උඩහා ගෙදර අය්යා මිය ගියේ හදිසියේය. රිය අනතුරක් නිසා සතියක් රෝහල් ගත වී හිඳ ඔහු හදිසියේම මිය ගියේය.
“ඒ කොල්ලා ගියා. අර අහිංසකි පව්…”
අය්යාගේ මළ ගෙදර අවසන් කටයුතු නිමවී පැමිණි දිනයේ අම්මා අප්පච්චි හා එසේ පවසනු මම අසාගෙනය
“ඒ කෙල්ල ඔය යක්ශණියෝ එක්ක ඉන්න එකක් නෑ …..”
අප්පච්චි එසේ කියනු ඇසිණි.
ඒ කියූ ලෙසම අය්යගේ බිරිඳ සත් දවසේ බණ නිමවී නිවෙසට ගියාය. ඇය කැටුව යන්නට ඇගේ සොයුරා පැමිණ තිබුණි. අය්යාගේ අම්මාගෙ හඬ අපේ නිවසටද ඇසුණි. මට වඩා වසර දෙක තුනක් වැඩිමල් වූ ඇය ඒ නැන්දම්මා ගේ කටෝර බස් කොහොම ඉවසුවාදැයි මට හිතාගන්නට හෝ නොහැක.
“පලයං ඉතින් ..යක්ශණී..මගේ කොල්ලා මරාගත්තා …ආයේ උඹ මේ පැත්ත පළාතේ එන්න නෙවෙයි …යක්ශණී…”
ඒ බැණුම් අවසන් වුනේ ඇය පිටත්ව ගොස් සෑහෙන්නම වෙලාවකට පසුවය. අපේ අම්මාද මඟට ගොස් අක්කාට කතා කර මොනවාදෝ කියා විත් තිබුණි. මට යන්නට අවැසි වුවද අක්කගේ සොයුරා මඟ හැරීම කල යුතුම වූ නිසා මම කාමරයට වී උන්නෙමි.
මාස දෙක තුනක් ගියා වුද එහා ගෙදර අයගේ සාප වල නිමාවක් වූයේ නැත. ඉඳ හිට විටෙක අම්මාද ඔවුන් අමතා නිහඬ වන්නට පවසනු ඇසුණි. මට නම් ඒ කාන්තාවන් ගැන දැනුනෙ අපුලක්ම පමණි. එහෙම ගැහැනු නම් සැබැවින්ම සාපයක් ය. අනෙක් අතට අම්මලා ගේ වේදනා තව දරුවෙක් මත එහෙම සාප වී එලි බැසිය යුතුද ?
මාස තුනක් ඉක්ම ගොස් සති දෙකකට පමණ පසු මහා හඬින් කෑ ගසා ගන්නා හඬක් ඇසී අප එලියට බැස්සේ මිනීමැරුමක් වේයැයි සැකෙනි. එහා ගෙදර අය්යගේ අම්මාත්, එහි උන් ඔහුගේ අවිවාහක අක්කාත් එතරම් හඬින් කෑ ගසමින් උන් හ. අම්මාත් අප්පච්චි ත් පසුපසින් මමද ගේට්ටුවෙන් ඇතුළු වුනෙමි.
කළු පෑ මෝටර් රථයක් විය. ඒ අසල වූයේ ඔහුය. එතැනම අනෙක් පස හිටගෙන හඬමින් උන්නේ අර අක්කාය.
“උඹේ දෑවැද්ද ගෙනාව එකක්ද ගෑණියේ ඉල්ලනේ…?”
අය්යගේ අක්කා උමතුවෙනි .
“මොකද දරුවෝ මේ කෑ ගහන්නේ..?”
අම්මා ඒ වෙත ඇවිද යද්දී මම ඔහුට නොපෙනෙන්න ට පසෙකට වුනෙමි.
“බලන්නකෝ ඇන්ටි.. මේකි මගෙ අහිංසක මල්ලිව මරාගෙන දැන් අර සෙටිය ඉල්ලනව…ඒකිගේ සල්ලී ත් දාලලු ගත්තේ..ඉතින් ඒක ඕනිලූ…”
එවර නම් මට පිළිකුලක් දැනුනේ අය්යගේ බිරිඳ පිළිබඳවය. මේ කිනම් විකාරයක්ද ? එලෙස භෞතික දෑ මතින් සැනසෙන්නට උත්සාහ කරන්නට තරම් කාලයක් ඈ පසු කලේද නැතිය .
“අනේ මල්ලී..”
අක්කා අර මල්ලීගේ අතේ එල්ලුණේය . ඔහු ඉදිරියට යන්නට සූදානම් වෙද්දීම මා වෙත හැරුණේය. මා දුටු ඒ ඇස් ගැස්සුණි. මම වහා ඉවත බැලුවෙමි. මගේ ගැස්සිණු ඇස් ඔහු නොදකින්නටය.
“මිනිස්සු වගේ වාඩි වෙලා කතා බහ කරලා මේක විසඳගමු අක්කේ…”
ඔහු කීවේ උස් හඬිනි
“අක්කේ…අක්කේ… නෑ නෑ..ඒ නෑකම් ඉවරයි බොල…දොස්තර පට්ටම හින්දා අපි වැඳගෙන ඒවි කියලා හිතුවා නම් එව්වා නෑ….”
“අනේ..මේ…මඟුල් දොස්තර කමක් ගැන නෙවෙයි මම කිව්වේ..”
“එහෙනම්…මොකක්ද කියන්නේ…?”
“හරි…මේ සෙටියේ වටිනාකම කීයද ?”
“ලක්ශ එක හමාරයි…
අය්යාගේ අම්මා කඩාපැන්නාය. එහෙත් එය එතරම් වටින්නේ නැතිවග මට පෙනුණේ අය්යාගේ එක් කුස උපන් අක්කාගේ මුහුණ වෙනස් වී ගිය තාලයෙනි. එහෙත් ඇයද වහා මුහුණ වෙනස් කරගෙන එයට එකඟ බව පෙන්වූවාය.
“හරි..මම සල්ලී අරගෙන එන්නම්…සෙටිය පටවන්න…”
ඉතින්, ඔවුහු එය රැගෙන ගියහ. අය්යාගේ බිරිඳ සෙටියේ පතොක් මල් අලවා තිබූ සෙටි කුශන් කොට්ට හතරද රැගෙන මෝටර් රියට ගොඩ වූයේ ඇස් බිම අලවාගෙනය.
එදින අපේ නිවසේ ප්‍රධාන මාතෘකාව වූයේ ඒ සිදුවීමය. ඔහුට කෙටි පණිවිඩයක් හෝ යවා ගන්නට නොහැකිව මම සෑහෙන්නම තැවුනෙමි. ඔහු යලි දැකීමෙන් වසර ගණකට පෙර මගේ ද්‍රෝහි වීම යළි යළි සිහිවෙන්නට විය.
එහෙත් ඉන් සතියක් ගිය තැන ඔහුගෙන් පණිවිඩයක් විත් තිබුණි.
“අක්කා නැති වුණා…ඇටෑක් එකක්…නින්දෙන්ම…”
අම්මාද, අප්පච්චි ද කැටුව මම එදිනම කොළඹ යන්නට පිටත් වූයෙමි. ඔහු උන්නේ විඩාබරවය. ඉතින් කතා බහකට උඩක් සැලසුනේම නැත.
“සෙටීයෙම මැරිලා තියෙන්නේ..”
කනින් කොනින් ඇසුණේම එහෙමය.
ඔහු මා තනි කර ගත්තේය.
“සඳා …”
“අසින්ත…”
” කරදරයක් කලාද මම මේ බව කියලා…?”
“පිස්සුද අප්පා..”.
“අක්කා , ඊයේ රෑ සෙටියේම නැති වුනේ..”
“ඒ කියන්නේ ?”
“එයා අය්යා නැති වෙලා මෙහෙ ආවට සිහියෙන් නෙවෙයි උන්නේ සඳා… අය්යගේ සිහියෙන් හිටියේ… පස්සේ එකපාරටම ඔය සෙටිය ඕනි කිව්වා..හේතුවක් කිව්වෙම නෑ…පස්සේ ගෙනාවම තමා හේතුව කිව්වේ.. අය්යා රෑට අම්මයි අක්කයි නිදා ගත්තාම ඔය සෙටියේලු අක්කා එක්ක ඉඳන් ෆිල්ම් බල්න්නේ…අය්යා අක්කගේ උකුළේ නිදනවලූ.. ඔය සෙටිය තාම අය්යගේ හුස්ම තියෙනවා කිය කිය හිටියේ…ගෙනාවත් හරි, සෙටියේමයි කෑවේ, බිව්වේ, පොත් කියෙව්වේ, නිදා ගත්තේ…”
“දෙය්යනේ..”
ඇය ගැන මවාගත් පාපකාරී සිතුවිලි වෙනුවෙන් මටම සාපකර ගත්තෙමි.
“හිතාගන්න බෑ අප්පා.. මිනිස්සු එහෙම ආදරේ කරන්නේ කොහොමද කියලා …”
එය මහා බරුවක්ව විත් හද පත්ලේම වැදුණි.
“අක්කා ගිය එක හොඳයි.. එයා අය්යා එක්ක එහේ සැනසීම ඇති..”
ඔහු අහසට එබී කීවේය. අක්කා සහ අය්යා සිනසෙමින් අපට අත වනමින් උන්හ. ඉතින් මට කල වරදට සමාව අයදින්නට පමා වෙන්නට සිතුනෙ නැත
“අසූ… ඔයා අකමැති නැත්නම්, මට සමාව දෙනවා නම්, එකම එක පාරක් … මං..ඔය සෙටියේ ඔයා එක්කම ඉන්නම්ම්…මැරෙනකල්ම…”
මට එච්චර හය්යක් කොහෙන් ආවාදැයි නොදන්නෙමි. එහෙත් මම එලෙස කීවෙමි.
සුළැඟිල්ල පැටලුණා පමණක් දැනුණි.
එපමණය.
ඉතින් ප්‍රේමය එහෙමය.
සංසාරේ හැම තැනකම එක් එක් විදි වලින් එක්වී වෙන්වී යලි එක්වන්නේය.
හඬන්නේය. විඳවන්නේය. යළි දෑත් බඳා වැලඳගන්නේය.
මේ එහෙව් දරා ගැනීම් වෙනුවෙන් වග වෙන පෙම් සිත් වෙනුවෙනි.
පාරමී පුරමින් ප්‍රේමය වෙනුවෙන් පේවෙන සියළු සිත් නිවී සැනහේවා.
| අපේක්ෂා ගුණරත්න |