අනතුර පැරදූ ධෛර්යය

“මට වතුර ටිකක්..”

හාත්පස අඳුරු ලෝකයකින් දෑස් විවර කළ මම මිමිණුවෙමි.මගේ හිස තදබල ලෙස රිදුම් දෙන අතර සිරුර ඇති බවක් නොවැටහේ.

“වතුර ටිකක්..”

මා සැබෑවටම ජීවත් වෙනවාදැයි සිතමින් මම නැවතත් මිමිණුවෙමි.ඇතැම්විට මා මිය ගොස් වන්නට ඇත.එහෙත් එය එසේ නොවන බව පැහැදිලි කරමින් නොදන්නා හඬක් මතු විණ.

“ඔයාට ඔපරේෂන් කීපයක්ම කරා ලීසා.වතුර බොන්න බෑ තාම.”

එසේ කී ඇය පුළුන් කැබැල්ලකින් මගේ දෙතොල් තෙත මාත්තු කළා ය.මම නැගී සිටින්නට උත්සාහ ගතිමි.නොදන්නා අමුත්තිය,හෙදිය මා වැලැක්වූවා ය.

“කෝ එමිලි? මගේ යාලුවා?”

මට තද හිසරදය මැද ප්‍රශ්න රැසකි.හෙදිය මඳ සිනාවක් හෙළුවා ය.

“එමිලි ඉන්නවා..”

මට තදබල වේදනාව මැදින් පැය කිහිපයකට පෙර හෝ දින කිහිපයකට පෙර මොහොතක් සිහි වේ.මමත් මගේ මිතුරිය එමිලිත් රැකියාව නිම වී නිවසට එමින් සිටියෙමු.මාර්ගය ලිස්සනසුළු ය.වර්ෂාව අධික කාලයට එය එසේ බව අපි දැන සිටියෙමු.නමුත් එය අප ඉදිරියට ආ වේගවත් ට්‍රක් රථය දැන සිටින්නට නැත.සියල්ල අපැහැදිලි වන්නට ගත වූයේ ස්වල්ප මොහොතකි.දෙනෙත් තද කර පියා ගන්නා අතර මට ජෝර්ජ් සහ මගේ දරු දෙදෙනා සිහි වූ බව මතක ය.

“මට ජෝර්ජ්ව බලන්න පුලුවන්ද?”

රෝහල මගේ ඉල්ලීම ඉටු කළේ ය.ඒ තව දින කිහිපයකට පසු ය.ඔරලෝසුවේ කටු නොව කැලැන්ඩරයේ දින පෙරළී ගොස් ඇති බව මට වැටහුණේ ජෝර්ජ් පැමිණි පසු ය.මා මෘදු ලෙස දරා ගත් ජෝර්ජ් පළමු වේදනාත්මක පුවත හෙළි කළේ ය.එමිලි,මගේ මිතුරිය ඒ අනතුර නිසා ස්වර්ගය කරා නික්ම ගොස් ඇත.

“ඔයා ජීවත් වෙනවා.ඒ ගැන දෙවියන්ට ස්තූති කරමු.ඒ නිසා ඔයාට රෝද පුටුවක ඉන්න වෙන එකවත් ඔයාගේ දකුණු අත වැඩ නොකරන එකවත් ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ඉමු.”

ජෝර්ජ් ඊළඟ වේදනාත්මක පුවත හෙළි කළේ එසේ ය.දකුණු අත ක්‍රියා නොකරන බව මට පිළි ගන්නට අපහසු විණ.මා කුඩා දරු දෙදෙනෙකුගේ මවකි.මට කරන්නට අපමණ රාජකාරි තිබේ.අනෙක් කාරණාව මා චිත්‍ර ශිල්පිනියකි.මෙතැන් පටන් මා සිතුවම් අඳින්නේ කෙසේද?

රෝහල්ගතව සිට නිවසට යන්නට මට මසක කාලයක් ගත විණ.පැරණි මා නැති බව දැනගත් දා පටන් මට මානසික ප්‍රතිකාර පවා අවැසි විය.නමුත් මට සාමාන්‍ය වීම පහසු වූයේ නැත.හුරු අත නැති ජීවිතය දරා ගන්නා විට මට ඇවිදීමට ඕනෑ විය.නමුත් ඒවා අතීත සිහින ය.

Young female patient hospitalized lying down on bed looking to the window depressed

“මාත් මැරුණානම්..” මම එසේ සිතමින් වැළපුණෙමි.ඒ ට්‍රක් රථ රියදුරාට සාප කළෙමි.

“අම්මට කරදර කරන්න එපා..”

මගේ කුඩා පුතුත් දියණියත් ඔවුනොවුන්ට නිතර කියා ගන්නා හඬ මට ඇසේ.ඔවුන් මට කරදර කිරීම මොනතරම් මිහිරක්දැයි මම සිතන්නට වීමි.මට වඩා වෙහෙස දැනුණේ හැඬීමෙනි.

එහෙත් වේදනාවේ ගිලෙන්නට ගිලෙන්නට එහි අවසානයක් නොමැති බව මට වැටහුණේ එක්තරා පැහැබර උදෑසනකදී ය.මම බොහෝ වේලා ගෙන වමතින් සැන්විච් සෑදුවෙමි.එය වෙනදා තරම් පහසු නැත.එහෙත් කරන්නට බැරි වූයේද නැත.අපට යමකට හුරු වන්නට අවශ්‍ය ධෛර්යය බව මම වටහා ගත්තෙමි.ඉන්පසු දකුණ සහ වම කියන්නේ අපේ මනසේ ඇති වෙනස්කමක් පමණක් බව මගේ මොළයට ඒත්තු ගැන්වූයෙමි.

දෑතකින් කළ දෑ තනි අතින් කිරීම පහසු නොවේ.අසීරු තැන් ද අත්හැර දැමිය යුතු තැන් ද අපමණ ය.එහෙත් මා උපරිමය වෙනුවෙන් උත්සාහ ගත්තෙමි.අසාර්ථක නොවන වමත මට නැවත මා සොයා දෙමින් තිබිණ.අලුත් ක්‍රමයන් නිර්මාණය කරගනිමින් මම මට පහසු ක්‍රම සොයා ගතිමි.

“ආයේ චිත්‍ර අඳින්නත් පටන් ගන්න ලීසා.පින්සල අමාරු වුණත් අපිට පුලුවන් ඩ්‍රෝවින් පෑඩ් එකක් ට්‍රයි කරන්න..”

ජෝර්ජ් මගේ ප්‍රියතම විනෝදාංශය සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් ගෙන ආවේ ය.හඬමින් පැමිණිලි කිරීමත් මට සිදුවූ දේ සම්බන්ධයෙන් දෙවියන්ට දොස් නැගීමත් වෙනුවට සටන් කිරීමක මිහිරියාව තෝරා ගත් මට ඒ නව මාර්ගය ද සතුට රැගෙන ආවේ ය.ඉතා පහසුවෙන් කළ සමහර දේ අසීරුවෙන් නමුත් කෙසේ හෝ සිදු කරගනිද්දී දැනෙන සතුට වෙනස් සතුටක් බව මම වටහා ගත්තෙමි.

මගේ චිත්‍ර යළිත් නිවස පුරා ය.ළඟදීම නව ප්‍රදර්ශනයක් පැවැත්වීම වෙනුවෙන් ජෝර්ජ් බොහෝ කාර්යබහුල ය.මට රෝද පුටුවට වී බොහෝ දෑ කරද්දි නිවස පුරා කඩියෙකු මෙන් දිව ගිය ලීසාව සිහි නොවනවා නොවේ.නමුත් වර්තමානයේ ජීවත් වන ධෛර්යමත් ලීසාට මම ආදරය කරන්නෙමි.

ගැහැනියකට තම සිහින ජය ගන්නට එක් අතක් පවා ප්‍රමාණවත් ය.
ධෛර්යමත් බව ඇති තරමට ජීවිතය අප උසුලා පොළොවේ ගැසුව ද නැවත  නැගී සිටීම අපහසු නොවේ.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content