අක්කා බබා.

රසිකා හිටියේ තෝන්තුවාවෙන් වගේ.බබා හම්බ වෙලා ගෙදර ආපු වෙලාවෙ ඉඳලම රසිකා හිටියේ ලොකු යුද්ධයකට මැදි වෙලා.පුතා අරගෙන ගෙදරට ගොඩ වුණු වෙලාවෙම රසිකාට සිද්ධ වුණේ මහා දුකකට මැදි වෙන්න.සන්තෝසයක් තිබ්බා නම් ඒ විනාඩි කීපයක් විතරමයි.

“ගෙදර ආවද මගේ රන් පැටියා.”

කමල්ගේ අම්මා එහෙම කියලා පුතාව පිළිගත්තේ පුදුමාකාර උණුසුම් විදියකට.එහෙම වෙන්න එපැයි.මේ වතාවේ පුතෙක් කිව්වම අම්මා හිටියේ පුපුරන තරම් සන්තෝසෙකින්.පුතෙක් කියන්නේ පවුලේ උරුමය ඉස්සරහට අරන් යන කෙනෙක්ට කියලා කමල්ගේ අම්මට තියෙන්නේ පුදුම සන්තෝසයක්.

“මට මල්ලි වඩා ගන්න ඕන”

සිතුකි එහෙම කියාගෙන මල්ලි බබා ගාවට ආවේ සන්තෝසෙන් උඩ පනින ගමන්.ඒත් මල්ලිව එහෙම වඩා ගන්න බෑ කියලා ආත්තම්මා එරෙහි වුණාම සිතුකිට දුක හිතුණා 

ඊට පස්සෙ තමයි හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තේ!

“මට අම්මා ඕනෑ..”

යන්තම් අවුරුදු තුනක් වෙච්ච සිතුකි ආයේ ආයේ එහෙම කියමින් අඬන්න ගත්තේ රසිකා චුටි පුතාට කිරි දෙන වෙලාවටමයි.සැත්කම් තුවාලවල අපහසුව අමතක කරත් දූගේ ඒ වේදනාව අමතක කරන්නේ කොහොමද?

“පුතේ,මල්ලිට දැන් කුක්කු දෙන්න ඕනනෙ.”

එහෙම කියලා රසිකා ආදරෙන් කීවත් පුංචි දූ මට අම්මා ඕනමයි කියලා අඬන්න පටන් ගන්නවා.ඊටපස්සේ මොනවා කිව්වත් එයාව නළවා ගන්න බෑ.අතපය දරදඬු කරගෙන බිම පෙරළිලා අඬන සිතුකි නළවා ගන්න ලේසියෙන් බැරි නිසා රසිකා පුදුමාකාර අපහසුතාවයකට පත් වෙන්න පටන් ගන්නවා.

“ඔයාට අම්මා ආදරෙයි පැටියෝ.”

එහෙම කියලා මොනතරම් කිව්වත් සිතුකිට අම්මා ඕන වෙන්නේ මල්ලි බබාට නිදිමත බඩගින්න එන වෙලාවටමයි. මට අම්මා ඕනමයි කියලා අඬන සිතුකි නළවා ගැනීම ලොකු යුද්ධයක් බවට පත් වෙන්න තත්පර කීපයක් හොඳටම ප්‍රමාණවත්.

“අනේ පුතේ..මල්ලිටත් අම්මා ඕනනෙ පුතේ..”

රසිකා එහෙම කියන්නේ ඇස්වලින් කඳුළු බේරෙනකොට.මල්ලි ලැබෙන්න ඉන්න කාලෙදි මල්ලියෙක් අරන් එනවා කියලා සිතුකිට තේරුම් කරනකොට එයා මෙහෙම හැසිරුණේ නැහැ.අම්මගේ නඩ උඩින් ඔලුව තියාගෙන මල්ලිට කතා කළා.පුංචි කට උල් කර කර සින්දු කිව්වා.මල්ලි බබාව හුරතල් කළා.සේරෝම කනපිට ගැහුණේ රසිකා ඉස්පිරිතාලෙ ගිය දවස් කීපෙට.

“මේ බලන්න දුව මේ කෙල්ල පුතාව හැපුවා..”

කමල්ගේ අම්මා එහෙම කියලා කෑගහනකොටම චූටි පුතා හයියෙන් අඬන්න ගත්තා.විනාඩියක් යන්න කලින් සිතුකිත් අඬන්න පටන් ගත්තා.පොඩි වෙලාවක්  නිදහසේ ඉන්න හිතුණු අදහස පැත්තකට දාපු රසිකා බබාලා ගාවට ඇවිදගෙන ගියේ හරිම වේගයෙන්.චූටි පුතා පුලුවන් උපරිම සද්දෙන් අඬනවා.සිතුකි බබා අතපය ගල් කරගෙන බිම පෙරළිලා.දත්මිටි කන ගමන් අඬන දරුවා දිහා බලාගෙන හිටිය රසිකාට ආවේ කියන්න බැරි තරම් වේදනාවක්.

“මං දරුවා නිදි කරවන ගමන් හිටියේ දුවේ.සිතූ එකපාරටම කකුල අරන් කටේ දාලා හැපුවා”

රසිකා දූ සන්සුන් කරගන්න උත්සාහ දරනකොට කමල්ගේ අම්මා මහ සද්දෙට පැමිණිලි කළා.

“ඉන්නවකො.හවස චූටි නැන්දා එනවා කිව්වා.මං කියන්නම්කො අක්කා මල්ලිට කරපු හපන්කම..”

අත්තම්මගේ ඒ වචන පේළිය ඇහුවම සිතුකිගේ අඳෝනාව තව වැඩි වුණා.රසිකා දූව නළෝගත්තේ පුදුම අපහසුතාවයකින්.මේ දේවල් කොහොම කරගන්නද කියලා රසිකාට දැන් දැන් දැනෙන්නේ බයක්.

“කෝ මගේ කුක්කු බෝලේ..”

කමල්ගේ නංගි සරනි ගෙට ගොඩ වුණේ හවස.ඒ වෙනකොට සිතුකි හිටියේ ඇඟ හෝදලා කිරි කෝප්පයක් බොන ගමන්.වෙනදාට නංගි කැම්පස් එකේ ඉඳලා ගෙදර ආවාම සිතුකිට වෙන කිසිම දෙයක් ඕනෑ නෑ.චූටි නැන්දා පස්සෙන් වැටීගෙන සෙල්ලම.අද නංගිත් ගෙට ගොඩ වුණේ දූගේ හිත රිද්දගෙනද කියලා රසිකාට හිතුණා.

“කුක්කු බෝලේ දොයි.මූණ අතපය හෝදන් ඇවිල්ල පුතා වඩාගන්න දෝණි.”

අම්මා එහෙම කියනකොට සරනි හිනා වුණේ සිතුකි ළඟින් ඉඳගන්න ගමන්.

“කුක්කු බෝලේ වෙන කවුරුත් නෙවේනෙ.අපේ මේ චූටි නෝනානෙ.මං ඔයාගේ බුබූ බබාට යාලුවෙක් ගෙනාවා.”

සරනි එහෙම කියලා දූ අතින් සොෆ්ට් ටෝයි එකක් තිබ්බේ මොකක්දෝ රහසකුත් කියන ගමන්.දුව කාලෙකට පස්සෙ සද්දෙට හිනාවක් නැඟුවේ රසිකාගේ හිතට පුංචි සැනසීමක් අරගෙන එන ගමන්.ඇඟපත හෝදාගෙන ඇවිල්ල සරනි ආයෙමත් වාඩි වුණේ සිතුකි ළඟින් ඒ වෙනකොට බූබු බබයි අලුත් බබයි යාලුවෝ වෙලා ඉවරයි.

“මෙයා බූබු බබාගෙ මල්ලි බබා.මං ආදරේ මල්ලි බබාට විතරයි.”

සිතුකි චූටි නැන්දට එහෙම කියනකොට සරනි රසිකා දිහා බැලුවේ පුදුමයකින් වගේ.ඒත් සිතුකි මෙහෙම කියන්න හේතුව සරනිට හිතා ගන්න අපහසු වුණේ නැහැ.

“ඔයා බූබුටනෙ ආදරේ පැටියෝ.මල්ලිටයි බුබූටයි දෙන්නටම ආදරේ වෙන්න” 

නැන්දි එහෙම කියනකොට සිතුකිට කියන්න කතාවක් තිබුණා.ඒ කතාව ඇහෙනකොට මෙච්චර දවසක් ඇතිවෙලා තිබුණු ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණා නේද කියලා රසිකාට හිතුණා.

“ආත්තම්මා කිව්වා අම්මා දැන් ආදරේ මල්ලි බබාට විතරයි කියලා.දැන් ආදරේ මේ මල්ලි බබාට විතරයි.”

රසිකාට ඇඬුම් එනකොට සරනි නෑනාගේ අතකින් අල්ලා ගත්තා. පහුගිය දවස් ටිකේම සිතුකි හරියට ඇට්ටර වෙලා කියලා අයියා කියපු නිසා තමයි සරනි කැම්පස් එකේ සේරම වැඩ දාලා ගෙදර දුවගෙන ආවේ.වෙලා තියන දේ පැහැදිලි වුණත් දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

“බූබුට මල්ලියෙක් ගෙනාවේ බුබූ හොඳ ළමයෙක් නිසා.ඔයාට ඔයාගේ අම්මා මල්ලියෙක් ගෙනාවෙ ඔයත් හොඳ බබෙක් නිසා.ඒ නිසා අම්මා ඔයාට තමයි පැටියෝ ගොඩාක්ම ආදරේ.අත්තම්මා එහෙම කියන්න ඇත්තේ වැරදිලා.”

මල්ලිට රිදෙන බව,මල්ලිට අක්කගේ උදව් ඕනෑ බව, අක්කගේ උදව් ලැබුණම මල්ලි ඉක්මනින් ලොකුවෙලා සෙල්ලම් කරන්න එන බව සරනි පුංචි දූට කියා දුන්නේ හරිම පරිස්සමින්.

“අනේ දූ පුදුම ඇග්‍රසිව් වුණා නංගි.මමත් දැන් තමයි දෙයියනේ ඔය කතාව දන්නේ.”

රසිකා එහෙම කිව්වේ ඇඬුම් හඬකින්.මල්ලි බබා එනකම් ආසාවෙන් බලන් හිටිය සිතුකිගේ හිත අත්තම්මා අතින් රිදිලා කියලා දැන ගත්තාම රසිකාට පුදුම දුකක් ඇති වුණා.ඒත් සරනි අක්කා සන්සුන් කරගත්තේ තවත් ප්‍රශ්න ඇති වෙන්න නුවුමනා නිසා.

“අම්මේ මල්ලි අඬනවා.”

බෝනික්කන් යාලු කරන මහා ක්‍රියාන්විතයේ හිටිය සිතුකි මල්ලිගේ හඬට කලබල වුණා.රසිකා නැගිට්ටේ බයෙන් සැකෙන්.මල්ලි වඩා ගන්න එපා කියලා බිම පෙරළිලා අඬන්න දැන් සිතුකි ලෑස්ති වෙයි.

එහෙම නැත්නම් කිරි බොන මල්ලිගේ කොන්ඩෙන් අදියි.

“අම්මා..මල්ලිට කුක්කු දෙන්න අම්මා.එයාව ලොකු කරලා මට දෙන්න.”

සිතුකිගේ ඒ වචන අදහා ගන්න බැරි ගතියක් රසිකාට දැනුණා.

“එහෙනම් අම්මා ගිහින් මල්ලි බබාට කුක්කු දෙන්නකො.අපි එතකන් සෙල්ලම් කරමු.”

සරනි එහෙම කියලා සිතුකි ළඟින් ඉඳගත්තේ රසිකා එක්ක හිනා වෙන ගමන්.

ආදරේට මොනතරම් දේවල් කරන්න පුලුවන්ද? රසිකා පුතා ළඟට දිව්වේ සැනසීමෙන් එහෙම හිතන ගමන්.

More Stories

Don't Miss


Latest Articles