බනින්නෙ ආදරේට කියලා ඔයත් හිතනවද?

මම මෙහෙම ඇහුවොත් එක එක අයට දෙන්න තියෙන උත්තරේත් එක එක විදියයි. කෙනෙක්ට ඒක වසන්ත කාලයක් වගේ.

ලස්සන මල් පිපෙන, රසම පලතුරු වල රස බලන්න ලැබෙන, කුරුල්ලො සන්තෝසෙන් ගී ගයන වසන්ත කාලයක් වගේ. ඒත් සමහරුන්ට නම් ඒක කටුක ගිම්හානයටත් වඩා කටුකයි.

 “මුදු පරම සුපිවිතුරු ආදරයෙන් 

අප වෙලී දෙඩූ අඬ සැඳෑ කලේ 

ඔබගෙන් සමුගත් මොහොතේ 

ඔබෙ සිත මා පසුපස මගෙ කුටියට ඇවිදින්” 

ප්‍රේමකීරිතිද අල්විස් මහතාගේ සුන්දර පද රචනයෙන් සහ වික්ටර් රත්නායක ශූරීන්ගේ මනහර කට හඬින් ගීතවත් වුණු මේ ගීතය ඔයාලත් අහල ඇති. 

හැබැයි හැමෝටම මුදු පරම සුපිවිතුරු ආදරයක් නම් ලැබෙන්නෙ නැහැ. 

කෙනෙක්ට ආදරේ වසන්තයක් වෙන්නෙත්, තවත් කෙනෙක්ට ගිම්හානයක් වෙන්නෙත් තමන් තෝරගන්න සහකරුවා අනුව. 

“බණින්නේ හදාගන්න ඕන නිසා.”

 “තරහා ගියාම එක එක දේවල් කියල බැන්නට, ඒ බනින්නේ ආදරේ නිසා” වගේ කතා මොනතරම් නම් මුහුණු පොත ඇතුලෙ එහෙ මෙහෙ යනවා අපි දැකල තියෙනවද? 

මොනතරම් ඒ වගේ දේවල් වැරදියි, ඒ වගේ පෝස්ට් ශෙයා කරන එක වැරදියි කියල අපි කිව්වත් අදටත් අපි අතරේ සහකාරයාගෙන් පරුෂ වචනයෙන් බැනුම් අහන, ඒ නිසා පීඩාවල පත් වුන අය ඕන තරම් ඉන්නවා.

 මම මේ ලිපිය ලියන මේ මොහොතෙත් එහෙම බැණුම්වලට ලක්වන කෙනෙක් ලෝකේ කොහේ හෝ තැනක ඉන්නවා වෙන්න පූලුවන්.

 ඉතින් ඔයාගේ එයාත්, ඔයාට කොච්චර ආදරේ වුණත් පරුෂ වචනයෙන් බනින, පීඩා කරන සහකරුවෙක්ද?

 පරුෂ වචන කියන්නේ භාවිතා කරන්න හොඳම නැති, “නරක වචන” බව අපි ඉගෙන ගත්ත කොච්චර පුංචි කාලෙද? 

හැබැයි තරහ ගියපු වෙලාවල්වලදි, වටපිටාව ගැන, තමන් කතා කරන්නේ කාටද කියන එක අමතක වෙලා ඔය කියන්න එපා කිව්ව නරක වචන කටෙන් පිටවෙන්න තියෙන ඉඩකඩ නම් කොච්චරද?

 ඉතින් ඇත්තටම ඔයාගේ සහකරුවාත් ඔයාට කොච්චර ආදරේ වුණත් පරුෂ වචනයෙන් කෑගහනවනම්,පීඩාවට පත් කරනවානම් ඔයා මොකද කරන්න ඕන? 

සමහර මිනිස්සුන්ට මේ පරුෂ වචන ඉගෙන ගන්න ලැබෙන්නෙ තමන් කුඩා කාලයේ ඉඳලම ඉන්න වටපිටාව අනුව. 

සමහරු එන්න එන්න තරුණ වෙද්දි ඇසුරු කරන යාලුවෝ, ඉස්කෝලේ, විශ්ව විද්‍යාලයේ ඉන්න අනිත් පුද්ගලයන් එක්ක එකමුතු වෙද්දිත් මේ වචන ඉගෙන ගන්නවා.

 මේ වගේ සමහර අවස්තාවන් නම් නියපොත්තෙන් කඩල දාලා ප්‍රශ්නෙ විසඳන්න පුලුවන් වුණාට තරුණ හෝ මැදි වියේ හෝ ඉන්න සහකරුවෙක් මේ වගේ හැසිරෙනකොට ඒක අපිට නොසලකා හරින්න හෝ නියපොත්තෙන් කඩන්න පුලුවන්කමක් නෑනෙ. 

ඉතින් පොරොවෙන් කපන්න වුණත්, පොරව අතට ගන්න ඕන විදියකුත් තියෙනවා.

 ඔයාගේ සහකරුවාට තරහ ගිහින් ඉන්න වෙලාවක එයා පරුෂ වචනයෙන් බනිනවනම් ඔයා එයා එක්ක ගනුදෙනු කරන්න ඕන හරිම විදිය මොකද්ද කියන එක ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතා කරන්නේ.

ප්‍රතිචාර දක්වන්න එපා

තමන් දිවිහිමියෙන් ආදරේ කරන මනුස්සය තරහ ගියපු වෙලාවට තමන්ගෙ හිතත් රිද්දගෙන, වටපිටාවෙ මිනිස්සුන්ටත් ඇහෙන්න ලැජ්ජ කර කර පරුෂ වචනයෙන් කෑගහන වෙලාවක දරාගන්න මොනතරම් අමාරුද කියල අපි නොදන්නවා නෙවෙයි. 

හැබැයි මේ වගේ වෙලාවක තමයි කරන්න තියෙන හරිම දේ තමයි ප්‍රතිචාර නොදැක්වීම.

 ප්‍රතිචාර නොදක්වා ඉන්න තරමට මේ වගේ අවස්තාවල හොඳ ප්‍රතිපල ලැබෙනවා වැඩියි. 

ඒකට හේතුව තමයි මේ වගේ වෙලාවක ඔයාටත් තරහා ගියොත් ඒ කේන්තිය කොතනින් කෙළවර වෙයිද කියලා නොදැනීම. 

ඔයාගේ කටෙන් මොන වගේ වචන පිටවෙයිද කියල නොදැනීම

. ඒ නිසා මේ වගේ වෙලාවක මුලින්ම කරන්න ඕන දේ තමයි එයා මොන දේ කිව්වත් ප්‍රතිචාර නොදක්වා ඉන්න එක. 

එයා කෑගහල කේන්තිය පිට කරල ඉවර වෙන මොහොත වෙනකම් නිහඬව ඉන්න. 

එතනදි මේ ගැන ටිකක් හිතන්න කරන්න ඔයාට වෙලාවක් ලැබෙනව වගේම, ඔයාගේ කටෙනුත් වැරදි දෙයක් නොකියවෙන්න තියෙන ඉඩ ඉතාම අඩු වෙනවා.

 එයා කෑගහන එක අහගෙන ඉන්න අමාරු නම් පැත්තකට ගිහින් ඒ සිටුවේෂන් එකෙන් ටිකකට ඈත්වෙන්න. 

හෙමිහිට හැමදේම තේරුම් කරලා දෙන්න 

තරහ පිටකරලා ඉවර වුණාට පස්සෙ තමයි ඔයා එයාට ළංවෙලා මේ වෙච්ච දේ ගැන කතාකරන්න ඕන.

 මේ කතා බහේදිත් ඔයා ඉවසීම ඉස්සරහින්ම තියාගෙන කතාව අරගෙන යන්න අමතක කරන්න එපා.

 ප්‍රතිචාර දක්වද්දිත් බොහොම නිවිහැනහිල්ලේ ඒක කියන්න අමතක කරන්නත් එපා.

 මුලින්ම එයාට පැහැදිළි කරලා දෙන්න එයා තරහෙන් පිටකරපු වචන ඔයාගේ හිත කොච්චර රිද්දුවද කියලා. 

ඒ නිසා ඔයා මොනතරම් දුක් වුණාද කියලා. මුලින් නම් එයා ඔයා කියන කිසිම දෙයක් පිළිගන්නෙ නැති වෙන්න පුළුවන්. 

ඒත් ආදරේට පුළුවන් ඒ හැමදෙයක්ම විසඳගන්න. 

ඉතින් බොහොම ආදරෙන්, කරුණාවෙන් “එයා නිසා ඔයාගේ හිත මොනතරම් රිදුණද” සහ “ඒ වගේ දෙයක් ආයෙ නොවෙන්න කටයුතු කරන්නේ කොහොමද?” කියන එක පැහැදිලි කරලා දෙන්න.

එයාව අඳුරගන්න 

මම මුලිනුත් කිව්ව වගේ එයා තරහා ගියාම පරුෂ වචන භාවිතා කරන්නේ එයා කාලයක් ජීවත් වුණ වටපිටාවට ඒ වචන අලුත් නොවුණ නිසා වෙන්න පුළුවන්.

 ඉතින් ඒ අතීතය අඳුරගන්න උත්සාහ කරන එක මේ ප්‍රශ්නෙ විසඳගන්න ඔයාට ලොකු උදව්වක් වෙයි.

 එයා තරහා ගියාම ඒ වගේ දේවල් කියන්න පෙළඹුණේ කොහොමද කියල හොයලා බලන්න.

 ඒ වගේම “පරුෂ වචන කියන එක ඕනම සම්බන්ධයකට බලපාන අහිතකර විධිය” ගැන එයාට පැහැදිළි කරලා දෙන්න.

 ඔයාගේ හැඟීම් ගැන විවෘතව එයා එක්ක බෙදා ගන්න එකෙන් මේ ප්‍රශ්නෙ විසඳගන්න එක තවත් පහසුවක් වෙයි. 

සීමාවක් දාගන්න 

ඕනම සම්බන්ධයක් සාර්තකව කරගෙන යන්න නම් ඒ සම්බන්ධයට එකතු වෙලා ඉන්න හැමෝගෙම දායකත්වය අවශ්‍ය වෙනවා. 

ආදර හෝ විවාහ සම්බන්ධයක් නම් ඔයාගෙයි එයාගෙයි දෙන්නගෙම කැපවීම, දායකත්වය ඉතාම වැදගත්. 

ඒත් සමහර සහකරුවන් ඉන්නවා තමන් මොනතරම් වැරදියි කියල දන්නවා වුණත්, ඒක පිළිගන්නෙ නැති හා එකම වරද දිගින් දිගටම කරගෙන යන. 

ඉතින් මේ ප්‍රශ්නෙදිත් එයා ඔයා කියන දේ අහන්නෙම නැතුව, “පරුෂ වචන කියන එක වරදක්” කියල පිළිගන්නෙත් නැතුව දිගින් දිගටම එකම හැසිරීම පෙන්නනවා නම් සම්බන්ධෙ ඇතුලෙ වුණත් සීමාවන් පනවන්න ඔයාට සිදු වෙනවා. 

කොච්චර ආදරේ වුණත් හැමදේම, හැමදාම ඉවසන්න බෑනේ. එහෙම කරන්න ඕනත් නෑ. 

ඉතින් එයාට තේරුම් කරලා දෙන්න, “ඔයා ප්‍රශ්නයකදි මෙහෙම මට කතා කරන එකට මම කැමති නෑ. මම ඒක පිළිගන්නෙත් නෑ. මේ සම්බන්ධෙ ඇතුලෙ ආදරය වගේම එකිනෙකාට ගෞරව කිරීමත් තියෙන්න ඕන” බව. 

උපදේශනයට යන්න 

මොන දේ කිව්වත් එයාගේ හැසිරීමේ වෙනසක් වෙන්නෙ නැත්තම් ඊළඟට කරන්න තියෙන හොඳම දේ තමයි උපදේශනයට යන එක. 

මොකද ප්‍රශ්නයකදි පරුෂ වචන කියලා කෑගහනව කියන එක, ආදරේදි වුණත් වෙන කිසිම දේකදි වුණත් අපිට සාදාරණීකරණය කරන්න හෝ නොසළකා හරින්න පුළුවන් කමක් අපිට නෑ. 

ඉතින් ඔයාගේ ආදරයට හෝ කරුණාබර වචන වලට එයාගෙ පිළිගන්න අමාරු හැසිරීම වෙනස් කරන්න බැරි නම් ඊළඟට ඒ සඳහා අවශ්‍ය කරන වෘත්තීය සහය ලබාගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. 

සමහර විට ඔයාගේ ආදරයට කරන්න බැරි වුණ ඒ වෙනස, වෘත්තීය සහයකින් ලබාගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. 

සබඳතාවය ගැන ආයෙම හිතල බලන්න 

හැමදේම අනිත්‍ය ලෝකේ, ප්‍රශ්නෙකට වුණත් අවසානයක් තියෙනවනේ. 

 ඉතින් උපදේශනයෙනුත් ඔයා බලාපොරොත්තු වන සහනය, පිළිතුර ඔයාට ලැබෙන්නෙ නැත්තම්, ඔයා ඊළඟට කරන්න ඕන දේ තමයි මේ සම්බන්ධතාවයේ අනාගතය ගැන නැවත වතාවක හිතල බලන එක. 

කොච්චර ආදරේ වුණත් ප්‍රශ්නයක් වුණාම පරුෂ වචන කියමින් ඔයාව පීඩාවට පත් කරන ඔයාගේ සහකරුවාගේ හැසිරීම තවදුරටත් දරාගන්න ඔයාට පුළුවන්ද කියන එක.

 පුළුවන් නම් ඒ කොච්චර කාලෙකටද කියන එක.

 ඒ තීරණය අනුව තමයි ඔයාගේ සම්බන්ධයේ අනාගතය සහ පැවැත්ම ගැන හරිම තීරණයක් ඔයාට ගන්න පුළුවන් වෙන්නෙ. අමතක කරන්න එපා. 

ආදර සබඳතාවයකින් ඔයා බලාපොරොත්තු වන මානසික නිදහස, සැනසීම ලැබෙන්නෙ නැත්තම් ඒ ආදර සබඳතාවයේ පැවැත්ම ගැන ඔයා තීරණයක් ගැනීම වරදක් නෙවෙයි. 

හැම කෙනාටම කළින් අපි අපි ගැන හිතන්න ඕන. 

තමන් තමන්ට ආදරය කරොත් විතරයි තව කෙනෙක්ට ආදරය කරන්න පුළුවන් වෙන්නේ. 

ආදරය කියලා ගිනි ගොඩකට පනින්න හිතන්නේ මොකටද?

 ඉතින් වික්ටර් රත්නායක මහත්මයා කියනවා වගේම “මුදු පරම සුපිවිතුරු ආදරයක්” ඔයාට ලැබෙන්න කියල අපි ප්‍රාර්තනා කරනවා. 

ඒ වගේම ආදර සම්බන්ධයක් ඇතුලෙ ඔයත් මේ වගේ ප්‍රශ්නවලින් පීඩා විඳිනවා නම් ඔයාගේ ප්‍රශ්නෙ අහන්න, ඒ ප්‍රශ්නෙට Smart විසඳුම් ලබාදෙන්න, Smart Lady අපි ඔයත් එක්ක ඉන්නවා කියලත් අමතක කරන්න එපා. 

 සටහන – උදතාරී

Related Articles

Don't Miss


Latest Articles