නපුරු අම්මා.

“මොකද ඔය හැමවෙලේම නිදි..මඟුල් විසේනෙ හිත පුරා තියෙන්නෙ.හීන දැක දැක නිදි ඉතින්..”

ලතිකා උඩ ගියේ තල් අත්තට බොරළු වැටෙනවා වගේ ඇහුණු සද්දෙට.මදැයි නිවාඩු දවසේ නිදා ගන්න හැදුවා.කෑගහන්නේ අම්මා නොවන බවනම් ලතිකා දන්නවා.මේ වෙඩින් එක කට උඩ තියන් ඉන්න ලතිකාට මඟුල් විසේ ගැන කෑගහන්න අම්මාට පිස්සුයැ.ඒත් ඒ සද්දෙට හොල්මන් වුණු ලතිකා පියවි ලෝකෙට ආවේ කාමරේට එබුණු අම්මා නිසා.

“කමනි ආන්ටි නේද අම්මේ කෑගහන්නේ?”

ලතික ඇහුවෙ අමාරුවෙන් ඇස් අරින ගමන්.අම්මා මූණ නරක් කරගෙන ඇඳ උඩින් ඉඳගත්තා.

“උදේ පාන්දරම කෑ ගහන්න පටන් ගත්තා..”

අම්මා කියන්නේ අප්‍රසාදයෙන්.තාප්පයෙන් වෙන් වුණාට පර්චස් දහයේ ඉඩම්වල හදපු ගෙවල්වල ඉන්න නිසා ඕනෙවට වඩා කෑගහනකොට එහා ගෙදරට ඇහෙන එක වළක්වන්න බෑ.

එහා ගෙදර කමනි ආන්ටි ඔය කෑ ගහන්නේ එයාගෙ ලොකු දුව වුණු මීනුට.මීනු උසස්පෙළ ලියලා ප්‍රතිඵල ඇවිල්ලා තාම මාස දෙක තුනක් වත් නෑ.වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබයි කියලා හිතාගෙන හිටපු මීනුට සුදුසුකම් තිබුණේ සාමාන්‍ය විද්‍යාවේදී උපාධියකට විතරයි.මීනු පුංචි කාලේ ඉඳලා අනාගතය ගැන හීන ගොඩගහපු කමනි ආන්ටි එතනින් පස්සෙන් ඉන්න හරිම කේන්තියෙන්.ඒ සේරටම හේතුව මීනු ක්ලාස් යන අතරේ පටලවා ගත්තු ප්‍රේම සම්බන්ධය කියලයි කමනිගේ හැඟීම.නියපොත්තෙන් කඩන්න තිබ්බ කතාව පොරොවකින්වත් ගොඩ දාගන්න අමාරු වුණේ මීනුගේ ප්‍රේමය ගැන දැන ගත්තු දවසේ ඉඳන් කමනි යස්ස අම්මා කෙනෙකුට ඇඳ ගත්තු නිසා.විභාගේ ඔන්න මෙන්න තියලා අම්මා ඇනුම්බැනුම් පටන් ගත්තට පස්සේ මීනුත් පාඩම් කරේම නැති ගාණයි.ඔය ප්‍රතිපලයත් මීනුගේ උපන් දක්ෂකම නිසා කියලා ලතිකා නම් හිතන්නේ.

Mother and daughter argue

“කොච්චර හොඳට ඉගෙනගත්ත ළමයෙක්ද අක්කේ.කොහේවත් නැති කොල්ලෙක් පටලවා ගත්තානේ..”

මීනු ප්‍රේම සම්බන්ධය ගැන කමනි ආන්ටි කතා කරේ හරිම කේන්තියෙන්.පාසල් ප්‍රේමය කියන්නේ දේදුන්න වගේ ඇතිවෙලා නැති වෙන දෙයක් කියලා ලතිකා එදත් කමනි ආන්ටිට කිව්වේ හිනා වෙන අතරේ.උසස්පෙළ කරන කාලේ ලතිකාටත් එහෙම කතාවක් නොතිබුණා නෙවෙයි.ඒත් අම්මා ඕවා ගැන රණ්ඩු කරන්නවත් ලතිකාට බැන අඬගහන්නවත් ගියේ නෑ.ලතිකා කැම්පස් ගිහින් සුදේශ් රස්සාවකට ගිහින් ඒ කතාව ඉවර වුණා.පහුගිය දවසක ලතිකාට සුදේශ්ව අහම්බෙකින් මුණ ගැහෙනකොට එයාගේ අතේ පුංචි කොලු පැංචෙකුත් හිටියා.ආගිය විස්තර කතාකරලා සමු ගන්නකොටත් අර දඟකාර අතීතය ගැන හිනාවක් මිසක් ලතිකාට කිසිම වේදනාවක් තිබුණේ නෑ.

ඒත් කමනි ආන්ටිගේ හැම තත්පරයක්ම වැය වෙන්නේ මීනුගේ ප්‍රේම සම්බන්ධයට බැන අඬ ගහන්න.

“අද මාර වැස්සක්නෙ අප්ප..”

දවසක් ලතිකා එහෙම කියනකොට මීනු මුහුණත් නරක් කරගෙන කියපු කතාව ලතිකාට තාම මතකයි.

“ඒකටත් අම්මා මගෙ වැරැද්ද කියයි ඕං..”

හැම වෙලාවකම මීනුට බනින කමනි ආන්ට්ගේ හඬ නිවාඩු දවසට ලතිකාගේ කනේ හැපෙනවා.දැන් ඒක පුරුද්දට ගිහින්.මීනු ඉන්නේ ඕනෑවට එපාවට කියලා ලතිකාට නොතේරුණා නෙවෙයි.හොඳ ෆිල්ම් එකක්,පොතක් එහෙම දුන්නත් “දැන් එපා අක්කා,මට කම්මැලි” කියන්න තමයි මීනු දැන් බලන්නේ.ඉස්සර මීනු හරිම ක්‍රියාශීලි දඟකාර කෙල්ලක් කියල ලතිකා නොදන්නව නෙවෙයි.ඒත් මීනු දැන් කාමරෙන් එළියටවත් බහින්නේ නෑ කියල අම්මාත් ලතිකාට කිහිපවතාවක්ම කිව්වා.

“කමනි ආන්ටි,මං මේ චොකලට් කේක් හැදුව.නංගිගෙ පංගුව ගෙනාවා..”

එදා හවස ලතිකා එහෙම කියාගෙන මීනුලගෙ ගෙදරට ගියා.සාලෙට වෙලා පත්තරේ බල බල හිටිය කමනි ආන්ටි ලතිකාට හිනා වුණා.ඊටත්පස්සේ ආගිය තොරතුරු අහන්න පටන් ගත්තා.

“කොහොමද දුව..දැන් වෙඩින් එකේ වැඩ කොහොමද?”

කමනි ආන්ටි එහෙම අහනකොට ලතිකා මංගල උත්සවය ගැන විස්තර කිව්වේ මීනු කොහෙද විපරම් කරන ගමන්.මීනුවත් දෙවෙනි මනමාලියක් කරන්නයි ලතිකා හිතාගෙන ඉන්නේ.

“පිළිවෙළකට හිටියම ලස්සනට වෙඩින් එකක් ගන්න බැරිකමක් නෑ දුව.මං මේ අපේ මෝඩිටත් කිව්වෙ ඒක.කොහෙද ඉතින්.මගෙන් ගුටි කාලම ඒ මඟුල නම් දැන් නවත්‍තලා..”

Stressed woman

ආන්ටි එහෙම කියනකොට ලතිකාට හිනාවක් ඉපදුණා.

“සංජය කියන්නේ මගෙ ෆස්ට් ලව් එක නෙවේ ආන්ටි.ඉස්කෝලෙ කාලෙ මටත් නංගිට වගෙ පොඩිපහේ කතාවක් තිබුණා.අම්මා ගහන්න බනින්න ගියේ නෑනෙ.මටම තේරුණා මගේ ජීවිතේ ඉස්සරහට යන්න එයානම් හරියන්නේ නෑ කියලා.ඒ කතාව එහෙමම නැවතුණා..”

ලතිකා එහෙම කියනකොට කමනි එයා දිහා බලාගෙන හිටියේ ඇස් නළලට අරගෙන.

“සුජිවා අක්කා මට ඔය වගක් කියල නෑනෙ දුවේ..”

ලතිකා ඒ කතාව අහලා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.

“ආන්ටි තියා අපේ තාත්තයි අයියයිවත් දන්නේ නෑ.අම්මා මට කිව්වේ හරියටම හරියන තීරණයක් ගන්න කියල විතරයි.එතකොට විභාගෙට මාස දෙකයි..”

එදා ලතිකා හොඳටම ගුටි කෑවනම් දිස්ත්‍රික් කුසලතාවයකුත් එක්ක කළමනාකරණ පීඨයට ඇතුළත් වෙන එකක් නෑ නේද කියලා කමනිට හිතෙන්න ගත්තා.ඇත්තටම ඉතින් මීනු හිතුවක්කාර වුණේ ඒ සම්බන්ධෙ හින්දම නෙවෙයි තමන්ගේ කන්කරච්චලෙ හින්දා නෙවෙයිද කියල කමනිට හිතෙන්න ගත්තේ ඊට පස්සේ.

“නංගිට තව පාරක් විභාගෙ කරන්න කියන්න ගිහින් මාත් එක්ක හොඳටම රණ්ඩු වුණා දුව..දැන් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ ඉතින්.”

කමනි එහෙම කියනකොට ලතිකා ඇය දිහා බැලුවේ ඉවසීමකින්.

“ආන්ටි ඔය සම්බන්දෙ ගැන කතා කරන එක නවත්තන්න.ඊටපස්සෙ නංගිට බනින්නම නොයා කතා කරන්නත් පටන් ගන්න.ඔයා ගැන විශ්වාස හිතෙනකොට නංගි ආයෙම ඉස්සර වගේ වෙයි..”

කමනිගේ මුහුණට ආපු බලාපොරොත්තුවක හිනාවට පිළිතුරු හිනාවක් දෙන ගමන් ලතිකා මීනුගේ කාමරේ දොරට තට්ටු කළා.අම්මාගේ ආදරේට කරන්න බැරි දෙයක් නෑ.ඒත් අම්මා කියන්නේ අණ වෙනුවට ආදරේ බෙදන කෙනෙක් කියලා අම්මාටත් තේරුම් ගන්නම වෙනවා.ලතිකා හිතුවේ දොර ඇරගෙන එබුණු මීනුගේ මළානික ඇස් දිහා බලන ගමන්.

More Stories

Don't Miss


Latest Articles