ආදර මල්වල පාට කියන්නද? – 25

0
2788

කොළඹ හතේ මහ ලොකු නෑදෑයෝ හැමෝම එකතු වෙන ඒ ග්‍රෑන්ඩ් පාටි එක තියෙන දවස උදා වුණේ වලව්වම කලබල ගොඩක ගිල්ලලා දාන ගමන්.

 ආච්චි අම්මාගේ ඒ ශාක්‍ය වංශෙ නෑදෑ සනුහරය ඉස්සරහා සතපහකට කොන් වෙන්න බෑ කියලා ආකර්ෂා හිතාගෙන උන්නා. ඒ හන්දාම කෙල්ල එදා වෙනදා වගේ නෙවෙයි, මාරම ලස්සනට හැඩවැඩ වෙන්න තීරණය කරා.

ආකර්ෂා තමන්ගේ දිලිසෙන කළු පාට දිග කොණ්ඩෙ එක පැත්තකට කරලා ලස්සනට පීරල හෙයා ස්ටයිල් එකක් දැම්මෙ යූ ටියුබ් වීඩියෝ එකක් බලන ගමන්. රෑ වරුවකට ගැලපෙන ලයිට් මේකප් එකක් දාලා, තමන්ගේ රූපයට ගතු පෙනුමක් දෙන තද නිල් පාට සිල්ක් සාරියක් කෙල්ල එදා ඇඳගත්තා. සාරි පොට උරහිස උඩින් වැටිලා තියෙද්දී, බෙල්ලට දාපු පුංචි මාලයත් එක්ක කෙල්ල හරියට නිකන් සිතුවමකින් මතු වුණු සුරංගනාවියක් වගේ තමයි ඇත්තටම පෙනුණෙ. අන්තිමට කණ්ණාඩියෙන් තමන්ගේ රූපය දිහා බලපු ආකර්ෂාටම තමන් ගැන හිතුණේ මාරම ආඩම්බරයක්.

“හ්ම් දැන්නම් ඉතින් කොළඹ හතේ නෙවෙයි, මොකා ආවත් කමක් නෑ කාටවත් මට මුකුත් කියන්න බෑනෙ” කෙල්ල තමන්ටම කියාගෙන හිනාවුණා. හැබැයි ලොකුම සෙල්ලම පටන් ගත්තේ කෙල්ල කාමරේ දොර ඇරලා සාලයට අඩිය තබද්දීමයි.

කවීන් ඒ වෙලාවේ තමන්ගේ සූට් එකත් ඇඳගෙන, අත් ඔරලෝසුව ලෑස්ති කරන ගමන් සාලේ මැදට ආවේ මාරම හදිසියෙන්. හැබැයි දොර ඇරගෙන සාලයට ආපු ආකර්ෂාව දැකපු තප්පරෙන් මිනිහා හිටිය තැනම ගල් ගැහුනා කිව්වොතින් හරියටම හරි. කවීන් තමන්ගෙ අතේ බැඳලා තිබිච්ච අත් ඔරලෝසුව හද හද තිබ්බ ඇඟිලි එකපාරටම නතර වුණේ තමන්ගේ ඇස් දෙක අදහාගන්න බැරුව වගේ.

වෙනදට කාමරේට වෙලා, ඩෙනිම් කලිසමකුයි ටී-ෂර්ට් එකකුයි ඇඳගෙන, කොණ්ඩේ උඩට කරලා ගැටගහගෙන, මූණ පුරා පාට ගාගෙන ඉන්න ඒ දඟකාර කෙල්ල වෙනුවට මේ ඉස්සරහා ඉන්නේ කවුද කියලා මිනිහට හිතාගන්න බැරි වුණා. සාරි පොට අස්සෙන් පෙනෙන කෙල්ලගෙ හීනි වයින්  ග්ලාස් එකක් වගේ ඉණයි, හැඩකාර මූණයි දැක්කම කවීන්ගේ පපුව නිකන් එකපාරටම ගැස්සිලා ගියා වගේ දැනුණා. මිනිහට එකපාරටම හීන් දාඩිය දාලා, උගුර කට වේලිලා ගියේ ආකර්ෂාව කවදාවත් එච්චර ලස්සනට බලන්න කෙල්ල බලාපොරොත්තු උනේ නැති හන්දා.

“මොකද හලෝ හොල්මනක් දැක්කා වගේ බලන් ඉන්නේ? මං කැතයිද?” ආකර්ෂා කවීන් ළඟට ඇවිත් ඇස් දෙකත් නටවලා, යාන්තමට කැරකැවිලා අහද්දී කවීන් ඉක්මනට තමන්ගේ මූණේ තිබ්බ මවිතය හංගගන්න හැදුවා. මිනිහා බොරුවට උගුර පාදලා, අහක බලාගත්තේ තමන්ගේ හිත ඇතුළේ වෙන පෙරළිය කෙල්ලට අහුවෙයි කියන බයටයි.

“පුහ් කැතයිද කියලා අහන්නේ? කවුද ඕයි තමුසෙට ඔය වගේ සාරියක් අඳින්න කිව්වේ? ආච්චි අම්මා කෙනෙක් වගේ. කැතයිද කියලා අහන්නෙ අහන්න දෙයක් නෑ කැතයි තමයි. මාර කැතයි” කවීන් මාරම අමාරුවෙන් සීරියස් ලුක් එකක් දාගෙන බොරුවට කිව්වට, මිනිහගේ ඇස් තිබුණේ තවමත් ආකර්ෂාගේ මූණ ළඟමයි.

“අනේ මේ යනවා හලෝ යන්න! තමුසෙට ඉරිසියයි මං ලස්සනට ඉන්නවට” ආකර්ෂා කටත් ඇද කරලා, එතන තිබ්බ උස හීල්ස් සපත්තු දෙකට කකුල් දෙක දාගත්තා. හැබැයි ඊටපස්සේ වෙන්න යන දේ ගැන කෙල්ල සතපහකට හිතුවේ නෑ. කොහොමහරි ආකර්ෂාගේ මේ ලස්සන දැකලා කවීන්ගේ ඔළුව නිකන් විකාර වෙලා වගේ තමයි තිබුණේ.

“අප්පේ මේකේ උස!” ආකර්ෂා හීල්ස් සපත්තු දෙකත් දාගෙන අඩියක් ඉස්සරහට තියන්න හදද්දීම වගේ තමයි කෙල්ලට තමන්ගේ බැලන්ස් එක නැති වෙනවා වගේ දැනුණෙ.

කොළඹ හතේ ලේඩි කෙනෙක් වෙන්න ගිහින් මෙච්චර උස අඩියක් තියෙන සපත්තු දෙකක් දාගත්ත එක ගැන කෙල්ලට  මාරම පසුතැවීමක් ඇති වුණෙ අන්න එවෙලෙ. පාටි එක තියෙන ලොකු සාලයට යන්න කියලා ආකර්ෂා සාලේ මැදින් අඩිය තබද්දීම, එකපාරටම සාරි පොටේ පහළ කෙළවරක් අර උස අඩියක පැටලුනා.

“අයියෝ”

කෙල්ලට කියවුණේ තමන්ව කෙළින්ම බිමට ඇදගෙන වැටෙන්න යනවා දැනෙද්දියි. ආකර්ෂා ඇස් දෙකත් පියාගෙන බිම පස්ස බිම ඇනිලා වැටෙනකම්ම බලාගෙන උන්නු ඒ තත්පර ගාන ඇතුළත, ක්ෂණිකව ඇක්ශන් ජැක්සන් වෙච්ච කවීන් කෙල්ලව බිම වැටෙන්න නොදී තමන්ගේ ාත් දෙක දික්කරලා ආකර්ෂාගේ හීනි ඉණ වටේ අත දාලා තද කරලා අල්ලගත්තා.

කවීන් තමන්ගේ හයිය තියෙන අත් දෙකෙන් කෙල්ලව එකපාරටම තමන්ගේ පැත්තට ඇදලා ගත්තා. ඒ වේගෙට ආකර්ෂා කැරකිලා වගේ ඇවිත් කෙළින්ම වැදුණේ කවීන්ගේ ඒ පළල් පපුවේ. 

මුළු සාකෙ පුරාම මහා ලොකු සයිලන්ස් එකක් පැතිරිලා ගියා. ආකර්ෂාගේ අත් දෙක නොදැනීම කවීන්ගේ ශර්ට් එකේ කර හරියෙන් තද වෙලා තිබුණා. කෙල්ල ගැහෙන පපුව එක්ක හෙමින් සැරේ ඇස් ඇරලා බලද්දී, කවීන් තමන් දිහාම මාරම ලෙන්ගතු, ඒ වගේම දැඩි බැල්මකින් බලාගෙන ඉන්නවා දැක්කා. දෙන්නාගේ මුහුණු අතර තිබුණේ අඟල් කීපයක විතර පුංචි පරතරයක්. කවීන්ගේ උණුසුම් හුස්ම පොද තමන්ගේ මූණට වදිද්දී ආකර්ෂාගේ මුළු ඇඟම සීතල වෙලා ගියා වගේ කෙල්ලට දැනුණෙ.

කවීන්ටත් ඒ වෙලාවේ තමන්ගේ පාලනය නැති වෙලා වගේ උන්නේ. සාරි පොට අස්සෙන් අහුවෙච්ච ආකර්ෂාගේ හමේ  රස්නෙ තමන්ගේ අත්ලට දැනෙද්දී, කෙල්ලගෙ මූණේ තිබ්බ ඒ බය වෙච්ච හුරතල් පෙනුම දැක්කම මිනිහට කෙල්ලව තවත් තමන්ගේ පපුවට තද කරගන්නයි හිතුණේ. හැමෝම ඉස්සරහා මාරම Cute වගේම ලවින් විදිහට මේ දෙන්නා එකිනෙකා දිහා බලාගෙන බදාගෙන උන්නු ඒ මොහොතෙ දෙන්නටම දැනුනෙ නිකන් හරියට කාලෙ එක තැනක නතර වෙලා වගේ.

“ පරිස්සමෙන් ඇවිදින්න බැරිද, මෝඩී,” කවීන්ගේ කටහඬ වෙනදා වගේ රළු වුණේ නෑ. ඒකේ තිබුණේ මාරම මෘදු, ආදරණීය ගතියක් කියන එක කෙල්ලට තේරුණා

“මං… මං හිතලා කරේ නෑනේ,” ආකර්ෂා මාරම අහිංසක විදිහට කවීන්ගේ පපුව අස්සේ ඉඳන්ම මිමිණුවා.

අන්න එවෙලෙ තමයි “හැච්චිස්!” ගාලා කවුරුහරි සද්දෙට හචිමක් යැව්වේ.

එකපාරටම පැත්තකින් ඇහිච්ච ඒ හචිමෙ සද්දෙට දෙන්නම ගැස්සිලා වගේ එකිනෙකාගෙන් ඈත් වුණා. ආකර්ෂා කලබලෙන් සාරිය හදාගන්න ගමන් අහක බලාගත්තේ මූණ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙද්දියි.

දෙන්නාම හැරිලා බලද්දී මෙන්න දොරකඩ ළඟ ලේඩි කලම්බු සෙවන්, ඒ කියන්නේ ආච්චි අම්මා ඇතුළු නෑදෑයෝ රොත්තක්ම කටවල් කල්දේරම් කරගෙන බලාගෙන ඉන්නවා!

ආච්චි අම්මා  ගල් ගැහිලා වගේ කවීන් දිහා බලන් උන්නේ මේ වෙච්ච දේ අදහාගන්න බැරුව වගේ. අන්න එවෙලෙ නම් කවීන්ට හිතුණේ ලැජ්ජාවට පොළොව පළාගෙන යන්න.

නෑදෑයෝ ඔක්කොම හිනාවෙද්දී, කවීන් ඉක්මනට මූණ සීරියස් කරගෙන ආකර්ෂාගෙන් තවත් අඩියක් ඈතට වුණා. ආකර්ෂාත් ලැජ්ජාව වහගන්න වගේ බිම බලාගෙන, තමන්ගේ සාරි පොට ඇඟිලිවලින් පොඩි කරන්න ගත්තා. ආච්චි අම්මාගේ මූණ නම් තිබුණේ හරියට අකුණක් ගහන්න ඔන්න මෙන්න වගේ. ඒත් ආපු නෑදෑයෝ හැමෝම ඉස්සරහා ඒ යක්ෂ මූණ මාරම අමාරුවෙන් හංගගත්ත උන්දෑ, බොරු හිනාවක් මූණට ආරූඪ කරගත්තා.

“හරි හරි සංදර්ශනේ දැන් ඉවරනෙ දැන් හැමෝම සාලෙට යමු” ආච්චි අම්මා කිව්වෙ තරහ හිතේ තියාගෙන විත්තිය කෙල්ලට නොතේරුණා නෙවෙයි.

පාටි එක පටන් අරන් පැය එකහමාරක් විතර ගත වෙලා ගියේ මාරම ලස්සනට. මුළු සාලෙම ලයිට් වලින් එළිය වෙලා තිබ්බෙ. ලස්සන සින්දු සද්දයක් බැක් ග්‍රවුන්ඩ් එකේ ඇහෙද්දී, ශාක්‍ය වංශෙ නැයො සෙට් එක වයින් වීදුරුත් අතේ තියාගෙන එක එක බිස්නස් කතා, ගොසිප් කතා කියවමින් හිටියා. කවීන් ආකර්ෂාව තමන්ගේ ළඟින්ම තියාගෙන උන්නේ ආයෙමත් අර වගේ මොන හුට්ටප්පරයක් වෙයිද කියන බයටමයි. හැබැයි ඒක දැක්ක මිනිස්සු නම් හිතුවෙ “කෙල්ලව තප්පරේකට තමන්ගෙන් ඈත් කරන්න කොල්ලා කැමති නෑ” කියලා. 

 “දැන් කකුල රිදෙන්නේ නෑනේ?” කවීන් වයින් වීදුරුව තොල ගාන ගමන් හීන් සැරේ ඇහුවා.

“නෑ… මාව අර විදිහට අල්ලගත්ත හින්දා හොඳයි. නැත්නම් අද මගේ කොන්ද කුඩු” ආකර්ෂා කපටි හිනාවක් දාලා කවීන්ගේ මූණ දිහා බලද්දී, කවීන්ට ආයෙමත් ආකර්ෂගෙ හමෙන් තමන්ගෙ ඇඟිලි තුඩු වලට සංසරණය වෙච්ච උණුහුම මතක් වෙලා පපුව කිති කැවිලා වගේ ගියා.

කොහොමහරි පාටි එක උපරිමයටම නැගලා ගිහින්, හැමෝම මාරම හැපි මූඩ් එකක ඉද්දී තමයි කවුරුවත් බලාපොරොත්තු උනේ නැති කෙනෙක් පාටි එකට ආවෙ.

එකපාරටම වලව්වේ මේන් හෝල් එකේ මහා ලොකු දොරවල් දෙක දෙපැත්තට ඇරුණා. ඒ එක්කම සාලේ තිබ්බ මියුසික් සද්දයයි, නෑදෑයන්ගේ කතන්දර සද්දයයි එකපාරටම නතර වෙලා මුළු වලව්ව පුරාම ලොකු සයිලන්ස් එකක් පැතිරිලා ගියා.

දොරකඩ ළඟ හිටගෙන උන්නේ මීට කලින් ආකර්ෂා කවදාවත් වලව්වේදී දැකලා නැති, ඒ වගේම මේ පාටි එකට එයි කියලා කවීන්වත් හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here