සෝබන…

” මං ලස්සන නෑ නේද අහස් ?”

හසන්ති අහස්ගේ ලඟින් ඉඳගෙන එහෙම ඇහුවා. ප්‍රශ්නේ වගේම උත්තරෙත් හසන්තිම තීරණය කරලා තිබුණ නිසා අහස් ඒකට උත්තර දුන්නේ නැහැ. ඒ වෙනුවට රූපවාහිනී නාලිකාවක් මාරු කලා.

” ඔයාට ලස්සන කෙල්ලෙක් මැරි කරන්න තිබුණා නේ අහස් …. ඇයි මාවම තෝරගත්තේ….?”

හසන්ති මේ සූදානම් වෙන්නේ  හිත් රිදවා ගැනීමකට කියලා අහස්ට හිතුන නිසා අහස් කලේ ඒ ප්‍රශ්නෙත් නෑහුණ ගානට උන්න එක.

” ඇත්තටම අනුත්තරාට අකමැති උනේ ඇයි ඔයා …. ඔයා දැක්කාද අනුත්තරා ෆැශන් පේජ් එකක මොඩ්ලින් කරන්න ගිහින් තිබුණා… එයා ලස්සන වෙලා…”

සරසවි ප්‍රේමවන්‍තියක් ගැන මතක් කරලා හසන්ති අහනකොට නම් අහස්ගේ ඉවසීම ඉවර වුණා. 

” දැන් ඔයාට අදත් රණ්ඩු කරගන්නද ඕනි හසා …. මොන විකාරයක්ද මේ  ? ඉඳලා ඉඳලා වේලාසන ගෙදර ආවොත් ඔයාට අඩව්වක් අල්ලන්න ඕනි … ” 

අහස් උස් හඬින් කිව්වා. හසන්ති අහස්ගේ වචන එක්ක තව හිත රිදවගෙන එතැනින් නැගිට්ටා. ඊට පස්සේ පුරුදු විදියට ගෙදර වැඩ වල යෙදුණා. රෑ නිදාගන්න ගියාම ත් වෙනසක් නැතුව හිටියා.

ඒත් හසන්තිගේ හිතේ කැකෑරෙන ප්‍රශ්නේ ඉවර වූනේ නෑ. 

” අහස් ට පිස්සු… අර අනුත්තරා ව බැඳගන්න තිබ්බා යසට … ඒකි තමා උගේ වයිබ් එකට හරියන්නේ…  අනුත්තරා පට්ට ෆෝර්වර්ඩ් …. හසන්ති මහ ගොඩේ නේ…”

මිතුරියන් දෙදෙනෙකු අතරේ වුණ කතාබහක ස්ක්‍රීන් ශොට් එකක් ලැබුනට පස්සේ තමයි හසන්තිගේ ඔලුව මේ විදියට වෙනස් වෙන්න ගත්තේ. ඇත්තටම අහස්ට තමන්ව විවාහ කරගන්න හිතුණේ ඇයි කියලා ආයේ ආයේ අහන්න හසන්තිට හිතෙන්නේ ඒ කතාබහ කියෙව්වම.

අනුත්තරා තමාට වඩා සුන්දර බව හසන්ති ඇගේ මුහුණු පොත් ගිණුමට එලැඹිලා ආයේ ආයෙම තහවුරු කරගත්තා. ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තිබුණේ වෙනමම චායාරූප.  ඒකෙන් පස්සේ හසන්ති තවත් මානසිකව ඇදගෙන වැටුණා. 

ඒ ඇදගෙන වැටෙන සිදුවීම ට තව පෙට්‍රල් වැටෙන සිදුවීමක් වුණා. 

අහස්ට ලැබුණ වෙළඳ දැන්වීමක කාන්තා ශිල්පිනිය විදියට තෝරගෙන තිබුණේ අනුත්තරා ව. අහස් ඒ ගැන හසන්ති ට නොකියාම හිටියෙත් හසන්ති හිත රිදවගෙන නාඩගමක් නටන බව අහස දන්න නිසා. 

අන්තිමේදී රූගත කිරීම් අවසන් වෙලා අහස් ගෙදර ඇවිල්ලා ඒ රූගත කිරීමේ සහයක ශිල්පිනිය අනුත්තරා බව කිව්වා. ඒත් හසන්තිගේ වෙනස් ප්‍රතිචාරයක් අහස්ට නම් ලැබුනේ නැහැ. ඒ වෙනුවට හිනා වෙලා 

” එහෙනම් ඇඩ් එක ලස්සනටම තියේවි .” කියලා විතරයි කිව්වේ. 

හසන්තිගේ ඒ සන්සුන් හැසිරීම නිසා අහස්ට දැනුණේ නොසන්සුන් කමක්. ඒ නිසාම පහුවෙනිදා රෑ අහස් හසන්ති එක්ක නිදහසේ රාත්‍රී ආහාරය ගන්න අවන්හලකටත් ගියා. එහිදීත් හසන්ති පුදුම තරම් සැහැල්ලුවෙන් හැසිරුනේ.   ඒ සැහැල්ලුව සැහැල්ලුවෙන්ම ගන්න අහස්ට පුළුවන් වුනේ නැත්තේ හසන්ති ගේ කලහකාරී බව ගැන හොඳටම දැනගෙන හිටපු නිසා. 

ඒ අතරේදී අහස්ට අනුත්තරා එක්ක ප්‍රසිද්ධ ඇඳුම් සන්නාමයකට නිරූපණයන් කිහිපයක් කරන්න ආරාධනා ලැබුණා. ඒ වෙනුවෙන් ඔවුන්ට යෝජනා කෙරුණේ සාමාන්‍යයෙන් ඉහල මුදලක්. 

ඒත් හසන්තිගේ  අසාමාන්‍ය විදියට වෙනස් සති දෙකක් විතර ගෙවිලා තිබුණ නිසා අහස්ට ඒ යෝජනාව පිළිගන්න හිතුනේ නැහැ. 

” ඇයි ඒ බෑ කිව්වේ  ?” 

අහස් බොහොම පැහැදිලිව සහ තදින් කතා කරනවා ඇහුණ ඇමතුමට පස්සේ හසන්ති අහස් ලඟින් ඉඳගත්‍තා.

” නිකන් … ලැබෙන හැම වැඩේම කරන්න ගියාමත් අගේ අඩු වෙනවා..”

අහස් හිනාවෙලා කිව්වා. ඊට පස්සේ හසන්ති දිගින් දිගටම විස්තර අහන්න ගත්තා. අහස්ට කතාව සම්පූර්ණයෙන් කියන්න වුණා.

“ඒක ලොකු ගානක්නේ.. අනෙක ඒක බ්‍රෑන්ඩඩ්..”

“ඔව් ඔව්…”

අහස් ගානකට නැතුව කිව්වා.

” ඔයා ඕකට බෑ කියන්නේ අනුත්තරා එක්ක ශූට් එක තියෙන නිසාද ?”

හසන්ති ඊට පස්සේ ඇහුවා.

“නෑ නෑ .. එහෙම එකක් නෑ..”

“නැත්තේ නෑ.. අනුත්තරා එක්ක ආයෙම ශූට් එක්ක කලාම ම්ම්ම පිස්සු වැටේවි කියලානේ ඔය… ඒම නෑ අහස්.. ඒ හසන්ති දැන් ඇත්ත තේරුම් ගනිමින් ඉන්නේ…”

හසන්ති එහෙම කිව්වාම අහස් කලබල වුණා. වඩා විමසිල්ලෙන් බැලුවා.

“මොකද්ද තේරුම් ගන්නේ ?”

” මිනිහෙක් ගෑණියෙක් ට බැඳෙන එකම කාරණේ ඒ ගෑණි රූප රාජිනියක් වගේ ලස්සන වෙන එක නෙවෙයි කියලා.. එහෙම ලස්සන ගෑණියෙක් එක්ක බැඳුනත් ඒ ලස්සන සදාකාලික නැහැ කියලා … ඔක්කොටම වඩා ලස්සන කියන්නේ සෑහෙන්නම සාපේක්ෂ දෙයක් කියලා …. මට මාව සෑහෙන්නම ලස්සනට පේනවා . ..

… අනෙක, මං කොච්චර ආදරේ කලත්, ඔයා මට ආදරේ නොකරන දවසක ඔයාට යන්න දෙන්න ඕනි කියන ඇත්තත් මට තේරෙනවා …”

අහස් හසන්තිගේ අත් දෙකෙන්ම අල්ලගෙන තමන් දිහාවට හරව ගත්තා.

” මොකද්ද කලේ ? එකපාරටම …?”

“එහෙම මුකුත් නෙවෙයි … මම මගේ අවුල ලේඩිස් ගෲප් එකල දැම්මා.. එතනින් කවුසලර් කෙනෙක් රෙකමන්ඩ් උනා.. මම වීක්ලි එයාව මීට් වෙනවා..  මට සෑහෙන්නම සැහැල්ලුයි ඒකෙන් .”

“තනියෙන් ගියා ??”

“ඔව් ඉතින් .. මගේ නේ ප්‍රශ්නේ තියෙන්නෙ .. මම යන්න එපැයි ..”

අහස් හසන්තිගේ හිස ඉම්බා. 

” ඊළඟ වතාවේ මාත් එන්නම්..හරිද ?”

අහස් එහෙම කියනකොට හසන්ති අහස් දිහා බලලා හිනා වුණා. ඇත්තටම උපදේශනයට ගිහින් සැහැල්ලු මනසා හදාගන්න ගත්ත එක කොච්චර වටිනවාද කියලා හිතුනා. අහස්ගේ සැහැල්ලු මුහුණ හසන්ති ආදරෙන් ඉම්බා.

|අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles