මඟුල් ගෙදරක වගේ රසට අල කරියක් හදමුද?

අල ශ්‍රී ලාංකීය අපිට අලුත් කෑමක් නෙමෙයිනෙ.

උදේ, දවල්, රෑ සාමාන්‍ය කෑම වේලක වගේම මඟුල් ගෙදරක්, මල ගෙදරක් වගේම දානමාන කටයුත්තක් වෙන ඕනෑම විශේෂ අවස්ථාවකදි වුනත් කෑම මේසෙ වරදින්නෙ නැති අල, හොද්දක්, තෙම්පරාදුවක් වගේම බැඳුමක් විදිහට වුනත් රසවත්ව පිළියෙල කරගන්න පුළුවන්. 

හැබැයි, ඔබට මට හුරු පුරුදු අල කරියෙන් මිදිල ඕනෑම විශේෂ අවස්ථාවකට ගැළපෙන වෙනස් වගේම ඉතාම රසවත් අල කරියක් ඉක්මණින්, පහසුවෙන් පිළියෙල කරගන්න විදිහ ඔබට කියල දෙන්නයි smart lady අපි අද සූදානම් වෙන්නෙ. 

එහෙනම් මුලින්ම බලමු අපිට ඕන කරන දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා පොතු ඉවත්කර තරමක් ලොකු කැබලි වලට කපාගත් අල 500 g ක්

තෙල් මේස හැඳි 03 ක්

වටානා මේස හැඳි 01 ක් 

අබ තේ හැඳි 01 ක්

සූදුරු තේ හැඳි 01 ක් 

වේලිච්ච මිරිස් කරල් 03 ක්

කුඩා කොටු හැඩයට කපාගත් ලොකු ලූණු ගෙඩියක් 

ඉති දෙකක කරපිංචා කොළ 

වෙන් නොවෙන සේ දෙකට පළාගත් අමු මිරිස් කරල් 04 ක් 

අඹරාගත් සුදුළූණු ඉඟුරු මිශ්‍රණය තේ හැදි 01 ක් 

කුඩා කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 02 ක් 

රස අනුව ලුණු කුඩු

කහ කුඩු තේ හැඳි ½ ක් 

මිරිස් කුඩු තේ හැඳි 01 ක් 

කොත්තමල්ලි කුඩු තේ හැඳි 01 ක් 

ගරම් මසාලා තේ හැඳි ½ ක් 

වතුර කෝප්ප ½ ක් 

කොත්තමල්ලි කොළ (අත්‍යාවශ්‍යම නැත) 

ඉන්දියානු තමිල්නාඩු ක්‍රමයට පිළියෙල කරගන්න මේ අල කරියට අපි මේ සඳහන් කරන කුළුබඬුම යොදාගන්න ඔබට පුළුවන් නම් ඒ රස ඒ විදිහටම ලබාගන්න පුළුවන් කියලත් ඔන්න මුලින්ම අපි මතක් කරනව. 

හැමදාම නෑනෙ. ඒ නිසා, මේ කුළුබඬු වර්ගම හොයාගෙන එහෙනම් අපි බලමු කොහොමද මේ අල කරිය හදාගන්නෙ කියල?

සාදාගන්නා ආකාරය 

මුලින්ම තාච්චියක් ලිප තබා තාච්චිය රත්වූ පසු එයට තෙල් එකතු කරන්න.

තෙල් රත්වූ විට එයට වටානා, සූදුරු සහ අබ එක්කර හොඳින් කලවම් කරගන්න. 

අබ ඇට පිපිරී අවසන් වූ පසු දෙකට තුනට කඩාගත් වියළි මිරිස් කරල් එයට එක්කර හොඳින් කලවම් කරගන්න. 

එයටම ලුණු කුඩු තේ හැඳි ½ ක්, කපාගත් ලූණු සහ කරපිංචා එක්කර හොඳින් කලවම් කරගන්න. 

ලූණු යන්තම් රන්වන් පාට වනතුරු විනාඩි 02 ක් 03 ක් පමණ තබා එයට අමු මිරිස් සහ ඉඟුරු සුදුලූණු මිශ්‍රණයත් එක්කර හොඳින් කලවම් කරන්න. 

විනාඩියක් පමණ තබා කුඩාවට කපාගත් තක්කාලි, රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු සහ කහ කුඩු සහ කොත්තමල්ලි කුඩු එක්කර හොඳින් කලවම් කරගන්න. 

ගින්දර අඩුකර ලූණු තක්කාලි මිශ්‍රණයෙන් තෙල් ඉවත්වෙන තුරු හොඳින් කලවම් කරගන්න. 

තෙල් වෙන්වූ පසු එයට වතුර එකතු කර හොඳින් කලවම් කර පියන වසා මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ විනාඩි 05 ක් පමණ පිසගන්න. 

විනාඩි 05 කට පසු පියන ඉවත්කර මෘදු වූ තක්කාලි සහ ලූණු මිශ්‍රණය හොඳින් කලවම් කර එයට තම්බාගත් අල එකතු කරගන්න. 

දැන් අල කැබලි පොඩි නොවෙන සේ සෙමින්, සෑම අල කැබැල්ලකම සාදාගත් තක්කාලි ලූණු මිශ්‍රණය හොඳින් ගෑවෙන කලවම් කර ගන්න. 

ඉන්පසු එයට ගරම් මසාලා කුඩු එක්කර කලවම් කර ලුණු රස බලා ලුණු රස නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු එකතු කරගන්න. 

කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළත් එක්කර නැවත සෙමින් කලවම් කර ලිපෙන් ඉවත් කරගන්න. 

ඔන්න දැන් මේ රසම රස අල කරිය රස බලන්න ඔබට පුළුවන්. 

බත්, ඉඳි ආප්ප, පරාටා, තෝසේ, චපාති වගේ ඕනෑම කෑමක් එක්ක මේ අල කරිය හොඳටම ගැළපෙනව කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

කෘතිම රසකාරක, සුවඳකාරක හෝ වර්ණකාරක මොනවත් නැති පෝෂ්‍යදායී කෑම වල වටිනාකම වැඩි වැඩියෙන් කතාබහ වෙන මේ කාලයේ මේ වගේ රසම රස කෑමක් හදන විදිහත් එක්ක ආයෙත් ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. 

රසට කන්න, සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles