එයා මැරිලා හුගක් කල් 11

“එදා රෑත් පුරුදු විදිහට මම කාමරේ ඇතුලට වෙලා දොර වහගෙන හිටියට එළියේ සිද්ධවෙන සද්ද බද්ධ ගැන බොහොම සැලකිල්ලෙන් හිටියේ…රෑ දහය මාරට විතර මම කාටවත් ඇහෙන්නේ නැති වෙන්න මගේ කාමරයේ දොර හෙමිහිට ඇරලා තිබ්බා.රෑ එකොළහට විතර මට මිදුලෙ වැලි කැට චරබර ගාන සද්දයක් ඇහුණා. ඒකෙන් මම තීරණය කළා කවුරුහරි කාමරේ පැත්තට එනවා කියලා.ඒ චරබර ගාන සද්දේ ඊට පස්සේ ඇහුනෙ නැහැ.ඊට පස්සේ මට ඇහුනා රත්නාලෝකගේ දොර ඇරෙන සද්දේ..ඊට පැය බාගයකට විතර පස්සේ මම මගේ කාමරයේ දොර හෙමින් ඇරලා එළියට ගිහිල්ලා ගස් අස්සට මුවා වෙලා රත්නා ලෝකගේ කාමරේ දිහා බලාගෙන හිටියා.

පැය තුනකට විතර පස්සේ මම දැක්කා අර විදිහටම මුළු ඇඟම වහගත්ත ගෑනු කෙනෙක් කාමරේ ඉඳලා එළියට යනවා.පස්සේ මම ඒ ගෑනු කෙනා පස්සෙන් හොරෙන් ගියා.එතකොට වෙලාව හරියටම පාන්දර තුනයි.ඒ ගෑණු කෙනා ගේට්ටුව ගාව තිබිච්ච ත්‍රිවිල් එකක නගිනවා මම දැක්කා.මට ඒ ත්‍රීවිල් එක පස්සෙන් යන්න ත්‍රී වීල් එකක් ඒ මහ රෑ නැහැ.බොහොම අමාරුවෙන් මම ඒ ත්‍රීවිල් එකේ අංකය බලා ගත්තා.ඊට පහුවෙනිදා උදේම ආපහු කොළඹ එන්නයි අපිට තිබුණේ.දැන් උඹලා පිටපොට පටලවගන්න එපා.මම මේ කියන්නේ අවුරුදු තුනකට විතර කලින් සිද්ධියක්.අපි ආපහු කොළඹ ආවා.සුපුරුදු විදිහට රත්නාලෝක එයාගේ වැඩ කටයුතු කරගෙන ගියා.මෙහෙම පිට හෝටල් වලට ගිහිල්ලා ආවට පස්සේ සාමාන්‍යයෙන් එයා බොහොම ප්‍රබෝධමත් විදිහට ඉන්නවා කියන එක නම් මට තේරුනා.ආපහු හරියටම මාස දෙකක් විතර යනකොට තමයි හරියට නිකන් ෆෝන් එකක බැටරි බහිනවා වගේ ප්‍රබෝධ මත්කම ටික ටික නැති වෙලා යන්නේ.ඔන්න එතකොට ආපහු සැරයක් මිනිහා අර විදිහේ පිට පළාත්වල හෝටල් වලට යනව.මිනිහා මාත් එක්ක කිව්වේ එහෙම ගිහිල්ල නැවතුනහම දැනෙන මානසික සුවය හින්දා ආපහු පරන පුරුදු විදිහට වැඩ කරන්න පුළුවන් වෙනවා කියලයි. මම ඒ ගෑණු ඇතුලට ගන්න සිද්ධිය ගැන කිසිම දෙයක් නොදන්න විදියට තමයි හිටියේ.කොළඹ ඇවිල්ලා සතියකට විතර පස්සේ මට එක දිගට නිවාඩු දවස් දෙකක් ඕනෙ බව මම රත්නා ලෝකෙට කිව්වා.

මගේ පෞද්ගලික වැඩකට මට අවශ්‍යයි කියලා තමයි කිව්වේ.ඒ දවස් දෙකට වෙන ඩොක්ටර් කෙනෙක්ව අදාල තැනට replace කරලා මම දවස් දෙකක් නිවාඩු ගත්තා.හැබැයි ඒක හිතන තරම් ලේසි වුණේ නෑ..මම බොහොම බල කරලා ඉල්ලපු හින්දම තමයි ගන්න පුලුවන් උනේ..
මම කෙලින්ම ගියේ අම්පාරට.අම්පාර පොලිසියට ගිහිල්ලා මම මගේ රාජකාරි  හැදුනුම්පතේ උදව්වෙන් අර ත්‍රිවිල් නම්බර් එක කියලා ඒක  මට හොයලා දෙන්න කියලා පොලිස් ස්ථානාධිපතිට කිව්වා. කොහොම හරි පැයකට විතර පස්සේ ඒ ත්‍රීවීල්කාරයාව පොලිස් ස්ථානයට ගෙන්නල දුන්න.මං පොලිස් ස්ථානාධිපතිතුමාට කිව්වා ඒක මගේ පෞද්ගලික කාරණයක් නිසා මම තනියම කතා කරලා විසඳගන්නම් මේකට පොලිසිය මැදිහත් වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා.

මම ත්‍රීවීල්කාරයත් එක්ක මුහුදු වෙරළක් ළඟ තියෙන පුංචි රෙස්ටුරෙන්ට් එකකට ගියේ.මිනිහා බය වුනොත් මට ඇත්ත විස්තරය නොකියයි කියලා මට බය හිතුණා.මුලින්ම මම මිනිහට ටිකක් බොන්න අරගෙන දුන්නා.අපි දෙන්නා රයිස් එකක් එහෙමත් කෑවා.දැන් මිනිහ මගෙන් එක දිගටම අහනවා සර් ඇයි මාව පොලිසියට ගෙන්නුවේ මොකක්ද කාරණය කියල.පස්සේ මම මිනිහට කිව්වා මීට සතියකට විතර කලින් අම්පාර අහවල් හෝටලයේ රෑ දෙකහමාරට තුනට විතර තමුසෙ ගෑනු කෙනෙක්ව නග්ග ගෙන ගියා. ඒ බඩ දරු අම්මණ්ඩි කෙනෙක්.ඒ අම්මණ්ඩිව කොහාටද ගෙනිහිල්ලා දැම්මේ කියලා මම ඇහුවා. ටිකක් වෙලා කල්පනා කරපු ත්‍රීවීල්කාරයා මට කිව්වා සිරිසහන කියලා  පෞද්ගලික සමාජ සේවා මධ්‍යස්ථානයක් තියෙනවා අන්න එතනින් තමයි ගෙනිහිල්ලා බැසුවේ කියලා.ඉන් එහාට මිනිහා කිසිම විස්තරයක් දන්නේ නැහැ කියලා කිව්වා…”

“සිරිසහන…. මට ඒක හොඳට අහලා පුරුදු නමක් නේ.. “

මම කිව්වා .

“අම්මටසිරි … ඔය සමාජ සේවා මධ්‍යස්ථානයෙන්ම අපිට ගෑනු කෙනෙක් අරගෙන ආවා මීට ටික කාලෙකට කලින් අයිරංගනී කියල.ඒ ගෑනු කෙනා මාර විදියට ශොක් වෙලා හිටියේ.වචනයක්වත් කතා කළේ නැහැ ..අඩුම තරමේ අපිට එයාගේ නමවත් හොයාගන්න බැරුව ගියා.කාසල් එකේදී තමයි මට මතක විදියට ඒ ගෑණු කෙනාට ළමයා හම්බවෙලා තිබුණේ. ගෙනාපු වෙලේ ඉඳන් එක දිගටම ඒ මනුස්සයා කෑ ගැහුවේ මට මගේ ළමයා දීපන් මගේ ළමයා
දුන්කලයක් කළේ කවුද කියලායි.
අපිට කාසල් එකෙන් දීලා තිබිච්ච විස්තර වලට අනුව මේ ගෑණු කෙනාට හම්බවෙලා තිබිච්ච ළමයා සම්පූර්ණයෙන්ම බඩ ඇතුලෙදි වේළිලා තමයි තිබිලා තියෙන්නේ.සාමාන්‍යයෙන් ලෝකේ දකින්න නැති අවස්ථාවක් කියල තමයි වෛද්‍ය වාර්තාවේ ලියවිලා තිබුණේ .”

තාමත් හරියට අගක් මුලක් ගලපගන්න බැරි මේ විස්තරේ අතරමං වෙලා හිටපු මම.. මම දන්න ටික ඒගොල්ලෝ අතර බෙදාගන්න ඒ විස්තරය කිව්වා .

“සිරි..සහන… ම්..ම්..
මේක නිල නොවන සංවිධානයක්.මේක හැබෑ අයිතිකාරයා රත්නා ලෝක බව ඕගොල්ලෝ දන්නවද..”

රාජරත්නම් ඇහුවෙ බ්‍රැන්ඩි වීදුරුව පුරවන ගමං…

“දැන් දැන් වෙනකොට රත්නා ලෝකගේ හැසිරීම ඇත්තටම මනුස්සයෙක් නෙමෙයි කියලා හිතන තරමටම මට නම් හිතිලා තියෙන්නේ…”

තලම්මැහැර කිව්වෙ පුටුවේ දිගෑදෙන ගමං…

“ඇත්තටම ඩොක්ට ඒක ඩොක්ටර්ට විතරක් නෙමෙයි. දැන් මේ මුළු රටේම මිනිස්සුන්ට හිතීගෙන යන දෙයක්.. රත්නාලෝක විතරක් නෙමෙයි..ඩොක්ටර් …හරියට පැහැදිලිව අපි බැලුවොත් දැනට මේ රට පාලනය කරලා තියෙන ජනාධිපතිවරු දෙතුන් දෙනෙකුගේම හැසිරීම ඔය වගේ තමයි..පුළුවන් තරම් දේවල් විනාශ කරලා තමන්ගේ යටි මඩිය පුරවා ගන්නවා වගේම රටේ මිනිස්සුන්ට පුළුවන් තරම් දහ දුක් දෙන එක තමයි ඒගොල්ලෝ මේ වෙනකම් කරලා තියෙන්නේ.අනිත් ගොඩක් රටවල් වල රාජ්‍ය නායකයෝ මේ විදිහට හැසිරෙනවා අපි දැකල නැහැ නේද.දැන් උදාහරණයක් හැටියට ඩුබායි සිංගප්පූරු චීනය ජපානය වගේ රටවල්වල නායකයෝ තමන්ගේ රටවල් වලට කොයි තරම් ආදරෙයිද.ඒගොල්ලෝ කොයි වෙලාවකවත් තමන්ගේ පෞද්ගලික මඩිය තර කරගන්න උත්සාහ කරන්නේ නෑ නේද..හැමතිස්සෙම ඉදිරි පරම්පරාව වෙනුවෙන් රට දියුණු කරන එක නේද ඒගොල්ලෝ කරන්නේ.. මෙන්න මේ සිද්ධි කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු මට හිතිච්ච දෙයක් තමයි අපේ රටේ පාලන පැලැන්තියට පත්වෙන ගොඩක් පාලකයන්ගේ ශරීර ඇතුලේ තව කෙනෙක් ජීවත් වෙනවා කියන එක..දැන් උඹල මට හිනා වෙන්න එපා මට බඩු වැඩිවෙලා මම දොඩෝනවා කියලා.”…

එහෙම කිව්වහම අපි හැමෝම හිනා වුණා..

“මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ…”

මට කියවුනා..

“දැන් මේ සිද්ධිය පඹ ගාලක් වගේ පැටලිලායි තියෙන්නේ..මේකේ එකින් එක අපිට ලෙහා ගන්න සිද්ධ වෙනවා.මේ සිද්ධිය ඇතුලේ අපි හිතන දේවල් තමයි ගොඩක් තියෙන්නෙ.හරියටම වෙලා තියෙන්නේ මොකක්ද කියන එක හොයාගන්න නම් සෑහෙන ගේමක් ගහන්න වෙනවා. මමයි ඩොක්ටර් අසේලයි නම් තනිකඩයෝ. ඒ හින්දා මේ වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න බය වෙන්න ඕනේ නෑ..”

එහෙම කියලා රාජරත්නම් හිනා වුණා.

“රාජා ..අද වැඩිපුරම මම මෙතනට එමු කියලා කිව්වේ මට ප්‍රහානගේ තත්ත්වයත් ඔයාට විස්තර කරන්න ඕනේ හින්දා.ඇත්තටම දැන් ප්‍රහාන් කතා කරන්න පුළුවන් මානසික මට්ටමක ඉන්නවා. මේ මාස ගානෙදි මම සෑහෙන උත්සාහයක් ගත්ත එයාව මේ තත්ත්වයට ගේන්න.ප්‍රහන්ගේ අම්මා නිතරම ප්‍රහාන්ව බලන්න ආවා.මම ඒ දෙන්නට තනියම කතා කරන්න ඉඩ හදලා දුන්නා.හැබැයි මම පොඩි සදාචාර විරෝධී වැඩක් නම් එතන කළා.මම හිතන්නේ ඇත්තටම හැමෝගෙම සුභ සිද්ධිය උදෙසා තමයි මම ඒක කලේ.. නැතුව ඕපදූප හොයන අදහසකින් නෙමෙයි. මේ තියෙන්නේ ප්‍රහාන්ව එයාගේ අම්මා හම්බවෙන්න ආපු හැම වෙලාවකම මම ඔන් කරලා තිබිච්ච රෙකෝඩරේ රෙකෝඩ් වෙච්ච දේවල්. අවංකවම මට මේකට ඇහුම්කන් දෙන්න වෙලාවක් තිබුනේ නැහැ.ඒ දෙන්න මොනවා කතා කළාද කියන්නවත් මම දන්නේ නැහැ.රාජාට මම මේ ටික අද භාර දෙන්නේ රාජට පුළුවන් නම් අහලා බලන්න මොන හරි වැදගත් දෙයක් මේ දෙබස් වල කියවෙනවද කියලා.”

මම එහෙම කියලා රෙකෝඩ් වෙලා තියෙන පීස් දෙක රාජ අතට දුන්නේ අහල බලන්න කියලයි.

“තෑන්ක්ස් ඩොක්ටර් ..ඔයා මාර විදිහට මේ සිද්ධියට මහන්සි වෙලා … ඒ වගේම ගොඩක් දුරදිග හිතලා වැඩ කරලා තියෙනවා. ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මේකට මහන්සි වෙච්ච එකට..”

“ඉතින් ඩොක්ටර් තලා..ඊට පස්සේ මොකද උනේ?..” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles