කොස් ඉරි අහක නොදා හදමු රස බැඳුමක්

කොස් කියන්නෙ අපේ හදවතට බොහොම සමීප කෑමක්නේ.

ග්‍රාමීය, නාගරික හෝ අර්ධ නාගරික මොන ප්‍රදේශවල වාසය කරත් කොස් ගහෙන් විවිධ කාල වලදි ලබාගන්න පොළොස්, කොස් වගේම වරක කියන්නෙත් අපි බොහෝ දෙනෙක්ට කවදාවත් එපා නොවෙන කෑම කියල අපි කවුරුත් පිළිඟන්නව. 

වස විස නැති පෝෂනයෙන් අනූන අපේ ආහාර සංස්කෘතිය ඇතුලෙ කොස්, පොළොස් වගේම වරකා විවිධ ක්‍රම වලින් පිළියෙල කරල ආහාරයට ගන්නවනේ. 

හැබැයි, ඔන්න අද අපි කියල දෙන්න යන්නෙ පුරුදු කොස් මඳුළු වලින් එහාට ගිහිල්ල කොස් ඉරි යොදාගෙන රසම රස බැඳුමක් හදාගන්නෙ කොහොමද කියලයි.

මේ බැඳුම එකපාරක් හදල රස බැලුවොත් ආයෙත් නම් ඔබ කවදාවත් කොස් ඉරි ඉවත නොදමන බව නම් අපිට හොඳටම විශ්වාසයි. 

ගස් වල කොස් හැදිලි තියෙන මේ කාලෙ කොස් ඉරි බැඳුම හදාගන්න හොඳම කාලෙ නිසා අපි මුලින්ම බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් කටුවෙන් කපා ඉවත් කරගෙන සෝදා වතුර බේරාගත් කොස් ඉරි 

සෝදා පිරිසිදු කරගෙන දෙකට මැදින් ඉරාගත් හාල්මැස්සන් 100 g ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක් 

කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 04 ක් 05 ක් 

සිහින් පෙති කපාගත් සුදුළූණු ගෙඩියක් 

ඉති තුනක පමණ කරපිංචා කොළ

රම්පෙ කැබැල්ලක්

කහ කුඩු

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු

කෑලි මිරිස් 

පොල්තෙල් (ගැඹුරු තෙලේ බැඳීමට ප්‍රමාණවත් තරම්)

හොඳයි, දැන් මේ අවශ්‍ය කළමණා සූදානම් කරගත්තට පස්සෙ අපි බලමු කොහොමද මේ බැඳුම සාදාගන්නෙ කියල.

සාදාගන්නා ආකාරය 

මුලින්ම, තාච්චියක් ලිප තබා ගැඹුරු තෙලේ බැඳීමට ප්‍රමාණවත් තරම් තෙල් එකතු කර රත්වීමට තබන්න.

තෙල් රත්වූ විට, වතුර බේරාගත් කොස් ඉරි තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැඳගන්න. 

කොස් ඉරි බැඳ අවසන් වූ පසු ඉරාගත් හාල් මැස්සන් ද රන්වන් පාට වනතුරු බැඳගන්න. 

දැන්, තෙල් තාච්චිය ලිපෙන් ඉවතට ගෙන වෙනත් භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැන්ඳක් දෙකක් පමණ එකතු කරගන්න. 

තෙල් රත්වූ විට එයට සිහින්ව ලියාගත් සුදුලූණු, ලූණු, අමු මිරිස්, රම්පෙ සහ කරපිංචා එක්කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට කහ කුඩු තේ හැඳි ½ ක්, කෑලි මිරිස්, ගම්මිරිස් සහ ලුණු කුඩු ඔබේ රස අනුව එක්කර හොඳින් කලවම් කරගන්න. 

ලූණු රන්වන් පැහැ වනතුරු බැඳුනු පසු එයට බැඳගත් කොස් ඉරි සහ හාල්මැස්සන් එක්කර හොඳින් කලවම් කරගෙන හොඳින් කලවම් කර ලිපෙන් ඉවතට ගන්න. 

මේ අපි යොදාගත්ත හාල්මැස්සන් වෙනුවට කූනිස්සන්, වියළි ඉස්සන් හෝ උම්බලකඩ වුනත් ඔබේ කැමැත්ත අනුව යොදාගන්න පුළුවන්. 

ඒව හාල්මැස්සො වගේ ගැඹුරු තේ නොබැඳ ලූණු සුදුළූණු එකතු කරන්න කලින්ම තෙලේ බැඳගෙන තෙම්පරාදුවට එක්කරගන්න ඔබට හැකියාව තියෙනවා. 

එහෙනම්, ඊළඟ දවසෙ කොස් ඉරි ඉවත නොදා හදල බලන්නකෝ මේ රසම රස කොස් ඉරි බැඳුම. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles