ටැටූ..

මනමාලිගේ උරහිසෙන් පහළට වෙන්න ටැටූ එකක් තියෙන බව කට්ටිය දැක්කේ හවස දෙවෙනි ඇඳුමෙන් සැරසිලා ආවාම. වැඩිහිටි  අය එකිනෙකාට කුටු කුටු ගාන බව ඉස්සෙල්ලාම අහු වුනේ සාරණ්‍යාගේ ඇස් වලට.

” මොකද කට්ටිය  එහෙම ?”

සාරණ්‍යා හෙමින් සැරේ නිසිත් දිහාවට හැරිලා ඇහුවා. නිසිත් ට ඒ හැසිරීම් වලට හේතුව වැටහුනත් මංගල ශාලාවෙන් එලියට බහිනකල් ඒ ගැන අඟවන්නේ නැතුව ඉන්නයි හිතුවේ. 

” කවුද දන්නේ ? ..”

“මගේ ඇඳුම අවුල් ද ? “

සාරණ්‍යා ඊට පස්සේ ඇහුවා. නිසිත් ඒ බවක් නැහැ කියන්න ඇස් උස්සලා ඉඟි කලා. ඒත් සාරණ්‍යාගේ හිත හැදුනේ නැහැ. සාරණ්‍යා හැමෝම දිහා බල බල නොසන්සුන්කම අඩු කරගන්න උත්සාහ කලා.  

ඒත් ඒකෙන් වුනෙත් නොසන්සුන්කම වැඩි වුන එක. කොහොම හරි හවස පිටත් වෙනකල් නිසිත් සාරණ්‍යාගේ ප්‍රශ්න මඟ හැර හැර හිටියා. 

කාර් එකට නැගලා කිලෝමීටරක් යන්නත් කලින් නිසිත් ගේ ජංගම  දුරකතනය නාද වුණා. 

” නැන්දා …”

නිසිත් සාරණ්‍යා ට එහෙම කියන ගමන් ඇමතුමට පිළිතුරු දුන්නා. දුරකතනයෙන් කෙරෙන  නිසිත්ගේ පැහැදිලි කිරීම් දිහා අහගෙන උන්නා වුනත් සාරණ්‍යා ට අදහසක් ලැබුනේ නැහැ. ඒ නිසා සාරණ්‍යා නිසිත් දිහාව බලාගෙනම හිටියේ. 

” මොකද්ද ප්‍රශ්නේ නිසිත් ?”

” පිස්සු අප්පා …”

“කියන්නකෝ…”

“ඔයාගේ ටැටූ එක ප්‍රශ්නේ …”

නිසිත් එහෙම කියලා සාරණ්‍යා දිහාවට කට ඇද කලා.සාරණ්‍යා බලාගෙන හිටියේ ඒ කීව එක නොතේරුන වගේ.

” පේන තැන් වල පච්ච කොටලාලු.. මූදු ගෑණු වගේලු… තැනකට සාරියක් ඔසරියක් අඳින්නේ කොහොමද ලු ? …ප්‍රශ්න ඉතින් …”

සාරණ්‍යාගේ හදවත ගැහෙන්න ගත්තා. අතිශය දරාගන්න බැරි වේදනාවක් ඒ ගැස්ම එක්ක දැනුණා. සාරණ්‍යා නිසිත්ගෙන් ඉවත බැලුවා.

“ඔයා අහපු නිසයි කිව්වේ…හරිද ? අනේ මූඩ් ගහ ගන්න නම් එපා… ඒගොල්ලන්ට ඕනි දෙයක් කියපු දෙන් … මට අවුලක් නෑ.  ඔයාට අවුලක් නෑ නම් එච්චරයි නෙහ් …”

නිසිත් සාරණ්‍යාව තමන්ට තුරුළු කරගත්තා. ඒත් සාරණ්‍යාගේ හිත හැදුනේ නැහැ. දෙවෙනි ගමනක් නොතිබුණ නිසා කෙලින්ම දෙන්නා ගියේ කන්ඩලමේ.  එහෙ සතියක් වෙනුවෙන් වෙන් කිරීම තිබුණා. ඒත් ඒ සතිය බලාපොරොත්තු වුණ ප්‍රහර්ශය එක්ක ගෙවන්න ඉඩ ලැබුනේ නැත්තේ, සාරණ්‍යා විටින් විට විස්සෝප වෙන්න තියාගත්ත නිසා. 

ගෙදර යන දවස කිට්ටු වෙනකොට සාරණ්‍යා ගේ නොසන්සුන්කම වැඩි වුණා. ඒත් ගෙදර නොගිහින් ඉමු කියන්න පුළුවන් කමක් නොතිබුණ නිසා සාරණ්‍යා කලේ ඉවසගෙන උන්න එක. 

ගෙදර ගිය  දවසේ  රෑ නිසිත්ලගේ ගෙදර පොඩි සාදයක් සූදානම් කරලා තිබුණා. එදාට අඳින්න සාරණ්‍යා සූදානම් කරගෙන හිටියේ හීනි පටි දාපු ගවුමක්. ඇය අවසානේදි ඩෙනිමකට කුර්තාවක් ඇ‍ඳ ගත්තා.

” ඔය මොකද  ? අර ගවුමනේ අඳිනවා කිව්වේ ?”

නිසිත් සාරණ්‍යා දිහා පුදුමෙන් බැලුවා. 

” මේක හොඳයි නේ.. ? …”

“ඔයාට මොකක් වෙලාද සාරණ්‍යා … මිනිස්සු ඉස්සරහට ත් කතා කියාවි. .. ඒ කතාවලට ඇජෙස් වෙවී ජීවත් වෙන්න ගියොත් එහෙම ඔයාට ඔයා විදියට ඉන්න වෙන්නේ නෑ කවදාවත් …”

නිසිත් කෝපයෙන් කිව්වා. ඒත් සාරණ්‍යා වෙනසක් පෙන්නන්නේ නැතුවම තෝඩු පැළඳගත්තා. 

” ඇත්තටම ඔයාට මේ මොකක් වෙලාද ? ඕනි ගේමකට ලෑස්ති කෙල්ල ඇයි දැන් මේ ඇකිලෙන්නේ ?”

නිසිත් ඊට පස්සේ ඇහුවා. සාරණ්‍යා නිසිත් දිහාවට හැරුනේ ඇස් තෙත් කරගෙන.  

” දැන් මට මං ගැන විතරක් හිතන්න බැරි නිසා… ඔයාලගේ අම්මලා මේ ගමේ ඉන්න විදිය ගැන ඔයාම කියලා තියෙන නිසා… වලවුවේ මැණිකෙලා ගෙනල්ලා තියෙන ලේලි එහෙමයි මෙහෙමයි කියලා කතන්දර අහන්න දෙන්න බය නිසා… මං කිසිම වැරැද්දක් නොකර වුනත් ඔයාලගේ අම්මලා මං එක්ක වෛර බැඳගනීවි බය නිසා… පවුලක් එක්ක ආදරෙන් ඉන්න ආව ගමනෙන් අපි දෙන්නාගෙම ජීවිත අපායක් වේවි කියලා බය නිසා… ඒකයි … මං ටැටූ එක කරේ ඔයාට ආදරේ ට … ඕස්ට්‍රේලියා වල ඒ ආර්ටිස් ට කියලා අපේ ආදරේ අන්දවාගන්න ආසාවට …. ඒත් දැන් මං කොයි ලෝකෙන් හරි විදියක් හොයන් මේක රිමූ කරගන්න ඕනි …අනේ නිසිත් … උදව් කරන්න …”

නිසිත් පැහැදිලි කිරීම් වෙනුවෙන් කාලය ගත්තේ නෑ. ඒ වෙනුවට බලෙන්ම සාරණ්‍යා සූදානම් වෙලා තිබුණ ගවුම ඇන්දුවා. කොණ්ඩේ සැකසුවා. 

“යං…”

ඉස්සෙල්ලම මුණ ගැහුණේ නිසිත්ගෙ අක්කා.

” මේ.. නෑනෝ … අපේ මහත්තයා ත් පර්මිශන් දුන්නා …”

අක්කා සාරණ්‍යා ගේ අතින් අල්ලන් කිව්වා. සාරණ්‍යා අක්කා දිහා බැලුවේ කිසිම දෙයක් නොවැටහුණ ගානට.

“ටැටූ එකක් කරන්න … ඔයාගේ  ටැටූ එකෙන් ඔයාට සෑහෙන ග්ලැමර් එකක් ඇවිල්ලා කියලත් කිව්වේ…”

” ආහ්.. මස්සිනා මොකටද මගේ ගෑණිගේ ටැටූ බලන්නේ ?”

ටිකක් එහයින් උන්න අක්කගේ සැමියාගෙන් නිසිත් ඇහුවේ කෑ ගහලා.

“අඩෝ.. මේ. ලස්සන දේවල් පොදුයි ඈ.. උඹ නිකන් දුෂ්ඨයා වෙන්න එපා…”

සාරණ්‍යා  ට හිනා ගියා. සතුටින් හිනා වුණා. නිසිත් සාරණ්‍යා දිහා බැලුවේ, ඉවසන්න කියන බැල්ම ඇස් වල තියාගෙන.

 කට්ටිය එක්ක කතා කර කර එහෙ මෙහෙ ඇවිදින ගමන් සාරණ්‍යා නිසිත්ගෙ වැඩිහිටි කාන්තාවන්ව මඟ අරින්නමයි උත්සාහ කලේ. ඒත් නිසිත් ඒ අය ළඟට ගිහිල්ලම කතා කලා. ඒ තුන් හතර දෙනාම සාරණ්‍යා ගේ ටැටූ එක ගැන නිසිත්ට ඇණුම්පද කිව්වා. ඒත් නිසිත්  ඒ ගැන වගක් නැති විදියට තමයි සාරණ්‍යා එක්ක උන්නේ. 

“අනේ දෝණි .. මේ මගේ හොඳම යාලුවගේ දූව… එයාටත් මෙන්න මේ ඔයා වගේ ටැටූ එකක් කරන්න ආසලු.. බලලා කියලා දෙන්නකෝ… ආසයි බයයි ලු…”

නිසිත් ගේ අම්මා ඇවිල්ලා එකපාරට එහෙම කියනකොට සාරණ්‍යා ගැස්සුණ. නිසිත් ව්‍යාජ කැස්සක් හදාගත්තා.අම්මා නිසිත්ගේ දිහා නොරිස්සුමකින් බැලුවා.

” මොකෝ ඔයාගේ නෝනා විතරද ලස්සනට ඉන්න ඕනි ?”

“නෑ නෑ ඒම අවුලක් නෙවෙයි .. අපේ නෝනාත් ටැටූ එක මකන්න යන්නේ මේ..?”

” ඒ කිව්වේ ?”

“නැන්දලා අනන් මනන් කියනවලු.. ගමේ මිනිස්සු අනන් මනන් කියාවිලු. අම්මලාට අපහාස වේවිලු…”

“අනේ දෝණි.. රටේ ලෝකේ මිනිස්සු සනසවන්න අපිට ජීවත් වෙන්න බෑ…අපි අපිට සුවපහසු ජීවන රටාව තෝරගන්න ඕනි .. ඒක ආයේ වෙන කිසිම කෙනෙක්ට කන්ට්‍රෝල් කරන්න දෙන්නත් හොඳ නෑ… තේරුනාද ?” 

සාරණ්‍යා පුදුමෙන් බලාගෙන හිටියා.

” මෙන්න එහෙනම්. අක්කා එක්ක කතා කරගන්නකෝ..”

අම්ම්ම සාරණ්‍යා ට සමුදුන්නා. නිසිත් සාරණ්‍යා දිහා බැලුවේ දැන් හරිද ? බැල්ම ඇස් වල තියාගෙන. 

සාරණ්‍යා ආඩම්බරකාර හැඟීමක් එක්ක ඔලුව උස්සලා හිනා වුනා 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles