සාධනා

කුල පීඩනයයි, පාරම්පරික සල්ලි බලයයි ඉහටත් උඩින් තිබ්බ ඒ මහා නගරයේ, අහස උසට විහිදුණු එක පාලු වලව්වක් තිබ්බා. 

වටපිටාව පුරාම එක එක පාටින් මල් පිපිලා මාරම ලස්සනට තිබුණත්, ඒ මන්දිරයේ තිබ්බේ කාටවත් ලේසියෙන් කිට්ටු වෙන්න බැරි විදියේ අමුතුම මූසල පාලු ගතියක්. හැබැයි මේ පාලු මන්දිරයේ උඩ තට්ටුවේ, රෝස පාට බෝගන්විලා මල් වැල්වලින් වටවුණු ලස්සන සඳලුතලාව උඩ හැමදාම හවසට දකින්න ලැබෙන එකම එක මාරම ලස්සන, හැඟීම්බර දර්ශනයක් තිබුණා. 

ඒ තමයි සාධනා. ඇත්තටම එයාට සාධනා කියන නම දුන්නෙ ආයුෂ්. ආයුෂ් උන්නෙ ඔය වලව්වට ඉස්සරහා පැත්තෙන් පාරෙන් එහා පැත්තෙ තිබිච්ච නවාතැන පලක තුන්වෙනි තට්ටුවේ කාමරයක් කුලියට අරගෙන. ඒ කාමරේ තිබ්බ එකම එක ජනේලෙන් තමයි ආයුෂ් සාධනාව දැක්කෙ. ජනේලෙන් කතා කරන්න බැරි තරං දුර හන්දා ආයුෂ්ම තමයි එයාට සාධනා කියලා නම දැම්මෙ.

එයා හැමදාම ඇන්දෙ එකම ජාතියක කපු සාරි. කොච්චර ඈත ඉඳන් දැක්කත් ආයුෂ් හිතුවෙම ඒ සාරි හරි සනීප ඇති කියලා. දිගම දිග කොණ්ඩෙ පිට දිගට ගොතලා වැක්කෙරෙන්න දාලා ඒ කොණ්ඩෙ පිච්ච මල් ගහගෙන තමයි සාධනා උන්නෙ. සාධනා හැමදාම හවසට කිසිම කතාවක් බහක් නැතුව, මාරම සන්සුන් විදියට ඒ සඳලුතලාවේ දිග ජනෙල් පේළිය අද්දර බිම වාඩි වෙලා, තමන්ගේ දිග ඇස් දෙක බිමට හරවාගෙන මහා ලොකු සිතාර් එකක් ප්ලේ කරන්න ගන්නවා.

ඔය මන්දිරයට යාබදව තිබ්බේ සාමාන්‍ය මිනිස්සු කුලියට ඉන්න පරණ බිල්ඩිමක්. ඒ බිල්ඩිමේ තුන්වෙනි තට්ටුවේ, දිග කොරිඩෝව කෙළවරේම තිබ්බ පුංචි කාමරේ තමයි ආයුෂ් ජීවත් වුණේ. ආයුෂ් කියන්නේ ගමෙන් නගරයට ඇවිත් පොඩි රස්සාවක් කරලා, ලැබෙන කීයකින් හරි තමන්ගේ ජීවිතේ මාර කට්ටක් කාලා ගැටගහගන්න හදන සාමාන්‍ය ඉන්දියන් කොල්ලෙක්. දවස තිස්සේම රස්සාවේ වැඩවලින් හෙම්බත් වෙලා එන ආයුෂ්ගේ හිතට ලැබුණු එකම සහනය වුණේ තමන්ගේ කාමරේ ජනේලෙන් අර මන්දිරයේ සඳලුතලාව දිහා බලාගෙන ඉන්න එක විතරයි.

හැමදාම හවසට සාධනා වයන ඒ සිතාර් නාදය කෙලින්ම ඇවිත් හැප්පුනේ ආයුෂ්ගේ හදවතේ ගැඹුරුම තැනකට. ඒ තනුවල තිබ්බේ නිකංම තාලයක් නෙවෙයි, හරියට කාටවත් කියාගන්න බැරි මහා ලොකු හුදකලාවක, වේදනාවක හඬක්. දවසින් දවස මේ හිත් රිද්දන සිතාර් වාදනය අහලම ආයුෂ්ට සාධනා ගැන මාරම ගැඹුරු, පිස්සු හැදෙන ආදරයක් ඇති වෙලා තිබුණෙ. හැබැයි මේ දෙන්නා තාම වචනයක්වත් කතා කරලා නැහැ, මුණ ගැහිලා නැහැ. කොටින්ම ආයුෂ් කියලා කොල්ලෙක් තමන් දිහා බලාගෙන ඉන්න විත්තිය සාධනා දන්නෙත් නැහැ. කොටින්ම ඒ කෙල්ලගෙ නම සාධනාද කියලවත් ආයුෂ් දන්නෙ නැහැ. ආයුෂ් හැමදාම දකින්නේ සඳලුතලාවේ දිග ජනෙල් පේළිය අද්දර මල් පෝච්චි දෙක මැද, බිම වාඩි වෙලා තමන්ගේ සිතාරයේ තත් පිරිමදින ඒ රත්තරන් පාට රූපෙ විතරයි.

ආයුෂ් තමන්ගේ දුප්පත් කාමරේ ජනේලෙ අයිනට වෙලා හිතෙන් මවාගත්තා මේ තමයි ලෝකේ ඉන්න ලස්සනම, පිරිසිදුම වගේම අහිංසකම කෙල්ල කියලා. තමන් වගේ පොඩි රස්සාවක් කරන කොල්ලෙක්ට ඒ වගේ මාලිගාවක ඉන්න කුමාරිකාවක් කවදාවත් අයිති වෙන්නේ නැති බව දැන දැනත්, දවසක කොහොම හරි එයා ළඟට ගිහින් තමන්ගේ හිතේ තියෙන ආදරේ කියනවා කියලා එයා හීන මැව්වා. සාධනාගෙ ඒ නිශ්ශබ්දතාවය, බිම බලාගෙන සිතාර් එක ප්ලේ කරන අහිංසක ඉරියව්ව ආයුෂ්ගේ මුළු ජීවිතයම වෙනස් කරලා තිබුණෙ

“ඇයි එයා හැමදාම ඔච්චර දුකින් වගේ බිම බලන් සිතාර් එක ප්ලේ කරන්නේ?” ආයුෂ් හැමදාම හවසට තමන්ගෙන්ම අහගත්තා. හැමදාම ඉර බැහැගෙන යන හෝරාවට, සුපුරුදු ලා පාට කපු සාරියෙන් සැරසෙන සාධනා සඳලුතලාවට එනකම් ආයුෂ් මඟ බලාගෙන හිටියේ.

කාලය දවස්, සති විදියට වේගයෙන් ගෙවිලා යද්දී, ආයුෂ්ගේ අර පුංචි බෝඩිං කාමරේ ජනේලෙ අද්දර ඉඳගෙන ආයුෂ් තමනුයි සාධනායි එකට ඉන්න අනාගතයක් ගැන හීන දැක්කා.හැමදාම වගේ හවසට වලව්වේ සඳලුතලාව දිහා බලාගෙන ඉන්න එක ආයුෂ්ට නිකන්ම පුරුද්දක් නෙවෙයි, තමන්ගේ ජීවිතේ තිබ්බ දුක වේදනාව මහන්සිය අමතක කරන කාරණාවක් වුණා. සාධනාගේ සිතාරයෙන් ගලාගෙන එන දුක උනත් ලස්සන සංගීතෙ ආයුෂ්ගේ දුප්පත් පාලු හදවත සම්පූර්ණයෙන්ම පුරවලා තිබ්බේ මහමේරු ආදරේකින්.

හැබැයි, ටික දවසක් යද්දී ආයුෂ්ට එක දෙයක් මාරම තදින් දැනෙන්න ගත්තා. සාධනාගේ සිතාර් තනුවල වෙනදා තිබ්බ සන්සුන් ගතිය අතුරුදහන් වෙලා, ඒ වෙනුවට මාරම ලොකු බරක්, දරාගන්න බැරි වේදනාවක් හැංගිලා තියෙනවා වගේ එයාට තේරුණා. එයා සිතාරයේ තත් පිරිමදිද්දී, එයාගෙ දිග ඇස් දෙකෙන් කඳුළු බිංදු කම්මුල් දිගේ බිමට වැටෙනවා ආයුෂ් තමන්ගේ තුන්වෙනි තට්ටුවේ කොරිඩෝවේ කෙළවරේ ඉඳන් මාරම අපැහැදිලිව වුණත් පැහැදිලිවම දැක්කා. එයාගෙ මූණේ තිබ්බේ වෙනදාටත් වඩා මහා ලොකු හෙම්බත් වුණු, අසරණ පෙනුමක්.

ඒ විතරක් නෙවෙයි, සමහර දවස්වලට සාධනා එතන සිතාර් එක ප්ලේ කර කර ඉද්දී, වලව්ව ඇතුළෙන් මහා දරුණු පිරිමි කටහඬවල් ඇහෙන්න ගත්තා. කවුරු හරි මහා හයියෙන් කෑගහලා එයාට බනින සද්දේ, වචන පැහැදිලිව නොඇහුණත් ඒ කටහඬවල්වල තිබ්බ තර්ජනාත්මක ගතිය අල්ලපු බිල්ඩිමටත් මාරම හොඳට ඇහුණා. ආයුෂ් බලාගෙන හිටියේ මාරම පපුව පිච්චෙන වේදනාවකින්. 

“ඇයි ඒ මිනිස්සු මේ වගේ අහිංසක කෙල්ලෙක්ට මෙච්චර වද දෙන්නේ?” ආයුෂ් තමන්ගෙන්ම අහගත්තා. හැබැයි ඒ හැම දරුණු සද්දයක්ම ඇහෙද්දී වුණත්, සාධනා කිසිම සද්දයක් බද්දක් නැතුව, තමන්ගේ මහා නිශ්ශබ්දතාවය ඇතුළේ හැමදේම දරාගෙන, බිම බලන් සිතාර් එක ප්ලේ කරා විතරයි. එයා ඒ හැම වචනයක්ම, වේදනාවක්ම තමන්ගේ සිතාර් තත් අස්සේ හංගගත්තා.

ආයුෂ්ට මේ හැමදේම මාරම අභිරහසක් වුණා. සාධනා ඇයි කවදාවත් කාමරෙන් එළියට නොඑන්නේ? ඇයි හැමදාම එකම විදියට සඳලුතලාවේ බිම වාඩිවෙලාම ඉන්නේ? මේ හැමදේකම පිටිපස්සේ තියෙන සැකය ආයුෂ්ගේ හිත ඇතුළේ දවසින් දවස මහා ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරද්දී, වලව්වේ සඳලුතලාව උඩ මුළු පළාතක්ම කම්පා කරවන මහා දරුණු සත්‍යයක දෙවැනි පියවර ලියවෙන්න සේරම ලෑස්ති වෙලා තිබ්බා.

එදා හවස වෙනදාටත් වඩා මාරම පාලු, හුදකලා ගතියක් මුළු පළාත පුරාම වෙලාගෙන තිබ්බා. ආයුෂ් තමන්ගේ තුන්වෙනි තට්ටුවේ කොරිඩෝවේ කෙළවෙරේම තිබ්බ පුංචි කාමරේ ජෙන්නෙල අයිනට වෙලා, වලව්වේ සඳලුතලාව දිහා මඟ බලන් හිටියේ මාරම නොසන්සුන් හිතකින්. වෙනදා වගේම කපු සාරියෙන් සැරසිච්ච සාධනා, එයාගෙ කොණ්ඩේ මලුත් ගහගෙන මාරම හෙමින් සඳලුතලාවට ආවා. හැබැයි එදා එයාගෙ මුළු මූණම තෙත් වෙලා තිබ්බේ ඇස්වලින් ගලාගෙන ආපු කඳුළුවලින්.

එයා වෙනදා වගේම සඳලුතලාවේ බිම වාඩි වෙලා, තමන්ගේ වෙවුලන ඇඟිලිවලින් සිතාරයේ තත් පිරිමදින්න ගත්තා. එදා ඒ සිතාරයෙන් පිටවුණේ නාදයක් නෙවෙයි, හරියට තමන්ගේ මුළු ජීවිතයම විනාශ වෙලා ගිය ගැහැනියක්ගේ හදවතින් ආපු මහා ලොකු විලාපයක් වගේ සද්දයක්. ආයුෂ් ඒ දිහා බලාගෙන හිටියේ තමන්ගේ පපුව කෑලි කෑලිවලට කැඩිලා යනවා වගේ දැනුණු මහා ලොකු වේදනාවකින්.

ඔය විදියට විනාඩි කිහිපයක් යද්දී, එකපාරටම වලව්ව ඇතුළෙන් මහා දරුණු, ගොරෝසු පිරිමි කටහඬක් මුළු පළාතම දෙදරුම් කවමින් ඇහෙන්න ගත්තා! 

” තමුසෙට කී පාරක් කියන්නද ඔය කාලකන්නි සිතාර් එක ගහන එක නවත්තලා වහාම ඇතුළට එන්න කියලා. කොයි වෙලේ බැලුවත් ඔය මගුල තුරුල් කරගෙන ඉන්නෙ” ඒ සද්දෙට සාධනා එකපාරටම මාරම විදියට ගැස්සිලා ගියා කියලා ආයුෂ් දැක්කා. එයාගෙ අතේ තිබ්බ සිතාරය බිමට වැටෙන්නත් ගියා.

එයා තමන්ගේ සිතාරය බිම පැත්තකින් තියලා, හැමදාම වාඩි වෙලා හිටපු ඒ තැනින් මාරම අපහසුවෙන්, හෙමින් හෙමින් නැගිටින්න හැදුවා.

 අන්න ඒ තත්පරේදී ආයුෂ්ගේ මුළු ලෝකයම එකතැන නතර වුණා වගේ එයාට දැනුණෙ,

සාධනා සම්පූර්ණයෙන්ම නැගිටලා, තමන්ගේ කපු සාරිය හදාගන්න ඇඟ හරවද්දී තමයි ආයුෂ් මෙච්චර දවසක් තමන් නොදැක්ක දේ දැක්කෙ.

මෙච්චර දවස් තමන් මාරම ආදරෙන් බලාගෙන හිටපු, බිම වාඩි වෙලා සිතාර් එකෙන් තමන්ගේ හැම වේදනාවක්ම වහගෙන හිටපු ඒ අහිංසක කෙල්ල, මාස හත අටක විතර ගැබ්බර අම්මෙක් කියලා!

More Stories

Don't Miss


Latest Articles