නි (වැරදි)

අම්මලා එකතු වෙලා යෝජනා කරලා , තමන්ගේ අකමැත්තෙන්ම මුණ ගැහුණ මනමාලයාගේ මුලදි පෙන්වපු මුහුණ ක්ශය වෙලාම ගිහිල්ලා යක්ශ වේශය ඉස්මතු වුණේ  අද හවස බව දැන් ශාරදා දන්නවා. තමන්ගේ අකමැත්ත පැත්තකට දාලා අම්මලාගේ කැමැත්ත වෙනුවෙන් ඉඩ දුන්නට දැන් ශාරදා ට දැනෙන්නේ පසුතැවීමක්. 

ශාරදා ට දේශන අවසාන වෙන්න  තිබුණේ හවස හතරට. ඒත් අවුරුදු උත්සවයේ කටයුතු ගැන කතා කරගන්න හැමෝම දේශන වලින් පස්සේ නැවතුණා. හතරට රුක්ශාන් විශ්ව විද්‍යාලය  ළඟට එන බව දන්න නිසාම ප්‍රමාද වෙන බව කියලා ශාරදා රුක්ශාන් ට කෙටි පණිවිඩයක් තිව්වේ තුනට විතර.  හවසට වැඩ අවසාන වෙන වෙලාවක් ගැන සැලසුමක් තිබුනෙත් නැති නිසා ශාරදා,  රුක්ශාන් ට වෙලාවක් නොකියාම හිටියා. 

හවස සාකච්ඡා අවසන් වෙලා, වගකීම් බෙදාගෙන ඉවර වෙනකොට හවස හතත් පහුවෙලා. ශාරදා කණ්ඩායමේම තව පිරිමි ළමයෙක් එක්ක පාරට ඇවිදගෙන එන ගමන් හිටියේ. 

නොහිතපු විදියට එකපාරටම රුක්ශාන් දෙන්නා ඉස්සරහට ආවා. රුක්ශාන් ගේ හැසිරීම් ගැන දැනගෙන හිටපු නිසාම ශාරදා තිගැස්සුණා.

“රුක්ශාන් අය්යේ මේ සඳකැන් … අපේ බැච් එකේ …” 

ශාරදා ඉක්මනටම එහෙම කිව්වා. 

ඒත් රුක්ශාන් ගේ ස්වරූපය වෙනස් වුනේ නැහැ.  ශාරදා සඳකැන් ට සමුදෙන්න උත්සාහ කලත්, ඊට කලින් රුක්ශාන් ගේ සුරත් පහරින් ඇය පසෙකට විසි වෙලා ගියා. ශාරදා ව වැටෙන්න නොදී අල්ලගත්‍ත සඳකැන් රුක්ශාන් ගේ ඉස්සරහට වෙලා ශාරදා ව පසෙකට කලා. එතැන සිද්දියක් ගොඩනැගෙන බව පෙනුණ ගමන් අවට හිටපු ළමයි ටිකත් වට වුණා.

“ලෙක්චර්ස් ලේට් වෙනවා කියලා එක එකා එක්ක අවලමේ යනවා නේද ? වරෙන් මම අම්මට කියන්න දෝණිනැන්දාගේ තරම …”

සඳකැන් ට ඊළඟ පියවර ගැන  හිතාගන්නවත් වෙලා නොදී රුක්ශාන් ශාරදා ව ඇදගෙන ගිහින් මෝටර් රථයේ ඉදිරි අසුනට  තල්ලු  කලා.  සඳකැන් සහ පිරිස ට අනතුරු අඟවලාම  රුක්ශාන් මෝටර්  රථය ඇතුලට ගොඩ වුණා. 

ගෙදර යනකල්ම ශාරදා ට සිදුවුණේ රුක්ශාන් ගේ අපහාස කිරීම් දරාගෙන ඉන්න ඉන්න. ශාරදා වචනයක් වත් නොකියා උන්නත්, රිදුම් දෙන කම්මුල පිරිමැදගන්න ගමන් ශාරදා තීරණයක් ගත්තා. 

ශාරදා ඉස්සෙල්ලාම කලේ අම්මට සිදු වුණ දේ පැහැදිලි කරපු එක. ඒ වෙනකොට රුක්ශාන් කියලා තිබුණ කතාවත් එක්ක තමන්ගේ කතාව නොගැලපෙන බව දැන දැනම ශාරදා බය නැතිවම හැමදේම කිව්වා.මීට කලින් සිදුවුණ ශාරීරික සහ මානසික පීඩාවන් ගැනත් කිව්වා.

මෙතරම් කල් ඉවසගෙන හිටියේ රුක්ශාන් ගේ අම්මා සහ අම්මා අතර් මිතුරුකම නිසා බවත්, තවත් එලෙස සිටිය නොහැකි බවත් ශාරදා අඬන ගමන් කිව්වා. 

” ඔයා වහාම සුධර්මාට කතා කරල කියන්න මේ ප්‍රපෝසල් එකට අපි කැමති නැහැ කියලා … දරුවාසුලු පටු කරදරේකද මේ ඔයා පටලවලා තියෙන්නේ…”

අම්මා දෙගිඩියාවෙන් ඉන්නකොට ශාරදා ගේ තාත්තා තීරණය දුන්නා. අම්මා ට ඒ තීරණය ඉක්මවා යන්න නොහැකි වුනත්, සුධර්මව මුණ ගැහිලා ඒ ගැන කතා කරන්න හිත හදාගත්තා. මුදල් සහ සමාජ තත්වය තියෙන යක්ෂයෙක්ගේ ඔඩොක්කුවට ශාරදා ව තල්ලු කරන්න ශාරදා ගේ අම්මට කොහොමටත් හිත හදාගන්න පුළුවන් වුනෙත් නැහැ. 

රුක්ශාන් ගේ හැසිරීම් ගැන කිව්වම සුධර්මාගෙන් ශාරදා ගේ අම්මට ලැබුණේ නම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.  

” ශාරදාගේ කුණු අපේ එක්කෙනාගේ පිටින් යවන්නෙපා මාලි …. අපේ රුක්ශාන් ගේ කැමැත්තට තමා මාත් ඕකට කැමති උනේ.  .. එහෙම නැත්නම් ඉතින් ශාරදා කියන්නේ පෙනුමට පාටට ඉන්න ළමයෙක් නෙවෙයි නෙහ් ….”

ශාරදා ගේ අම්මා එදා ගෙදර ආවේ ශාරදා ට තමන් නිසා වෙන්න ගිය විනාශය ගැන පුදුමාකාර පසුතැවීමෙන්. 

ප්‍රශ්නය එතැනින් අවසාන  බව  හිතුණත් ශාරදා ට පහුවෙනිදා ඉඳන්ම රුක්ශාන් ගේ බලපෑම් වලට නතු වෙන්න සිදු වුණා. ඉවරයක් නැති කෙටි පණිවිඩ, ඇමතුම් වලින් නැවතෙන්නේ නැතුව රුක්ශාන් පහුවෙනිදා හවස විශ්ව විද්‍යාලය ළඟට ඇවිල්ලා ශාරදා ව බලෙන්ම මෝටර් රියට කැටුව යන්න උත්සාහ කලා. 

සඳකැන් ශාරදා වෙනුවෙන් ඉදිරිපත් වුණේ එවෙලේ. සඳකැන් ගේ සහයට ඔහුගේ මිතුරන් පිරිසකුත් ඉදිරිපත් වුණා. 

සඳකැන් ගේ ඉදිරිපත් වීම රුක්ශාන් ට දරාගන්න පුළුවන් වුණේ නැහැ. ඔහු සඳකැන් ට පහර දෙන්න උත්සාහ කලා. එතැනදී රුක්ශාන් ට සිදු වුණේ පිරිසේ බාධා කිරීම් සහ පහර කෑම් මැද පලා යන්න. ශාරදා ව රැගෙන යන්න ඉඩක් නොලැබුණ කෝපයෙන් රුක්ශාන් නිවසට ගියා.

රෑ වෙනකොට තමයි ශාරදා ට දැනගන්න ලැබුණේ සඳකැන් ව අත් අඩංගුවට අරගෙන බව. ශාරදා හැකි තරම් ඉක්මනින් පොලිසියට පිටත් වුණා. සිදු වුණ සියල්ල පැහැදිලිව කීවත් රුක්ශාන් ගේ පියාගේ බලපුලුවන්කාරකම් එක්ක සඳකැන් නිදහස් වෙන එක දවසක් කල් ගියා. පහුවෙනිදා විශ්ව විද්‍යාලයේ මුරකරු සහ එවෙලෙහි එතැන උන් ආචාර්යවරුන්ගේ සාක්ශි සහ ආරක්ෂිත කැමරා දර්ශන  වලට අනුව සඳකැන් නිදහස් වුණා. 

එ අතරේ ශාරදා ගේ ආරක්ෂා ව වෙනුවෙන් පැමිණිල්ලක් ගොනු කරන්න ශාරදා ගේ පියා කටයුතු කලා. 

විශ්ව විද්‍යාලය ට පැමිණ ශාරදාව මුණ ගැසීමට බාධා වූවත්, ශාරදා අමතන්නට දරන උත්සාහයන් සහ ඇයට කෙටි පණිවිඩ යොමු කරමින් ඇයව මානසික  පීඩාවට ලක් කරන්න දරපු උත්සාහයන් වල අඩුවක් තිබුණේ නැහැ. 

ශාරදා  ඒ හැමදේම අම්මට කියන්න දෙපාරක් හිතුවෙත් නැහැ.  ශාරදා ගේ අම්මා ශාරදාවත් එක්කම සුධර්මාව මුණ ගැහුණා. රුක්ශාන් ගේ හැසිරීම් වෙනස් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් ඔහුට එරෙහිව නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අවධාරණය කලා. 

එතැනින් පස්සේ රුක්ශාන් ගේ බලපෑම් අතුරුදන් වුණා. ඒත් ශාරදා ජීවත් වුණේ බයෙන්.  කොයි හරිම වෙලාවක රුක්ශාන් ඇවිල්ලා තමන්ව පැහැරගනීවි කියන සිතුවිල්ල භීතිකාවක් වෙලා ඇය ගේ ජීවිතය පුරාම තිබුණා. 

ඒ නිසාම ශාරදා ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා වෙන්න ගත්තා. නිතරම පමණට වඩා විමසිල්ලෙන් ජීවත් වීම තුළම ශාරදා අමතර පීඩනයක් දරාගෙන ජීවත් වෙන්න ගත්තා.

ඒ වෙනසට යම් වෛද්‍යමය සහයෝගයක් අවශ්‍ය බව ඉස්සෙල්ලාම වැටහුණේ සඳකැන් ට. සඳකැන් ඍජුවම ශාරදාගේ පියා මුණ ගැසුණා. ශාරදා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු කෙරුණා.

ඒත් ලංකාවේ ඉන්නකල් ශාරදාගේ මානසික සෞඛ්‍ය යහපත් නොවෙන බව වෛද්‍යවරයා දෙමාපියන් ට පැහැදිලි කලා. ශාරදා ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ අතින් වෙන්න ගිය වරද ශාරදාගේ අම්මලා නිවැරදි කරගන්න තීරණය කලේ ඊට පස්සේ.

ශාරදාව පමණක් රැගෙන ඔවුන් ලංකාව අත් හැරියා. ඉන් අවුරුදු කිහිපයකට පස්සේ සඳකැන්ගේ ඉවසිලිවන්ත පෙම්වත්කම ඉස්සරහ ශාරදා දිය වෙලා වැක්කෙරුණා.

ජීවිතේ කියන්නේ අපිට පුරෝකථනය කරන්න ඉඩ නොලැබෙන චාරිකාවක්. ඒ නිසා නිවැරදි තීරණ නිවැරදි අවස්ථාවේදී ගැනීමට ඔබ ගන්නා උත්සාහයන් තමයි වඩා වැදගත්.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles