යාළුවෝ හැමෝම එකතු වෙලා එයාට දාලා තිබ්බ නම තමයි “සීනි පොල් කොහු”.
මුල් දවස්වල කැම්පස් එකේ පෙම් බංකුව උඩ වාඩි වෙලා එයා එනකං බලන් ඉන්නකොට සචින්ත මාව හම්බෙන්න ආවේ හැමදාම මාරම අමුතු විදියේ තෑග්ගක් අරගෙන. ඒ වෙන මොකුත් නෙවෙයි, අර පාරවල් අයිනේ ලී කූඩුවල දාලා, ටිං ටිං ගාලා සීනුව හොලව හොලව විකුණන රෝස පාට බොම්බයි මොටයි. නැත්නම් අපේ පැතිවල කියන විදියට “සීනි පොල් කොහු”. මුල් කාලෙ මට ඒක මාර ලොකු දෙයක් වුණා. කොහොමත් ලව් කරන මුල් කාලෙ පොඩි හූනු බිජ්ජක් වගේ දෙයක් අරගෙන ආවත් අපිට ඒක නිකන් මැණික් ගලක් වගේනෙ පේන්නෙ. ආදරේ මුල් කාලෙ ඕන පොඩි දෙයක් අපිට ලොකුවට තමයි පේන්නෙ.
කැම්පස් එකේ අනිත් හැම කෙල්ලෙක්ගෙම කොල්ලෝ උන්ව බලන්න එද්දී ලස්සන බොක්ස්වල දාපු චොක්ලට්, ටෙඩී බෙයාර්ස්ලා, නැත්නම් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් අරන් එද්දී, සචින්ත හැමදාම ආවේ පත්තර කෑල්ලක ඔතපු සීනි පොල් කොහු පාර්සලයක් අතින් අරන්. කල් යද්දි මට ඕක මහ එපා වුණා. මොකෝ සචින්ත ඈතින් එනකොටම මගේ යාළුවෝ ටික හිනාවෙන්න පටන් ගන්නවා. “අන්න උඹේ සීනි පොල් කොහු ප්‍රේමවන්තයා එනවා” කියලා උන් මට රහසින් ඇඟිල්ල දික් කරලා විහිළු කරන්නේ මාව මාරම විදියට නෝන්ඩි කරලා. මුල් කාලෙ මං ඕව ඉවසන් උන්නට, කල් යද්දි මට තව දුරටත් ඒක ඉවසගෙන ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.
මං යාළුවෝ ඉස්සරහා ලැජ්ජාව වහගන්න, මගේ හිත ඇතුළෙන් ආපු ඒ මදිපුංචිකම හංගගෙන හිනාවෙන්න හැදුවා.
“අනේ මන්දා බං, මූට වෙන කෑමක් පේන්නේ නෑනේ… මහ නාකි මිනිහෙක් වගේ” කියලා මං උන් එක්ක එකතු වෙලා සචින්තට හිනා වුණා. මට ඕන වුණේ නැහැ මගේ යාළුවෝ ඉස්සරහා මං පල්ලෙහාට වැටෙනවා දකින්න. මට ඕන වුණේ නැහැ සචින්තගේ මේ මෝඩ පුරුද්ද හින්දා මගේ තත්ත්වෙ නැති කරගන්න.හැබැයි ටික ටික දවස් ගෙවෙද්දි මට ඕක මගෙ හිත ඇතුලෙ විතරක් තියාගෙන ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.
සචින්ත ලස්සනට ඇඳලා, පෙනුමට හිටපු කොල්ලෙක්. හැබැයි එයා මාව හම්බෙන්න එද්දි අරගෙන එන සීනි පොල් කොහු පාර්සලේ මගේ ඇස්වලට පෙනුණේ මාව සමාජෙ ඉස්සරහා බාල්දු කරන ලේබල් එකක් විදියට. හැමදාම හම්බෙන වාරයක් පාසා, එයා මාරම ආදරණීය විදියට හිනාවෙලා මගේ අතට ඒක දෙන හැම තත්පරයකම මගේ හිත ඇතුළෙන් කෑගැහුවේ “ඇයි ඔයාට මාව ලස්සන කැෆේ එකකට එක්කන් යන්න බැරි? ඇයි ඔයාට මට වටින තෑග්ගක් අරන් දෙන්න බැරි? මොන රෙද්දටද මෙ හැමදාම සීනි පොල් කොහු මගුලක් උස්සගෙන එන්නෙ” කියලා.
සචින්තට තිබ්බේ මාරම සන්සුන්, හැඟීම්බර හිතක්. හරියට වස්සාන සිහිනය පොතේ කසුන් වගේ පුදුමාකාර අහිංසක මනුස්සයෙක්.
එයා මං දිහා බලාගෙන හිටියේ මුළු ලෝකෙම මම විතරයි වගේ. හැබැයි ඒ හැමදේටම වඩා මට ලොකු වුණේ මගේ වටේ ඉන්න මිනිස්සු මං ගැන, මගේ කොල්ලා ගැන හිතන විදිය. යාළුවෝ දාපු ඒ “සීනි පොල් කොහු” කියන නම මගේ හිත අස්සෙ රිදුම් දෙන්න ගත්තේ මගේ ආත්මාර්ථකාමීකමයි ආඩම්බරකමයි ඉස්සරහා සචින්තගේ ඒ අහිංසක ආදරේ වැහිලා යද්දී. මට සචින්තගෙ ආදරෙත් නිකන් මහ වදයක් වගේ දැනුණෙ. ඒ සීනි පොල් කොහු වල තියෙන අර අතේ ඇලෙන ගතිය වගේ සචින්ත ගැන තිබ්බ තරහ මගෙ පපුව අස්සෙ ඇලි ඇලි තිබ්බා.
කාලය ගෙවිලා ගියත් සචින්තගේ ඔය සීනි පොල් කොහු පුරුද්ද නම් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ. දවසක් දෙකක් නෙවෙයි, හැමදාම හම්බෙන්න එද්දී පත්තර කෑල්ලක ඔතපු රෝස පාට සීනි පොල් කොහු ටිකක් අතේ තියාගෙන එන සචින්තව දකිද්දී මගේ හිත ඇතුළෙන් ආවේ පුදුම කේන්තියක්.
කැම්පස් එකේ යාළුවොන්ගේ විහිළු තහළු දවසින් දවස වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. “මොකද බං සචින්ත උඹව බලන්න එන හැම වෙලාවකම සීනි පොල් කොහු උස්සගෙන එන්නෙ?” කියලා උන් මූණටම අහද්දී මට දැනුණේ මාර ලැජ්ජාවක්. යාළුවොන්ගේ කොල්ලෝ උන්ව කාර්වලින් ඇවිත් පික් කරගෙන ලස්සන රෙස්ටුරන්ට්වලට, කැෆේවලට එක්කන් යද්දී, සචින්තත් මාව එහෙම තැන්වලට එක්කරගෙන ගියා. හැබැයි එයාගෙ මේ සීනි පොල් කොහු කාරයෙක් දැක්කම සීනි පොල් කොහු ගන්න පුරුද්ද නෙවෙයි මලාට වෙනස් වුණේ. ෆිල්ම් එකක් බලන්න ගියත් කානිවල් එකකට ගියත්, මොන මගුලෙ ගියත් පාරෙ සීනි පොල් කොහු කාරයෙක් දැක්කම සචින්තව නළියන්න ගන්නවා. සීනි පොල් කොහු අරගෙන මිසක්කා මිනිහා නෙවෙයි පස්ස බැලුවෙ.මට ඕන වුණේ නැහැ සචින්තගේ මේ පිස්සු වැඩ හින්දා මගේ යාළුවෝ ඉස්සරහා තවදුරටත් චාටර් වෙන්න.
එදා සිකුරාදා හවසක්.
කැම්පස් එකේ ගේට්ටුව ළඟ සචින්ත මං එනකම් බලාගෙන හිටියා. වෙනදා වගේම එයාගේ අතේ අර පත්තර කොළේ ඔතපු පාර්සලේ තියෙන විත්තිය මං දැක්කා. මාව දැක්ක ගමන් සචින්ත මාරම ලස්සන, අහිංසක හිනාවකින් මගේ දිහා බලලා ඒ පාර්සලය මගේ දිහාවට දික් කරා.
හැබැයි ඒ වෙලාවේ මගේ ඔළුව අස්සේ දුවමින් තිබ්බේ දවල් ලෙක්චර් එක වෙලාවේ යාළුවෝ මට කියපු නෝන්ඩි කතා විතරයි. මගේ කන්ට්‍රෝල් එක සම්පූර්ණයෙන්ම නැති වුණා. සචින්ත ඒ පාර්සලය මගේ අතට දෙන්න හදද්දීම මං ඒක මාරම කේන්තියකින් උදුරලා අරන් පාර අයිනේ තිබ්බ කුණු බාල්දිය දිහාවටට විසි කරලා දැම්මා.
“ඇති සචින්ත… දැන් ඕක මට ඇති වෙලා තියෙන්නේ” මං කෑගැහුවේ වටපිටාවේ හිටපු හැමෝටම ඇහෙන්නත් එක්ක. මොකෝ මට අනුව මං හරි එයා තමයි වැරදි.
සචින්ත එකපාරටම හොල්මන් වුණා වගේ මං දිහා බලන් හිටියා. එයාගේ මූණේ තිබ්බ අහිංසක හිනාව තත්පරයෙන් නැති වෙලා ගියේ මගෙ හැසිරීම ඉස්සරහා.
“ඔයාට පිස්සුද සචින්ත? ඔයාට ලැජ්ජ නැද්ද හැමදාම මාව හම්බෙන්න එද්දී මේ වගේ කුණු ගොඩවල් උස්සන් එන්න? මගේ යාළුවෝ හැමෝම මට හිනාවෙනවා. උන් ඔයාට නමක් දාලා තියෙන්නේ ‘සීනි පොල් කොහු’ කියලා. උන්ගේ කොල්ලෝ උන්ට මොන තරම් වටින තෑගි දෙනවද, කොහේ වගේ ලස්සන තැන්වලට එක්කන් යනවද? පොඩ්ඩක් අප්ඩේට් වෙන්න බැරිද නිකන් මේ හිඟන ප්‍රේමවන්තයා වගේ හැසිරෙන්නෙ? සල්ලි නැති මිනිහෙක් නෙවෙයිනෙ ඔයා. සීනින්පොල් කොහු කාරයො දැක්කම ඔයාට පුදුම දාංගලයක්නෙ හැදෙන්නෙ? මොන පිස්සුවක්ද මේ? මට මාරම ලැජ්ජයි සචින්ත ඔයා එක්ක පාරේ යන්නත්”
මං මගේ හිතේ තිබ්බ හැම කුණක්ම, හැම කේන්තියක්ම සචින්තගේ මූණටම අතෑරියෙ ඔන්න ඔහොම. සචින්ත එක වචනයක්වත් කිව්වෙ නෑ. එයා බිම වැටිලා, බාගෙට දිග හැරිලා තිබ්බ අර රෝස පාට සීනි පොල් කොහු පාර්සලය දිහා බලාගෙන හිටියේ හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ. එයාගේ ඇස් දෙක පුරාම තිබ්බේ මං කවදාවත් දැකලා නැති විදියේ මාරම දරුණු වේදනාවක්. මං හිතුවේ මගේ මේ කෑගැහිල්ලෙන් පස්සේ එයා මට බණියි, නැත්නම් රණ්ඩු වෙයි කියලා. හැබැයි සචින්ත මාරම සයිලන්ස් එකකින් මං දිහා බලාගෙන හිටියා විතරයි.
ඊටපස්සෙ මිනිහා කරේ මං හීනෙන්වත් මිනිහා කරාවි කියලා බලාපොරොත්තු උනේ නැති දෙයක්.
සචින්ත හෙමින් හෙමින් බිමට නැවිලා, කුණු බාල්දිය අයිනේ බාගෙට දිගහැරිලා වැටිලා තිබ්බ අර සීනි පොල් කොහු පාර්සලේ අතට ගත්තා. පත්තර කොළේ තැවරිච්ච වැලි ටික එයා හරිම පරිස්සමෙන් තමන්ගේ අතින් පිහදාලා දැම්මේ හරියට ඒක රත්තරන් බඩුවක් වගේ.
ඊටපස්සේ එයා හීන් හිනාවකින් මගේ ඇස් දෙක දිහා කෙලින්ම බැලුවා. ඒ ඇස්වල කේන්තියක් තිබ්බේම නැහැ, තිබ්බේ මගේ පපුව පලාගෙන යන විදියේ මාරම සීතල, වේදනාවක් විතරයි.
“මගේ තාත්තා මං පොඩි කාලෙම අපිව දාලා යද්දී මාවයි මගේ අම්මවයි බලාගත්තේ මගේ සීයා, සනූ” සචින්ත කතා කෙරුවේ මාරම සන්සුන් වොයිස් එකකින්. ඒත් ඒ සන්සුන් වොයිස් එක අස්සෙ මට දැනුණෙ මාව නිකන් බොයිල් වෙනවා වගේ.
“මගේ සීයා මුළු ජීවිත කාලෙම මේ අව්වේ කරවෙවී, පාරවල් ගානේ සයිකලයකින් ගිහින් ටිං ටිං ගාලා බෙල් එක ගහලා විකුණුවේ මේ සීනි පොල් කොහු. මං අද මේ තැනකට ඇවිත්, කැම්පස් එකටත් ඇවිත්, රස්සාවක් කරන්න ඉගෙනගන්නේ මගේ සීයා ඒ දවස්වල රුපියල් පහට දහයට මේවා විකුණලා එකතු කරපු සල්ලිවලින්. සීයා මීට අවුරුදු දෙකකට කලින් මැරුණා. හැබැයි අදටත් මං පාරක යද්දී මේ වගේ සීනි පොල් කොහු විකුණන වයසක අසරණ මනුස්සයෙක් දැක්කොත්, මට මගේ සීයව මතක් වෙනවා.”
සචින්ත එයාගේ අතේ තිබ්බ පාර්සලය තද කරලා අල්ලාගත්තෙ එහෙම කියන ගමන්.
“මං හැමදාම ඔයා බලන්න එද්දී මේවා ගත්තේ ඔයාට තෑගි දෙන්න සල්ලි නැති හින්දා නෙවෙයි සනූ… පාරේ අව්වේ වේලෙන ඒ වයසක මනුස්සයෙක්ගෙන් හැමදාම මං මේක ගනිද්දී, ඒ මනුස්සයාට එදා වේල කන්න සල්ලි ලැබෙනවා. මං හිතුවා මගේ සීයා මාව හදාගන්න කරපු කැපකිරීමට මට ඒ අසරණ මිනිස්සුන්ගෙන් වත් ණය ගෙවන්න පුළුවන් කියලා. අනික මං මගේ ජීවිතේ මාරම ආදරය කරපු සීයගේ මතකෙ, මං මගේ ජීවිතේ ඊළඟට මාරම ආදරය කරපු කෙල්ල එක්ක බෙදාගන්නයි මට ඕන වුණේ. හැබැයි මං දැනන් හිටියේ නැහැ මෙච්චර පොඩි දෙයක් ඔයාට යාළුවෝ ඉස්සරහා චාටර් වෙන්න හේතුවක් වෙයි කියලා”
සචින්ත එක වචනයක්වත් ඊටපස්සේ කිව්වේ නැහැ. එයා හැරිලා හෙමින් හෙමින් පාර දිගේ ඇවිදගෙන යන්න ගියා.
එයා යද්දීත් අර සීනි පොල් කොහු පාර්සලය එයා එයාගෙ පපුවට තද කරලා අල්ලගෙන හිටියෙ. මං මහා ලොකු පාරක් මැද, කැම්පස් ගේට්ටුව ළඟ හෙලවෙන්නවත් බැරුව ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. මට වටපිටේ තිබිච්ච කිසිම සද්දයක් ඇහිච්ච නැති ගාණයි. හැමදේම නිකන් මාරම සයිලන්ට් වෙලා තිබ්බෙ.
මගේ ආඩම්බරකම, මගේ ආත්මාර්ථකාමීකම ඉස්සරහා මං විනාශ කරගත්තේ මට කවදාවත් නොලැබෙන විදියේ පිරිසිදු, ගැඹුරු හදවතක් තියෙන පිරිමියෙක්ව කියලා තේරෙද්දී මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා.
හැබැයි ඒ වෙද්දීත් සචින්ත මගේ ජීවිතෙන් සදහටම ඈතට ගිහින් ඉවරයි.
සචින්ත ආයෙ කවදාවත් මට කතා කරේ නෑ. මට එයාට කතාකරන්න විදියක් තිබ්බෙත් නෑ. සෑහෙන කාලයක් යනකම් මගෙ හිතේ ඒ වේදනාබර ඇලීම අර සීනි පොල් කොහු වල පැණි වගේ හිතේ ඇලවිලා තිබ්බා.
ඒ ගිල්ට් එකෙන් ගැලවෙන්න වගේ මමත් දැන් සීනි පොල් කොහු විකුණන මනුස්සයෙක් දැක්කම සචින්තව, එයාගෙ සීයව මතක් කරලා සීනි පොල් කොහු අරගන්නවාමයි.











