පසළොස්වක මල් – 41

0
670

” අක්කේ..!” 

” මොකද කෙල්ලේ උනේ ?” 

” පොඩ්ඩක් අසනීප උනා අක්කේ. ඔයා කොහොමද දන්නේ ?” 

” අස්නක කෝල් කළා “

” ඔයාට ?” 

සුභාවී ඇමතුම සේම ඇගේ පිළිතුරද මිහිදුමීගේ විමතියට හේතු විය.

” හ්ම්ම්.. මගේ නම්බර් එක තිබිලා නෑ. මැසෙන්ජර් ගත්තේ. මට කිව්වා ඔයා අසනීපෙන්. ෆ්‍රී වෙලාවක චුට්ටක් කතා කරන්න පුලුවන් නං කියලා. “

” ආහ්.. පිස්සු අනේ එයාට..”

” මටත් හිතුණා. ජීවිතේට අස්නක වගේ කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක් ඒක. එයා ඔයා ගැන හිතනවා නංගි. එයා දන්නවා ඔයාට ඇඟේ අමාරුවට වඩා තියෙන්නේ හිතේ අමාරුවක් කියලා. මං හිතන්නේ එයා මගෙන් බලාපොරොත්තු උනේ ඔයාගේ හිත හදයි කියන එක. “

” මට දැන් හොඳයි අක්කේ. ප්‍රශ්නයක් නෑ. “

” මං හවස් වෙලා එන්නං “

” අනේ එපා ඕනෙ නෑ.. කරදර වෙන්නෙපා අක්කේ. “

” නංගි ..! මේ අහන්න. මං දැනුත් කියනවා. ඔයා ඔය හිත කරදර කරන් ඉන්නේ අනවශ්‍ය කාරණේකට. අස්නක මැරි කරපු බව ඔයා දැනන් හිටියා. වෙනස උනේ ඒ ඔයාගේ අක්කා වෙච්ච එක විතරයි. අනික අක්කා දැන් නෑ. ඒ නිසා ඕක ගැනම හිතලා හිත රිද්දගන්න එපා. ඔයා දැන් කොහොමත් මහවලතැන්න පවුලේ දුවෙක්. එච්චරයි. “

” ඒ උනාට මට මහා ගිල්ටි ෆීලින්ග් එකක් දැනෙනවා අක්කේ. මගේ අතින් ලොකු වරදක් උනා වගේ. “

” ඕක නිකන් ඔයාගේ හිතළුවක් විතරයි. ලස්සනට ජීවත් වෙන්න දරුවෝ . මේ ලෝකේ තමන් ආදරේ කරන මනුස්සයාවම ලැබෙන මිනිස්සු හරි අඩුයි. “

සුභාවීගේ ස්වරයේ ශෝකය මේ පසින් වූ ඈට හොඳින් දැනුණාය.

සිතුවිලි දහසක් අතර සිරවු මිහිදුමී සෙමින් සෙමින් තරප්පු පෙළ බැස මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය.

” කම්මැලිද දුමී..?” 

” නෑ ආන්ටී..”

” කම්මැලියි වගේ නං ටීවී රූම් එකට යන්න. ඔෆිස් රූම් එකේ කබඩ් එකක පොතුත් ඇති. “

ඈ එසේ පවසා තම්බා ගත් බිත්තර කිහිපයක් පොතු හැරීමට පටන් ගත්තාය.

” අනේ .. දුමී .. හොඳ කෙල්ල වගේ මට උදව්වක් කරන්න. “

” මොකද්ද ආන්ටී..?” 

” ලොකූට කතා කරලා අහන්න ලන්ච් වලට එනවද කියලා. ? පුලුවන් උනොත් එනවා කියලා ගියේ. “

මහීකා බිත්තර කටු මතින් ඇස ඉවතට නොගෙනම පැවසූ අතර ජංගම දුරකතනය අතෙහි තද කර ගත් තරුණිය මුළුතැන්ගෙයින් පිටතට පැමිණියාය.

නාද වන ජංගම දුරකතනයේ ඇමතුම් රාවයට හෘදස්පන්දනයද ක්‍රම ක්‍රමයෙන් ඉහල යන ආකාරයක් ඇයට දැනිණි..

” හෙලෝ..! “

සිහි එළවා ගත් පළමු තත්පරයේදී ඈ වේගයෙන් ඇසිපිය සැළුවාය.

” හෙලෝ..!” 

” හෙ.. හෙලෝ.. මං..”

” දන්නවා. “

” ආ.. ආන්ටී මහීකා අහන්න කිව්වා ලන්ච් වලට එනවද කියලා.?” 

” අම්මා විතරද මං එනකන් බලන් ඉන්නේ ?” 

යටි තොල් පට තද කර සපා ගත්තා විනා ඈ පිළිතුරක් නුදුන්නාය.

” අම්මට කියන්න.. , එන්න තමයි හිටියේ. ඒත්.. දැන් එන්න වෙන්නෑ කියලා. “

” ඇයි ඒ..?” 

” උදේ ආපු වැඩේ තාම ඉවර නෑ. “

” හා.. මං ආන්ටිට කියන්නම් “

” දුමී..!” 

” ආ.. ?” 

” දැන් කොහොමද ?” 

” හොඳයි “

” හොඳටම ?” 

” ඔව්. “

” එහෙනං හවස මාත් එක්ක එළියට යන්ද?” 

” ආ..? මං..?”

” නැතුව අපේ ගෙදර වෙන දුමී කෙනෙක් නෑනේ ? “

” එක්ස්කියුස් මී සර්.. “

ඔහුට පසෙකින් ඇසුණු හඬ ඇගේ පිළිතුර ප්‍රමාද කළේය.

” මං ඒක චෙක් කරලා දෙන්නං “

දුරකතනය මුව තබාම පැවසූ පණිවිඩය මේ පසටද හොඳින් ඇසුණි.

” බි.. බිසීනේ.. ? මං තියන්නං “

සමුගැනීමකට ඉඩක් නොතබාම ඈ දුරකතනය විසන්ධි කර දමා කොට්ටයක් මත මුහුණ තද කර ගත්තාය.

” මෙයා.. මෙයා තමා .. මෙයා තමා ගවුමක් ඉල්ලලා ඇඬුවේ.. මෙයා නිසා තමා තාත්තා යන්න ගියේ. එහෙම ගියේ නැත්තන් තාත්තා හැප්පෙන්නෑ.. මූසලී.. උඹ තමයි මට මගේ තාත්තව නැති කළේ.. 

මූසලී.. මූසලී.. උඹ මගේ තාත්තාව මරා ගත්තා. මං කැම්පස් යනකන් තාත්තා කොච්චර ආසාවෙන් බලන් හිටියද ? උඹ ඒ හැමදේම නැති කළා..

මූසලී.. මූසලී.. මූසලී.. හැතිරී…

මගේ තාත්තාව මරා ගත්‍තා මදිවට මගේ මිනිහාවත් උඹ ඒ අස්සේ අල්ල ගත්තද?”

අවුල් වූ කෙස් කළඹකින් සහ කෝපයෙන් පිරි රක්ත පැහැ වූ දෑස් වලින් තමා වෙතට කඩා පැන ගත් සිංදුමීගේ රෞද්‍ර මුහුණ අඩ සිහිනයෙන් මෙන් දුටු මිහිදුමී ක්ෂණිකව තිගැස්සී යහන මත හිඳ ගත්‍තාය. මුළු සිරුරම දහදියෙන් පෙඟී ගොස් තිබූ අතර ඈ ඉකි ගසමින් වේදනාවෙන් හැඬුවාය. 

” සමන් දෙයි හාමුදුරුවනේ..! අනේ ඇයි මාව මේ තරම්ම අසරණ විදිහට ඉපැද්දුවේ..?” 

හූල්ලමින් හඬා වැටුණු ඈ විගසින් පසෙක වූ දුරකතනය අතට ගත්තාය.

” හවස මාත් එක්ක එළියට යන්ද?” 

යළි යළිත් ඔහුගේ වදන් සවන අසල තැවරෙද්දී මුළු නිදන කාමරයම තමා වටේ භ්‍රමණය වනවාක් මෙන් ඈට දැනිණි. සතුට , සොම්නස , ප්‍රීතිය සියල්ලම තමා වෙතින් දුරුව යද්දී ඈ වෙළා ගත් ගන අන්ධකාරයක් සහ රෞද්‍ර වූ සිංදුමීගේ උවනත් , සවන අසල දහස් සංඛ්‍යාත හඬින් ඇසෙන මූසලී නම් ස්වරයත් ඇගේ හදවත වැඩි වැඩියෙන් බිඳවමින් තිබුණි. යහනේ මුල්ලකට වී දෑතම දෙසවන මත තබා තද කර ගනිමින් ඉකි ගසා බොහෝ වේලාවක් හඬා වැළපුණු තරුණිය වෙව්ලන දෑතින් දුරකතනය මත දෑඟිලි යැව්වාය. හැකි උපරිම අයුරින් හැඬුම දරාගත් ඈ දුරකතනය සවනට තද කර ගත්තාය.

” දුමී..!” 

” මා.. මාමේ..!  ඔයා කොහෙ හරි යන ගමන්ද ?” 

” මං පානදුර හොස්පිට්ල් එකට යන ගමන් දුමී. දැන් හොරණ පහු උනා විතරයි. “

” මා.. මාමේ..! ඔයාට දැන් මෙහෙට එන්න පුලුවන්ද ?”

” දුමී..! ඔයා ප්‍රශ්නෙකද ?”

ඇට , ලේ , මස් , නහර වලට කා වැදීමට රුධිර බන්ධනයක් අවශ්‍ය නැත. භරණගේ හදවත  මිහිදුමී කෙරේ උපන් දුහීතෲ ස්නේහයෙන් කැළඹී ගියේය. ඇගේ හඬ ස්වරයෙන්ම ඇගේ හදවතේ වේදනාව ඔහුට දැනුණේය.

” මාමේ..!” 

නොහඬා ඉන්නට කෙතරම් උත්සාහ ගත්තද භරණගේ හඬ ඇසෙත්ම ඇගේ හැඬීම දෙගොඩ තලා ගැලිණි.

” දු.. දුමී.. මගෙ රත්තරනේ.. ඇයි මේ..?” 

වහා මාර්ගය පසෙක ධාවනය වෙමින් උන් මෝටර් රථය නතර කළ භරණ වෙව්ලන ස්වරයෙන් ඇගෙන් පෙරළා ප්‍රශ්න කළේය.

” මට ගෙදර යන්න ඕනේ මාමේ.. අනේ ඇවිත් මාව එක්කන් යන්නකෝ…”

ඈ හැඬුම් අතරින්ම පිළිතුරු දුන්නාය. 

” වැඩිම උනොත් විනාඩි හතළිස් පහයි. මං එනවා දුමී.. නාඬා ඉන්න…” 

එපමණකි. ප්‍රශ්න , පිළිතුරු කිසිවක් නොමැත. ඇයට මේ මොහොතේ ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ කුමක්ද කුමන අවස්ථාවක සිටියද ඔහු එය නොපිරිහෙලා ඉටු කරන්නේය. ඉදින් යන්න ගිය ගමන මඟින් හැරී භරණගේ මෝටර් රථය වේගයෙන් නුගේගොඩ බලා ඉගිල්ලුණි. ආයාසයෙන් ඉහලට ඇද ගන්නා හුස්ම තද කර සිරගත් හැඟීම භරණගේ පැමිණීමේ බලාපොරොත්තුවෙන් යම්තාක් දුරකට ලිහිල් වී ගිය අතර ඈ නැවත වතාවක් යහන මත වකුටු වූවාය.

” දුමී.. ! දුමී..!” 

බොහෝ වේලාවක් හූල්ලමින් උන් තරුණිය හට සිටි ආකාරයට නින්ද ගොස් තිබිණි. 

” එන්න භරණ. “

මහීකාගේ හඬට වහා අවදිව යහන මත හිඳ ගත් මිහිදුමී තම එකම ගැලවුම්කරුවා දෙස අපේක්ෂා සහගතව බැලුවාය.

” දුමී.. ! මොකද ?”

” ඊයේ ඉඳන් ටිකක් සනීප නෑ භරණ. සුදු පුතා බෙහෙත් වගයක් දුන්නා. දැන් නං ගොඩක් අඩුයි. “

” එහෙමද ? මොකෝ එක පාරට උනේ ?”

හදවතේ ඇවිළෙනා ගිනි කන්ද බොහෝ අපහසුවෙන් පිටතට නොපෙන්වා සිටි භරණ යහන මත හිඳ ගනිමින් මහීකා ඉදිරියේ සාමාන්‍ය වීමට බොහෝ උත්සාහ දැරුවේය.

” කතා කර කර ඉන්නකෝ.. මං බොන්න මොනාහරි හදන්නම්”

මහීකා පිටව යන තෙක් හුස්ම අල්ලා සිටි භරණ ක්ෂණිකව මිහිදුමී දෙසට හැරුණේය.

” මොකද උනේ ?” 

ඔහු වහා ඇගේ දෝතින්ම අල්ලා ගත්තේය.

” මාව ගෙදර එක්කන් යන්න මාමේ..”

බලාපොරොත්තු , අපේක්ෂා සියල්ල බිඳී ගිය , සතුට , සොම්නස , ප්‍රීතිය පළා ගිය පරාජිත උවනින් ලැබුණු පිළිතුරට තවත් කිසිවක් ප්‍රශ්න නොකෙරූ භරණ සෙමින් ඇගේ හිස මත තම අත තැබුවේය.

” ලෑස්ති වෙන්න දුමී.. ! අපි යං..”

” කොහොමත් මෙයා රෙස්ට් කරන්න එපැයි මිසිස් විජේසිංහ. අද හෙට කැම්පස් යන්න වෙන එකකුත් නෑ. මෙහෙම අසනීපෙන් ඉන්නවා දැක්කම මටත් දාලා යන්න හිතක් නෑ. අම්මාත් අඬනවා එක්කන් එන්න කියලා. ඒ නිසා මං මේ දවස් දෙක ගෙදර එක්කන් ගිහින් පස්සේ ආයෙ එක්කන් එන්නම්. “

එතරම් කල් සාත්තු සප්පායම් කොට තමාගේ දියණියක මෙන් රැක බලා ගැන්මට වෙහෙස වූ මහීකාගේද සිත නොතැලෙන ආකාරයට මිහිදුමීව රැගෙන යාමට අවශ්‍ය බව වටහා ගත් භරණ ඉතා සංයමයෙන් පැවසුවේය.

” අයියලා දෙන්නම හවස ඇවිල්ලා දැන් හොයයි.”

” මං පරිස්සමට ගිහින් එන්නං ආන්ටී.. දැන් නොගියොත් හෙට උදේම අම්මා මෙහෙ ඉඳීයි. “

” හ්ම්ම්.. අම්මලනේ පුතේ.. දරුවෝ වෙනුවෙන් ඇවිළෙන්නැතුව වෙන කා වෙනුවෙන් ඇවිළෙන්නද ? කමක් නෑ යන්න. ලෙඩින් කිව්ව නිසා විශාඛා අක්කා පිච්චි පිච්චි ඇත්තේ දැන් “

කෙසේ හෝ මහීකාව සමනය කර ගත් භරණ හා මිහිදුමී ඈටත් , සරෝජාටත් සමුදී විජේසිංහ නිවසින් පිටත් වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here