තම නිදහස සොයා ගිය වරදට නිවාස අඩස්සියේ සිරවී වසර ගණනක් දුක් විඳිනා “ලතීෆා කුමරිය”.

ඔබ මේ වීඩියෝව නරඹද්දී තත්ත්වය එතරම් යහපත් නෑ. එක්කෝ මම ජීවතුන් අතර නෑ. නැත්නම් තත්ත්වය ඉතාම ඉතාම ඉතා අයහපත්”

ලතීෆා, ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් ගේ දියණිය යි.ලතීෆාගේ පියා,ලෝකයේ ඉහළම ධනකුවේර රාජ්‍ය නායකයෙක් වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයෙක්. ඉහත ප්‍රකාශය සහිත ඇගේ වීඩියෝවක් යූ ටියුබ් හරහා ප්‍රසිද්ධ වන්නේ 2018 දී. ඒගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සොයා බැලීම් පවා සිදු කළා.

ලතීෆා නැවත කරලියට පැමිණ දින කිහිපයක්.ඒ ඇයව ”ප්‍රාණ ඇපකාරියක” ලෙස රඳවාගෙන සිටින බවට සිය පියාට චෝදනා කරමින් ඇයගේ මිතුරු මිතුරියන්ට රහසිගත වීඩියෝ පණිවිඩ යැවීම හේතුවෙන්.
ලතීෆා අල් මක්ටූම් කුමරිය නිකුත් කළ මේ වීඩියෝ පටයක් බීබීසී ‘පැනරාමා’ විශේෂාංගයට ලැබී තිබෙනවා.බෝට්ටුවකින් පලායමින් සිටි කුමරිය අල්ලාගත් ‘ඩුබායි’ කොමාන්ඩෝ භටයන් ඇය ඖෂධ මගින් මත්කොට යළිත් රැඳවුම් භාරයට පත්කරන ලද බව එහි සඳහන් වෙනවා.

දැන් රහස්‍ය පණිවුඩ අත් හිටවා තිබෙනවා.ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියා කරන්නැයි කුමරියට හිතවත් පිරිස් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් එල්ල කරනවා.

ඩුබායි සහ එක්සත් අරාබි එමීර් බලධාරීන් මුල් කාලයේ පවසා තිබුණේ කුමරිය ඇගේ දෙමාපියන් බාරයේ සිටිනා බවක්.2018 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතවරියක් මෙන්ම අයර්ලන්තයේ ජනාධිපතිවරිය වූ මේරි රොබින්සන් ලතීෆා කුමරිය මුණ ගැසී තිබුණා.එදා ඇය ලතීෆා දඩබ්බර කෙල්ලක් ලෙස හඳුන්වා දුන්නත් මේ වෙද්දී ඒ සිදුවීම සම්බන්ධයෙන් තමාව දරුණු රැවටීමකට ලක් කර ඇතැයි රොබින්සන් මහත්මිය පිළි ගන්නවා.

“මං ලතීෆා ගැන කනස්සල්ලට පත් වෙලා ඉන්නේ. බොහෝ දේ සිදුව ඇති නිසා ඉක්මනින් පරීක්ෂණයක් පටන් ගත යුතුමයි”

මේරි රොබින්සන් එසේ පවසනවා.

ලතීෆා කුමරිය විසින් එවන ලද වීඩියෝ දර්ශන දුරකථන කැමරාවකින් පටිගත කරන ලද ඒවායි.ඇය පලා යමින් සිටියදී අල්ලාගෙන ඩුබායි වෙත ගෙන එන අතර ඒ කැමරාව ඇයට ලැබුණු බව පැවසෙනවා.බොහොමයක් වීඩියෝ නාන කාමරයේ සිට ඈ පටිගත කරන ලද ඒවායි.

දැනට 35 හැවිරිදි වියේ පසුවන ලතීෆා පළමුවෙන් පලායාමට තැත්කර තිබෙන්නේ වයස අවුරුදු 16 දී වුවත් එය අසාර්ථක වූ නිසා ඇය 2018 දී තම උපදේශකවරිය වූ ටීනා සමඟ පලා ගොස් තිබෙනවා.ඔවුන් සුළං පිරවූ බෝට්ටුවක් සහ ජෙට් ස්කී ආධාරයෙන් ඩුබායි අසල ජාත්‍යන්තර මුහුදට පිවිස එහි තිබූ යාත්‍රාවකින් පලා යද්දී ඉන්දියාවට ආසන්නයේදී ඩුබායි කොමන්ඩෝ බටයන් දින අටකට පසු ඔවුන්ව සොයා ගෙන තිබෙනවා. එහි දී කුමරියව නැවත ඩුබායි කරා රැගෙන එන්නට භටයන් සමත්ව තිබෙනවා. ඉන්පසු ඇයට සිදු වූ දෙයක් දැන ගන්නට ලැබී නෑ. යාත්‍රා කාර්ය මණ්ඩලය සහ ටීනා සති දෙකක් ඩුබායිහි රඳවාගෙන තිබී තියෙනවා.

කුමරිය බෝට්‍ටුවෙන් පිටතට ගනිද්දී ඈ භටයන් හා පොරබදිමින් පාපහර එල්ල කරමින් ඔවුන් සපා කන්නට පවා ක්‍රියා කර තිබෙනවා. නමුත් ඇයට මත්ද්‍රව්‍ය ලබා දී නින්දට පත් කර ඇති අතර පෞද්ගලික ජෙට් යානයකින් යළි ඩුබායි වෙත ගෙන එනතුරුම සිහිය ලැබී නැහැ.

දොරවල් අගුලු ලා ඇති විශාල මාලිගාවක ඈ සිරගත ව හිඳිනවා.දැඩි පොලිස් මුරකාවල් ඇති එහි ඇයට වෛද්‍ය පහසුකම් සහ නීතිමය පහසුකම් ලැබෙන්නේ ද නෑ.

2018 ඇගේ පලා යාම ගැන ප්‍රසිද්ධ වූ පසු ඇය නිදහස් කර ගැනීම ගැන විශාල ජාත්‍යන්තර හඬක් නැගෙද්දී ඇය හා මේරි රොබින්සන් අතර හමුවක් පිළියෙල කරන්නට එමීර් රාජ්‍යයට සිදු වුණා. නමුත් එහිදී රොබින්සන් මහත්මිය රැවටීමට ලක් කර ඇතැයි දැන් පැවසෙනවා.

පසුගිය දිනක නිකුත් වූ අලුත්ම වීඩියෝව යළි ජාත්‍යන්තර අවධානය ලතීෆාට ලබා දෙන්නට සමත්.ඇය රඳවා තබා ගැනීම පිළිබඳ විස්තරය BBC ‘පැනරාමා’ වැඩසටහනට හෙළි කරෙ ඇගේ සමීප මිතුරියක සහ උපදේශිකාවක වන ටීනා ජවුහයිනන්,ඥාති සහෝදරයෙක් වන මාකස් එසබ්රි සහ ‘නිදහස් ලතීෆා ව්‍යාපාරය’ මෙහෙයවන ඩේවිඩ් හේග් විසින්.ඇගේ ජීවිතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔවුන් ඒ තීරණය ගෙන ඇති අතර ලතීෆා සිරකරනු ලැබ ඇති ස්ථානය සහ එහි තත්ත්වය ස්වාධීන නිරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට ‘BBC පැනරාමා’ මාධ්‍යවේදීන් සමත් වී තිබෙනවා.

ඉන්පසු ලෝකයේම අවධානය ඇයට ලැබෙන්නට පටන් අරන්. පියා විසින් ප්‍රාණ ඇපකාරියක කරගත් ලතීෆා ජීවිතය ගැන තර්ජනයක හිඳින බවට ඇය පවසනවා. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය එමීර් රාජ්‍යයෙන් විමසීමක් කරන්නට සූදානම්.ලතීෆා කුමරිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය දෙස දැඩි අවධානයෙන් පසුවෙන බවත් බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් පවසා තිබෙනවා.එවැන් බලවත් රාජ්‍යවල අවධානය ඇයට ලැබීම යහපත් තත්ත්වයක්

ඒ අතර ශෙයික් මොහොමඩ්ගේ හයවෙනි බිරිඳ වන බින්ත් අල් හුසේන් කුමරිය ලන්ඩනයේ සැඟවී ජීවත් වෙන්නේ පලා යාමෙන් අනතුරුවයි. දරුවන් දෙදෙනා සමඟ බ්‍රිතාන්‍ය වෙත පලා ආ ඇය පවසා තිබුණේ තමන්ගේ ජීවිතය ගැන තිබුණු බිය නිසා මෙලෙස පලා ආ බවක්.විවාහ කිහිපයකින් දරුවන් විසි තුනක් සිටින ෂෙයික් මොහොමඩ් අතින් ලතීෆා අපයෝජනයට ලක් වී ඇති බව පවා කියැවෙනවා.

ඩුබායි ඉතා සාර්ථක නගරයක් ලෙස පවත්වාගෙන යන ෂෙයික් මොහොමඩ් කිසිදු මානුෂියත්වයක් නැති කාන්තාවන් තලා පෙලෙන්නෙකු බව පැවසෙනවා. මුදල සහ ආගම් යන සියල්ලටම ඉහලින් ලෝකයේ සාධාරණත්වය සහ නීතියක් පවතින නිසා ලතීෆා පරාජයට ලක් වී මිය යන්නට පෙර ඇයව ගලවා ගන්නා තුරු මේ මොහොතේ ලෝකයම බලා සිටිනවා.

තමන්ගේම පියාගේ සිරකාරියක වීම තරුණ කාන්තාවකට දරා ගත හැකි අත්දැකීමක් වන්නේ නෑ. ඇයට මේ අඳුරු මන්දිරයෙන් මිදී නිදහස් ලෝකය වෙත පැමිණෙන්නට ලෝකයේ යුක්තිය ඉතිරිව පවතීවා යන්න අපේ පැතුමයි!

More Stories

Don't Miss


Latest Articles