය තුන හතරක් අතර කාලයක් ගත විය හැකි ගමනක් වන වාහන පැදීම සම්පූර්ණයෙන්ම අත්හරිමින් සම්පූර්ණ ගමනම ඇවිද යාමට බිර්මා කැමති වන්නේ එනිසා. “පාරවල් වල තත්වයේකුමක් සිදුවේදැයි අපට කිසි විටෙකත් කලින් සිතන්න බෑ.ඒත් අවම වශයෙන් මට මගේ පාද මත විශ්වාසය තැබිය හැකියි” මුළු ගමනම සම්පූර්ණයෙන් ඇවිද එන අතරේ ඇය ඒ ආකාර කතාවක් පවසනවා.

වසර ගණනාවක් තිස්සේ එන්නත් රැගෙන ගිය බිර්මා ඇගේ ප්‍රජාව තුළ පහසුවෙන් හඳුනාගත හැකි චරිතයක් බවට පත් වී තිබෙනවා.වඩාත් මෑතක දී එන්නත් පිළිබඳ ප්‍රශ්න සඳහා ලෝකයේ අවධානය දිනාගන්නා චරිතයක් බවටද  බිර්මා පත් වෙමින් සිටිනවා 

“මිනිසුන් එන්නත් සඳහා උනන්දුවෙන් බලා සිටිනවා, ඔවුන් නිරන්තරයෙන් මගෙන් අසන්නේ එන්නත් පැමිණෙන්නේ කවදාද, ඔවුන්ට එය ලබා ගත හැක්කේ කවදාද, ඔවුන්ගේ වාරය කවදාද යන්නයි.”

සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් දුෂ්කර ගම් වල මිනිස්සුන්ට විශ්වාසය ඇතිකිරීම සඳහා ද ගෞරවය බිර්මාට නිතැතින්ම හිමි වන්නේ ඒ නිසා.

කෙසේ වෙතත් ඒ ප්‍රශ්න  ඇයට කරදර නොවේ. බිර්මා පවසන්නේ, නොඑසේ නම් රෝග රාශියකට ගොදුරු විය හැකි දරුවන් සහ පවුල් සඳහා එන්නත් භාරව සිටින්නේ තමා බව දැන ගැනීම සැමවිටම ඇගේ රැකියාවේ වඩාත්ම ප්‍රතිලාභදායක අංගය වී ඇති බවක්.

දැන්, වසංගතයත් සමඟඇයට එම වගකීම පිළිබඳ හැඟීම වඩාත් තියුණු ලෙස දැනෙමින් තිබෙනවා.

“මෙය සෑම කෙනෙකුටම දුෂ්කර කාලයක්,” ඇය පවසන්නේ වසංගත කාලයේ පාසලට යාමට නොහැකි වූ තම නව යොවුන් වියේ පුතා සහ පවුල වෙනුවෙන් ඉපයීම සඳහා දැනට ඉන්දියාවේ සේවය කරන ඇගේ සැමියා ගැන. “අපි හැමෝටම අවශ්‍ය මේ වසංගතය අවසන් වී සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට.මගේම ආකාරයෙන් එයට උදව් කිරීම ගැන මම සතුටු වෙනවා.” බර්මා සොම්නස පිරුණු හඬකින් කියනවා.

ඇයට ඇගේම ගැටළුද ඕනෑ තරම් ඇති.නමුත් අනෙකා වෙනුවෙන් කැප වීම මොනතරම් වටිනා දෙයක්ද යන්න මේ කාන්තාව වටහා ගෙන සිටිනවා.දුෂ්කර ගම්මාන වෙත ආහාර සහ එන්නත් රැගෙන ගිය ඇය වසංගතය සමඟ ඒ වෙනුවෙන් වඩ වඩාත් කැප වීමට පටන් ගත්තේ ඒ නිසා වන්නට ඇති.

ලෝකය සුන්දර කරන්නට එක් අයෙකු තබන ඉතා කුඩා පියවරක් පවා ප්‍රමාණවත්.ගිරි දුර්ග මාවත්වල එල්ලෙන පාලම් මත ඇවිද යන බිර්මා පවසන්නේ ද ඒ කාරණාවයි.

ඡායාරූප – Unicef Nepal

Related Articles

Don't Miss


Latest Articles