අපි දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි

” ඔයාලා දැක්කද නිම්මි ෆේස්බුක් දාලා තිබුන photos ? “

කෑම පැය අවසන් වෙලා ඇවිල්ලා කාර්යාල කාමරයේ කතාවට වැටිලා හිටපු අමන්දා එහෙම ඇහුවේ කල්පනීගෙන් 

” අම්මෝ දැක්කා දැක්කා. weekend එකේ ගිහින් තිබුන නේද ලක්ෂරි හොටෙල් එකකට ? ” 

” දැන් ඉතින් නිම්මිට සෑහෙන්න සල්ලි තියෙනවානේ ” 

අමන්දා කියන්නේ ඇස් නටවන ගමන් 

” එක අතකට අනේ මෙහෙ ජොබ් එක කර කර හිටිය නං එයා තාමත් අපි වගේ එක තැන. බැන්දට පස්සේ හස්බන්ඩ් එක්ක එකතුවෙලා බිස්නස් පටන් ගත්ත නිසා හොඳට ගියා ” 

” මාර වාසනාවක් තමයි ඉතින් ” 

අමන්දා ආයෙම බැලුවේ නිම්මි මුහුණු පොතට එකතු කරලා තිබුන ඡායාරූප දිහා. ඉතාම සුඛෝපභෝගී හෝටලයකට ගිහිල්ලා නිවාඩුව ගත කරන පැරණි මිතුරිය ව දැක්කම අමන්දාගේ හිතට දැනුනේ තරමක ඉරිසියාව මුසු වුණ හැඟීමක් 

” ඔයා තමයි මාව dinner out එකකට වත් එක්කගෙන යන්නේ නැත්තේ ” 

අමන්දා ගෙදර ආව ගමන් නිසල් එක්ක නෝක්කාඩු කියන්න පටන් ගත්තා

” අපි ජීවත් වෙන්න ඕනේ අපිට පුළුවන් විදියට අමන්දා. බිස්නස් කරන මිනිස්සුන්ට විසි කරන්න සල්ලි තියෙනවා. අපිට එහෙමද ? කීයක් දේවල් වලට වියදම් කරන්න ද ? ” 

” ඉතින් අනේ අපිත් බිස්නස් එකක් පටන් ගමුකො ” 

අමන්දා කිව්වෙ ඇවිටිල්ලක ස්වරූපයෙන්

” බිස්නස් එකක් පටන් ගන්නත් සල්ලි තියෙන්න ඕනෙනෙ. අපි අනික් මිනිස්සු කරන දේවල්ම කරන්න ඕනේ නෑ අමන්දා. ඔහොම හිනාවෙලා ෆේස්බුක් එකේ ෆොටෝස් දැම්ම පලියට අපි කොහොමද හිතන්නේ ඒ මිනිස්සු ඇත්ත ජීවිතේ සතුටින් ඉන්නවා කියලා ? ” 

” සතුටින් නැත්තෙ මොකද අනේ ? ඔයාට මතක නැද්ද ඒ දෙන්නාගේ වෙඩින් එක ? අමන්දාගේ හස්බන්ඩ් ගේ තාත්තා වෙඩින් ගිෆ්ට් එකට දුන්නේ කාර් එකක් ” 

අමන්දාගේ කතාවට නිසල්ගේ පිළිතුර වුණේ හිනාවක් විතරයි. මිනිස්සු ලෝකයට පෙන්වන දෙයට වඩා ඇතුළාන්තය ගොඩක් වෙනස් කියලා තේරුම් ගන්න තරම් පරිනත මනසක් නිසල්ට තිබුණා 

ඊළඟ සති අන්තයේ කාර්යාලයේ මිතුරියන්ට රාත්‍රී කෑම වේලකට නිම්මිගේන් ආරාධනාවක් ලැබුණා. විවාහයෙන් පස්සේ නිම්මිව මුණගැහුණේ නැති නිසා ඇගේ නිවසට ගිහින් සතුටු වෙන්න කාගෙ කාගෙත් හිත්වල තිබුනේ නොඉවසිල්ලක් 

” ඔයාගේ ගෙදර හරිම ලස්සනයි නේ නිම්මි ” 

කල්පනී ආසාවෙන් වටපිට බැලුවා. ලස්සනට සැලසුම් කරලා ප්‍රියමනාප විදියට වගේම සුඛෝපභෝගී පෙනුමක් එන විදියටත් නිම්මිගේ අලුත් නිවස හදලා තිබුනා. මහ ඉහළින් සූදානම් කරලා තිබුන රාත්‍රී කෑම වේලත් භුක්ති විඳලා ආව මිතුරියන්ට ඒ ගැන කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබුණා 

” අම්මෝ අර සෝෆා සෙට් එක මං හිතන්නේ ලක්ෂ දෙකක් විතර ඇති නේද අමන්දා ? ” 

” නැත්තම්. ඔයා දැක්කේ නැද්ද ගෙදර තිබ්බ වීදුරු බඩු පවා හොඳම ඒවා කල්පනී ” 

” ටීවි එකේ සයිස් එක ? අපිට එහෙම ඕකක් ගන්නවා තියා හිතන්නවත් බැහැ අනේ ” 

” නිම්මිගේ වාසනාව පෑදුනේ ඔය කොල්ලව බැන්දට පස්සේ තමයි. ඒ කොල්ලගෙ පවුලටම සල්ලිනේ. නිම්මි ට රැජිනක් වගේ ඉන්න පුළුවන් දැන් ඉතින්  ” 

” ඒකනේ. හෙට අනිද්දා තව වාහනයකුත් ගන්නලු ඉන්නේ “

නිම්මි ගත කරනවා වගේ ජීවිතයක් ගත කරන්න කාර්‍යාලයේ නිම්මිගේ ළඟම මිතුරියක් වෙච්ච අමන්දා ආස කලා. නිම්මිගේ ගෙදරට ගිහින් ආව දවසෙ ඉඳල ඒ ආසාව තවත් වැඩි වුණත් ඒ දේවල් හීනයක්ම විතරයි කියලා අමන්දාට ආයෙම හිතුනා. 

” ඔයාගේ යාළුවෙක් හරි ඒ වගේ හොඳ ජීවිතයක් ගත කරන එක ගැන ඔයා සතුටු වෙන්න අමන්දා ” 

නිම්මිගේ කියවිල්ල ඉවරයක් වෙන්නේ නැති තැන නිසල් කිව්වා

” නෑ ඉතින් බලන්නකෝ නිම්මි කොහොම හිටපු කෙනෙක්ද ? එයා අපිට හදිසියේම ඩිනර් එකට එන්න කිව්වෙත් එයාට තියන දේවල් පෙන්නන්න ද දන්නේ නෑ ” 

” අපිට ඉතින් එහෙම කියන්න බැහැ නේ. එයා ඉන්වයිට් කලා , අපි ගිහින් ආවා. ඒක එතනින් ඉවරයි නේ. අයියෝ මේ ගෑනුන්ටත් කොච්චර තිබ්බත් මදි ” 

නිසල්ගේ මුහුණේ ඇඳිලා තිබුණෙ හිනාවක්

” නිම්මි ට තියෙන හැමදේම අපිට නැති වෙන්න පුළුවන්. ඒත් නිම්මිට නැති හිතේ සතුටක් අපි ළඟ තියෙනවා වෙන්න පුළුවන්  “

” ඔයා කියන්නේ ඔච්චර දේවල් තිබිලත් නිම්මි ඉන්නේ සතුටින් නෙමෙයි කියලද නිසල් ? ” 

” නෑ මම එහෙමම කියන්නේ නැහැ. ඒත් ඉතින් එයාලා සීයට සීයක් සතුටින් ඉන්නවා වෙන්න බැහැනේ ” 

නිසල් ඇඳේ අනිත් පසට හැරිලා ඇස් පියා ගත්තේ අමන්දාට හිතන්න යමක් ඉතුරු කරලා. 

” නිම්මි ඒ දවස් වල කුකරි ක්ලාස් ගියා මතකද ? අන්න එයාලා restaurant එකක් පටන් ගන්න හදන්නේ කියලා යාලුවෙක් එක්ක කියලා තිබුණා ” 

තවත් දවසක කල්පනී ගෙනාවේ අලුත් ආරංචියක් 

” කොච්චර සල්ලි මොකට හම්බ කරනවද මන්දා ” 

අමන්දා උත්තර දුන්නේ ලැප්ටොප් එක දිහාම බලාගෙන 

” හම්බ කරන තරමටම වියදමත් ඇතිනේ. අපිට වගේ යෑ. මේ කොළඹ නිම්මි ගියේ නැති හොටෙල් එකක් නැතුව ඇති. ශොපින් කරපු නැති ශොප් එකකුත් නැතුව ඇති ” 

කාර්යාලයේ මිතුරියන්ට නිම්මි ගැන කතා කරන්න ඕනෑ තරම් දේවල් තිබුණා. ඒ හැමෝගෙම හිත්වල ඇය ගත කරනවා වගේ ජීවිතයක් ගත කරන්න ආසාවකුත් තිබුණා. 

” දන්නවද අලුත්ම ආරංචිය ? ” 

දවසක් උදේම උත්පලා කාර්යාලයට ආවේ එහෙම අහගෙන. අමන්ද වගේම කල්පනීත් උත්පලා දිහාට හැරුනේ එකපාරටම 

” නිම්මි ඩිවෝස් වෙන්න යනවලු ” 

උත්පලා ගෙනාපු ආරංචියෙන් අමන්දා ඇතුළු හැමෝම පුදුමයට පත්වුණා. හැමෝම අතර මද වේලාවක නිහැඬියාවක් පැවතුනේ ඒ නිසාමයි. 

” එයාගේ හස්බන්ට වෙන එෆෙයාර් එකක් තිබිලා. ඒ නිසා මාස ගාණක් තිස්සේ එයාලා අතර ගොඩක් ප්‍රශ්නලු ” 

උත්පලාගෙ මූහුණේ ඇඳිලා තිබුනේ දුකක්

” ඒ උනාට එහෙම එකක් පේන්න තිබ්බේ නෑනේ ” 

අමන්දා හඬ අවදි කලා. කාගේ කාගෙත් හිත්වල අහන්න දේවල් දහසක් තිබුනත් කවුරුත් මුකුත්ම කිව්වේ නැහැ 

” ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළෙ කොච්චර ප්‍රශ්න තියෙනවද අමන්දා ” 

ආරංචිය දැනගත්ත ගමන්ම නිසල් කිව්වෙ එහෙම

” නිම්මි ගෙවනවා වගේ ජීවිතයක් ගෙවන්න ඔයා ආස කරා. දැන් තේරෙනවද ඒ ජීවිතේ ඇතුළෙත් හිස්තැන් ගොඩක් තිබිලා කියලා ” 

නිසල්ගේ වචන ඒ වෙනකොට අමන්දාව නිහඬ කරලා තිබුනා 

” නිම්මි ට තියෙන හැමදේම අපිට නැති වෙන්න පුළුවන්. ඒත් නිම්මිට නැති හිතේ සතුටක් අපි ළඟ තියෙනවා වෙන්න පුළුවන්  “

දවස් ගානකට කලින් නිසල් කිව්ව වචන අමන්දාට ආයෙම මතක් උනා 

More Stories

Don't Miss


Latest Articles