මතක දිගහැරුම 11 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකොළොස්වන දිගහැරුම ,

මගේ අම්මා ,කුඩා කල සිටම බතික් ඇඳුම් ඇඳීම සඳහා මා හුරු කළ නිසා මා අදටත් බතික් ඇඳුම් ඇඳීම සඳහා අතිශය ප්‍රිය කරමි. මා ජපානයට එන විට අම්මා මට බතික් ඔසරියක් සකස් කර දුන්නාය. මා එම ඔසරිය ඇඳ සිටිනු දැක ජපානයේ නමගිය චිත්‍ර ශිල්පින් කිහිප දෙනෙකු මා අමතා මා එම බතික් ඔසරියෙන් සැරසී සිටිනු සිතුවම් කිරීමට කැමති බව පැවසීය. මා එයට එකඟ වූ අතර ඔවුන් බතික් ඔසරියෙන් සැරසී සිටින මා ඉතා අපුරූවට සිතුවමට නැගීය. අදටත් ඒ සුන්දර සිතුවම මා සතුව ඇත.

මගේ රටෙහි ඇති බතික් නැමති එම සුවිශේෂී කලාව සහ බතික් ඇඳුම් ඇඳීමට මා තුළ ඇති කැමැත්ත පිළිබඳව මා ඇත්තෙන්ම ආඩම්බර වෙමි. ජපන් ජාතික අය ඇතැම් විට මා අසලට පැමිණ එම බතික් ඇඳුම් පිළිබඳ විමසන අතර මා ඔවුන්ට ඒවා ගැන විස්තර කරන්නේ මගේ රට ගැන අතිශය ආඩම්බරයෙනි . ඒ වගේම කුඩා කල සිටම බතික් ඇඳුම් ඇඳීම මට හුරු කළ මගේ අම්මාට ස්තූති නොකරම බැරිය. ශ්‍රී ලාංකිකයන් හැටියට එවැනි කලාවන් අප ආරක්ෂා කළ යුතුයි මෙන්ම ඉදිරි පරම්පරාවන් සඳහා ද ඒවා දායාද කළ යුතුය .

මෙහි ඇතැම් ස්ථානවල ස්වාභාවික උල්පත් පිහිටා ඇත . ගිනි කඳු පිහිටා ඇති තැන්හී යට තලය උණුසුම් නිසා එම සමහර උල්පත් උල්පත්වල වතුර ද ඉතා උණුසුම්ය . ස්වාභාවික නාන තටාක මෙන් පිහිටා ඇති ඒවා සමහරක අධික උණුසුම නිසා වතුර බුබුළු දමමින් තිබේ. මද රස්නය වතුර සහිත කාල මිනිසුන් ප්‍රයෝජනයට ගන්නා අතර ගැහැනු අයට සහ පිරිමි අයට වෙන් කළ ස්ථාන ද ඇත .ජපානයේ බොහෝ දෙනා තම තමන්ගේ රැකියා කටයුතු අවසන් වී රාත්‍රිය උදා වන විට එම ස්ථානවලට ගොස් එම තටාක වලට බැස පැයක් පමණ එහි ගත කරයි . එයට හේතුව වන්නේ ලවණ මිශ්‍රිත එම ස්වාභාවික ජලය මිනිස් ශරීරයට අතිශය හිතකර වීම සහ එමගින් නිරෝගී සම්පත්තිය ලබා ගැනීමට හැකියාව තිබීමයි.

ජපන් අම්මා සහ තාත්තාගේ මිතුරන් සතියකට වරක් පමණ අප නිවසට පැමිණේ. එලෙස පැමිණෙන ඔවුන් ශ්‍රී ලාංකීය ආහාරවල රස බැලීමට ප්‍රිය කළ අතර මා විසින් ඔවුන්ට අපේ බත් සහ ව්‍යාංජන වර්ග සකස් කර දුන්නෙමි. එම ආහාර අතර කිරිබත් විශේෂ ස්ථානයක් හිමිකර ගත්තේය.

ජපන් තාත්තා සේවය කල විශ්ව විද්‍යාලයේ srilankan day නමින් දිනයක් වෙන්කර තිබුණි . එදිනට ශ්‍රී ලාංකීය කෑම සකස් කිරීම සිරිත වී තිබූ අතර මම එහි ආඩම්බරකාර කෝකියා වීමි . ළමුන් එකතු වී ආහාර සකස් කිරීමට අවශ්‍ය දෑ මට සූදානම් කර දුන් අතර මා විසින් කල්දේරම් වල ශ්‍රී ලාංකීය ආහාර වර්ග පිසූයෙමි.සැර අඩුවෙන් සකස් කළ එම ආහාර ඔවුන් රසවින්දේ ඉතාම ආසාවෙනි . ජපානයේ දී මා ලද අත්දැකීම් ගොන්නෙන් එය ඉතාම සුන්දර අත්දැකීමක් ලෙස මට නම් කළ හැකිය .

ජපානයේදි මා ඉගෙන ගත් වැදගත් දේවල් අතර නියමිත වෙලාවට වැඩ කිරීම විශේෂ ස්ථානයක් හිමි කර ගනී. ජපන් ජාතිකයන් වෙලාවට සහ අකුරටම වැඩ කරන අය වූ අතර විනාඩියක් දෙකක් පමණ වුවත් ප්‍රමාද වී පැමිණියහොත් ඔවුන් අප දෙස බලන්නේ ඉතා විශාල අපරාධයක් කළ ලෙසය. එම නිසා නියමිත වේලාවට වැඩ කිරීමට මා පුරුදු වූ අතර නියමිත වේලාවටත් කලින් අදාල ස්ථානයට ගොස් සිටීම අදටත් මට පුරුද්දට ගොස් ඇත. පසුකාලීනව මා කළ රැකියාවට පවා වෙලාවට වැඩකිරීම ඉතා අත්‍යවශ්‍ය වූ දෙයක් නිසා ජපානයේදී මා ලද පුරුද්ද මට බොහෝ ප්‍රයෝජනවත් විය .

එකිනෙකාට ගෞරව කිරීම සහ හිස නමමින් ආචාර කිරීම ජපන් වැසියන් තුළ වූ විශේෂ යහපත් පුරුද්දක් විය.නිතරම එකිනෙකාට හිස නමමින් ආචාර කරන අතර මහමගදි හෝ වෙන කුමන ස්ථානයක වුවත් හඳුනන කෙනෙක් මුණ ගැසුණු විට එසේ ආචාර කිරීම සිදු කරයි . කෙනෙක් මුණ ගැසුණු විට සහ කතා කරන විට හිස නමමින් ආචාර කිරීම මා තුළ අදටත් පවතින පුරුද්දකි. ඇතැම් විට උත්සව අවස්ථාවකට , රූපවාහිනී සාකච්ඡා වලට හෝ වෙනත් කිසියම් තැනකට ගිය විටද නිතරම එසේ හිසා නමමින් ආචාර කිරීම මට නිරායාසයෙන්ම සිදුවේ. ජපන් වැසියන් තුළ වූ ආචාරශීලී බව සහ නිහතමානී බව පිළිබිඹු වන එම ගුණාංගය ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකීය අප තුළද තිබුණා කියා කිසිදු වරදක් නැතැයි මට සිතේ.

එපමනක් නොව, අනෙකාව අගය කිරීම ද ඔවුන් තුළ නිතරම දකින්නට ලැබුණු දෙයක් විය. කෙනෙක් විසින් තව කෙනෙකුට ත්‍යාගයක් දුන් විට ඔවුන් ඉදිරියේම එය දිග හැර බලා එම ත්‍යාගය ඉතා කුඩා දෙයක් වුවත් එහි සෑම අංගයක් පාසාම වර්ණනා කිරීම සහ ත්‍යාගය ලබා දුන් කෙනාව අගය කිරීම ඔවුන් සතුව තිබූ ඉතාම යහපත් සහ සිත්ගන්නා සුළු ගුණාංගයකි. එමගින් ඒ ත්‍යාගය ලබාදුන් තැනැත්තාව සතුටට පත් කිරීම ඔවුන්ගේ අරමුණයි. එවැනි යහපත් පුරුදු මා ඔවුන්ගෙන් ඉගෙනගත් අතර අදටත් මට කවුරුන් හෝ කුමන හෝ ත්‍යාගයක් දුන්විට ඔවුන් ඉදිරියේම දිග හැර බලා එයට මා ඉතා කැමති බවත් , මට එය ඉතා ප්‍රයෝජනවත් වන බවත්, එය ලබා දුන්නාට මා ඉතාම ස්තූතිවන්ත වන බවත් පවසමි.

මිනිස්කම් හඳුනන මිනිසුන් ලෙස අප සෑම විටම විටම අනෙකාව අගය කළ යුතුය , කවුරුන් හෝ කෙනෙක් අප වෙනුවෙන් යමක් කළ විට එම කෙනා ඒ වෙනුවෙන් කළ කැපකිරීම සහ මහන්සිය වෙනුවෙන් කරන කළගුණ සැලකීමක් ලෙස එම අගය කිරිම අප වෙතින් විය යුතු බව මා විශ්වාස කරමි . ආදි සිංහලයන් තුළ තිබී, මේ වන විට ගිලිහෙමින් පවතින යහපත් ගුණාංග නැවත වර්තමාන පරපුර තුළ ඇති විය යුතුය . එකිනෙකාට ගරු කිරීම, ආචාර කිරීම, කරුණාවන්ත වීම, අනෙකාව අගය කිරීම සහ මෛත්‍රී කිරීම වැනි දේවල්, යහපත් ගති ගුණ ඇති මිනිසෙක් තුළ තිබිය යුතුම ගති ලක්ෂණ බව මා විශ්වාස කරමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles