මිතුරා හමුවන්නට පැය කිහිපයක් තිබූ නිසා චරක චායාගේ කාමරයට එබුණේය. විහඟි උන්නේද නින්දේ නිසා චරක උනේ ඔහුට දැනෙමින් තිබූ නොසන්සුන්කම වැඩි වූවා මිසෙක අඩු වූයේ නැත. චාය උන්නේ සුව නින්දකය. සස්මිත චායා කොහිදැයි විමසුවහොත් ඇය නිවසෙහි නොමැති බව පවසන්නට තමා ඉටා උන් බව චරක චායාගේ සුව නින්ද දෙස බලාගෙන සිතුවේය. ඔහු එලෙසින් විමසුවෙ නොමැති වුවත්, තමා ඒ බව පවසා සස්මිතව තවත් රිදවා දැමුවා නොවේදැයි චරකගේ යටි සිත ඔහුගෙන් විමසමින් උන්නේය. ඒ හා වාද කරන්නට චරක සිතුවිලි වෙන් කලේ නැත. ඔහු චායාගේ හිස යන්තම් පිරිමැද්දේය.
” අම්මේ මම එද්දී රෑ වෙයි .. දෙන්නම නිදි .. ඇහැරුනම කන්න දෙන්න දෙන්නාටම ..”
” රෑ වෙයි කියන්නේ?.. තව රෑ වෙන්න දෙයක් තියෙනවාද ලොකූ ?.. ඔය යන ගමනක් හෙට උදේ යන්න ඹැරිද ?.. දෝණිටත් දැන් දින කිට්ටුයි … මේ ප්‍රශ්න එක්ක කොයි වෙලේ අමාරු වෙයිද කියන්න බැහැනේ… හදිසියක් වුනොත් තාත්තාට වාහනේ ගෙනියන්නත් බැහැනේ…”
චරක අම්මාට සවන්දුන්නේය.
” හරි හරි .. මම එනවා.. ආයේ රෑ ගමන් තියාගන්නේ නෑ .. මේක යන්නම ඕනි ගමනක් අම්මේ… “
චරක ඉන් එහා පිළිතුරු බලාපොරොත්තු නොවීම නිවසින් පිටතට බැස්සේය. මිතුරාගේ කලබල හමුවීමට හේතුව වැටහෙන්නේද නැත.
ඔහු විමසුවේම සස්මිත කොහිද යන්නය. ඉන් පසුව හැකි ඉක්මනින් සස්මිතට ඇමතුමක් ගන්නා ලෙසත්, ඔහු කැඳවා ගන්නා ලෙසත් කීවේය. එලෙසින් පවසන්නට හේතුව වන්නේ ඔහුට සස්මිතගෙන් , පසුගිය වසර දොළහක් තිස්සේ සස්මිත ගෙවූ ජීවිතය පිළිබඳව විමසා දැනගැනීම විය හැකි බව චරකට සිතේ. ඔහු ඇරඹූ යම් කාර්‍යයක් අතරමැද අත් හැර දමන්නෙන්කු නොවන නිසා ඇතැම් විට යම් ඉඟියක් ඔස්සේ සස්මිතව තව දුරටත් පරික්ෂා කිරීම ඔහුගේ අදහස විය හැකිය. කෙලෙස නමුත්, තමා ඒ ගැටලුව විසඳාගෙන අවසන් බව පවසා මිතුරාගේ කාර්‍යයන්ගෙන් මෙම ගැටලුව ඉවත් කර දැමිය යුතු බව චරක සිතුවේය. පිළියන්දර සස්මිතව රඳවාගෙන උන් නිවසට චරක යන විටද, මිතුරා තවත් අයෙකු සමග පැමින සිටින බව දුටු චරක වඩා විමසිලිමත් වූයේය. චරක නිවසට ඇතුලු වූ පසු මිතුරා සමඟ උන් තරුණයා දෙදෙනාට සමුදුන්නේය.
” සර් .. මම කිට්ටුව ඉන්නේ .. සර් මට කෝල් එකක් දෙන්න ..”
” හරි හරි .. උඹ වාහනේ අරගෙන ගිහින් උඹේ වැඩ ටික කරගනින් . ඇමතිතුමා මට ට්‍රාන්ස්පෝර්ට් දේවි ..”
මිතුරා එලෙසින් පවසද්දී චරක ඒ බව අනුමත කරන්නාක් මෙන් හිස සැලුවේය. මිතුරා රාත්‍රී ආහාර සහ තවත් මලු කිහිපයක්ද රැගෙන විත් ඇති බව දුටු චරක, ඒ දෙස උවමනාවෙන් බලන අතරේ, අසුනකට වැටුණේය. ජංගම දුරකතනය පසෙකින් තැබුවේය. මිතුරා තමා දෙස විමසිලිමත්ව බලා සිටින බව දුටු ඔහුද, මිතුරා දෙස විමසිලිමත් බැල්මක් හෙලුවේය.
” උඹ කාලාද ?…”
මිතුරා විමසද්දී චරක නැතැයි පවසන්නට හිස සලා, ආහාර මලු දෙස බැලුවේය.
” බියර් එකක් ගහනවද ?…”
” හ්ම්ම් … කඩහං … “
” ඇරේන්ජ් කරලා ගනින් …”
මිතුරා එහි වූ ආහාර පාර්සල් දෙකක් පසෙකට තැබුවේය. පළතුරු සහිත බෑගයක් චරක වෙත පෑවේය. තවත් බෑගයක වූ කාඩ්බෝඩ් පෙට්ටියක වූ යමක් විවෘත කර තැබුවේය. චරක නැගිට ගොස් පළතුරු සෝදා, කෑලි කිහිපයක් වන සේ කැපුවේය. එහෙත් චරකගේ සිතෙහි වූ නොසන්සුන්කම අඩු වූයේ නැත.
දෙදෙනා යළි මුහුනට මුහුණ ලා හිඳගත්තේ, ඉන් විනාඩි දහයකට පමණ පසුවය. දෙදෙනා බියර් කෑන දෙකක් විවෘත කර සප්පායම ආරම්භ කර තවත් විනාඩි කිහිපයක් ගෙවී යන තුරුත්, කිසිවෙකු කිසිවක් පැවසූවේ හෝ විමසූවේ නැත
” කෝ අරූ …?”
අවසානයේ මිතුරා විමසුවේය.
” කවුද ?…”
චරක මද වේලාවක් ගෙන විමසුවේ පිළිතුර දෙන්නට ඉස්සර නොවීය.
” අර කොල්ලා..”
” සස්මිතද ?..”
” ඔව් … මෙහෙ උන්නේ..”
” ඌ ගියා …”
” ගියා කියන්නේ ?..උඹ යන්න දුන්නාද ?..”
” ඔව් ..”
” එතකොට උඹේ නංගී …”
චරක සිදුවූ සියල්ල මිතුරාට පැවසුවේය. සස්මිත , චායාගෙන් ඉවත්වී විදෙස් ගත වන්නට තීරණය කර ඇති බව කීවේය. චායා තවම එතරම් සුවපහසු මානසිකත්වයක නැතිවා වුවත්, ඇය සියල්ල වටහා ගනු ඇතැයිද චරක විශ්වාසයෙන් කීවේය. සස්මිත යනු, එක්දරු, විවාහකයෙකු බව දැන දැනම චායා ඔහු පසුපස හඹා නොයනු ඇතැයි තමාට විශ්වාස බවද, ඔහු කීවේය. මිතුරා චරක පැවසූ සියල්ල අසා උන්නේ සස්මිත පිළිබඳව වූ අනුකම්පාව ක්‍රමයෙන් ගෞරවණීය බවකට පෙරලෙද්දීය.
” උඹට මං ඩිස්ටර්බ් කරාට සොරි මචං.. මං දන්නවා උඹ මෙහෙම සීන් මැදදි අතාරින්නේ නෑ කියලා.. ඒත් ඒ කොල්ලාට එහෙම වදයක් දෙන්න හිතෙන්නේ නැ බං ..ඌ යද්දෙන් එහෙම… ඌ පට්ට කට්ටක් කාපු කොල්ලෙක් කියලත් හිතෙනවා බං.. ඌ හොඳ වැඩිද, නරක වැඩිද කියලා හිතාගන්නත් බැහැ මට වෙලාවකට .. ඒ කොහොම වුනත්, ඌ නංගිගේ ජීවිතේ ඉන්න වටින එකෙක් නෙවෙයි .. ඩ්‍රග්ස් කියන්නේ මචං, අපේ ජීවිත වලට කොහෙත්තම ගෑවෙන්න ඕනි දෙයක් නෙවෙයි …”
චරක බියර් කෑනයේ අවසානයට ළඟා වෙමින් උන්නේය. මිතුරා කොමඩු කැබැල්ලක් මුවට රුවා ගත්තේය.
” උඹ හරි … ඩ්‍රග්ස් කියන්නේ උඹලෑ ජීවිතවලට කොහෙත්තම ගෑවෙන්න ඕනි දෙයක් නෙවෙයි තමයි ..”
” ඌ ඩීල් කේස් එකකට ඇරෙස්ට් වෙච්ච කොල්ලෙක් බං .. එහෙම එව්වොන්ට සදාකල් ගැලවීමක් නැහැ .”
” ඒක හරි ..”
” දැන දැනම ඌ නංගීට හේත්තු වෙනකල් බලාගෙන ඉන්න මට බෑබං .. සල්ලි, අනන් මනන් ඔක්කොම කතන්දර බං .. ඒ ඔක්කොම මට තියෙනවා.. ඒත් සස්මිතයාගේ අතීතේ මට මකන්න බෑ ..”
” උඹ කියනෙක හරි බං ..”
” උඹ හරි අමුතුයි බං .. මොකක්ද සීන් එක .. සස්මිතයා මොකක් හරි සීරියස් සීන් එකකට පැටලිලාද ?..”
මිතුරා යළි කොමඩු කැබැල්ලක් මුවට රුවා ගත්තේය. චරක දෙස බලා උන්නේය.
” උඹ මොකක් හරි ඩ්‍රග් සීන් එකකට මාට්ටු වුනාද උඹ සිංගප්පූරු යන්න කලින් .. හරියටම උඹ ෆ්ලයි කරන්න දවස් දෙක තුනකට කලින් …”
චරක ගේ දෑස් විසල් වූයේය. මුව විවරව ගල් ගැසුණා මෙන් දැනුනේය.


