විවාහයට පෙර ගැබ් ගත් යැයි පවසමින් අපවාද ලබන ආලියා

රන්බීර් කපූර් හා විවාහ වූ ආලියා භාත් මවක් වීමට සැරසෙන බව දැන් ලෝකය පුරා හිඳින ඇගේ රසිකයන් දන්නා කාරණාවක්.ආලියා ගැබ් ගත් වහාම ඒ ආරංචිය රසිකයන්ට දැනුම් දුන්නා.ඒ ගැන බොහෝ කතාබහ ඇති වන්නටත් පටන් ගත්තා.නමුත් මේ කතාබහ අලුත් වූයේ ආලියා සහ රන්වීර්ගේ වීඩියෝ පටයක් නිකුත් වීමත් සමඟයි.ඇගේ ගර්භනී උදරය දෙස බලමින් බොහෝ අය බොහෝ කතා කියන්නට පටන් ගත්තා.

“ආලියා ප්‍රෙග්නන්ට් වෙන්න ඇත්තේ මැරේජ් එකට කලින්.මේ පේන විදියට ප්‍රෙග්නන්ට් කියලා ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් දැම්ම කාලෙට කලින් එයා අනිවාර්යයෙන් ප්‍රෙග්නන්ට් වෙලා”

සමාජ මාධ්‍යයන් හි එවැනි අනවශ්‍ය කතා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා.නමුත් ආලියා ඒ කිසිවක්ම මායිම් කරන බවක් පෙනෙන්නට නැහැ.

ඒ ඇය අප්‍රමාණ සතුටකින් ජීවත් වන්නියක නිසා!

2022 වසර ඉන්දීය නිළි ආලියා බාත්ට අපූරු අවුරුද්දක් වුණා.වසර ඇරඹුණේම ඇය ප්‍රබල චරිතයක් නිරූපණය කළ Gangubai Kathiawadi චිත්‍රපටිය ප්‍රදර්ශනය වීම අරඹමින්.ආලියාට පුදුමාකාර රසික ආදරයක් ද විචාරක පැසසුම් ද ගංගුභායි චරිතයට ලැබෙන්නට පටන් ගත්තා.එය ඇගේ සිනමා ජීවිතයේ අමරණීය සලකුණක්.

වසර ගණනක් තිස්සේ ඇගේ සිහින කුමාරයා වූ “රන්බීර් කපූර්” සමඟ ආලියා විවාහ වන්නේ 2022 වසරේ අප්‍රේල් 14 වෙනිදා.වසර ගණනකට ඉහතදී කොෆි විත් කරන් වැඩසටහනකදී “ඔබේ විවාහ උත්සවයේ දකින්නට කැමති නළුවන්” ගැන කරන් අසද්දී ආලියා මුලින්ම කියන්නේ රන්බීර් කපූර්ගේ නමයි.ඔහු විවාහයේ නැතිවම බැරි පුද්ගලයා වනු ඇතැයි ඇය එදා සිතන්නට නැතිව ඇති.ඔවුන් 2018 වසරේ සිට ප්‍රේමවන්තයන් වූ බව කියැවෙනවා.

සුන්දර විවාහ උත්සවයක් පවත්වා විවාහ වූ ආලියාගේ ඊළඟ සිහිනය ඉටු වූ තවම වැඩි දිනක් ගෙවී නැහැ.

“Our baby.coming soon” ලෙස ආලියා රෝහලක් තුළ ස්කෑන් පරීක්ෂණයක් කරන අතර ගත් ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් වෙත මුදා හරින්නේ 2022 ජූනි 27 වැනිදා.එහි ඇය රෝහල් සයනයක් මත වැතිර සිටින අතර රන්බීර් ඇය අසලට වී හිඳිනවා.ඇය සහ රන්බීර් කපූර් දෙමාපියන් වී ඇතැයි යන ආරංචියෙන් රසිකයන් ප්‍රීති ප්‍රමෝදයට පත් වී තිබුණා.සිනමා තරු සහ රසිකයන් ඇයට උණුසුම් ලෙස සුබ පතා තිබුණා.පවුලේ අය ද අලුත් අම්මාටත් තාත්තාටත් සුබ පතන්නට අමතක කළේ නැහැ.

ඒ ඡායාරූපය අන්තර්ජාලයේ කුණටුවක් සේ පැතිර ගියා.සුන්දර සුබ පැතුම් අතරට මඩ බිංදු එකතු වන්නට ගත්තේ ඒ අතරයි.දරුවෙකු පවුලට ඉක්මනින් එකතු වන බව පවසා තිබීම නිසා ආලියා ගැබ් ගෙන ටික කාලයක් බවට සමාජ මාධ්‍යවල මත පළ වෙන්නට පටන් ගත්තා.

“ආලියා විවාහ වුණේ අප්‍රේල් මාසයේ.දැන් ඇය ගැබ් ගෙන.අනිවාර්යයෙන් මේ දරුවා කුසට පැමිණි නිසා තමයි ඔවුන් විවාහ වන්නට තීරණය කරන්නට ඇත්තේ.”

ආලියා ගැන එවැනි මත ප්‍රචාරය වන්නට පටන් ගත්තා.ආලියා සහ රන්බීර් විවාහයට පෙර එක්ව ජීවත් වූ බව නොරහසක්.වැඩිහිටියන් දෙදෙනෙකු ලෙස ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයක් පවතින්නට ඇති.එනිසා ඇය ගැබ් ගැනීම අතිශය පෞද්ගලික කාරණාවක් බව බොහෝ රසිකයන්ට අමතකව ගොස් තිබුණා.
එය ආසියානු රසිකයන් බහුතරයක සාමාන්‍ය ස්වභාවය.සිනමා තරු,ගායක ගායිකාවන් ආදීන්ගේ පෞද්ගලික ජීවිතයට ඕනෑවට වඩා ඇඟිලි ගැසීමත් ඔවුන්ගේ ජීවිත ගැන සිතෙන අන්දමේ මඩ ප්‍රචාරය කිරීමත් සමහරුන්ගේ විනෝදාංශයක් වී තිබෙනවා.ආලියා සම්වන්ධයෙන් සිදු වූයේ එය මිස අන් කිසිවක් නොවේ.

ආලියාගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය යුගය ආරම්භ වි ඇති නිසා ඇය ගැබ් ගැනීම ඇයට කරගත් අසාධාරණයක් බවට සමහර සිනමා විචාරයකයන් මත පල කර තිබුණා.

මේ අතර ආලියාව කෝපයට පත් කරන තවත් සිදුවීමක් පසුගිය දා සිදුව තිබුණා.ආලියා භාත් සිනමා රූගත කිරීමකට මේ වෙද්දී රටින් පිටව ගොස් තිබෙනවා.එක්තරා වාර්තාවක සඳහන් වුණේ රන්බීර් කපූර් ජූලි මස මැදදී ඇය කැටුව ඒමට එක්සත් රාජධානියට යන බවක්.ආලියා නැවත පැමිණ විවේක ගන්නා බවත් ජූලි මාසය නිමා වීමට පෙර ඇගේ චිත්‍රපටි වල වැඩ අවසන් වන බවත් එහි කියවුණා.

ආලියා ඒ වාර්තාවේ ස්ක්‍රීන් ෂොට් එකක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර තිබුණේ පහත උද්ධෘතය සමඟ.

“කිසිවක් ප්‍රමාද වී නැත! කිසිවකුට කිසිවෙකු රැගෙන යාමට අවශ්‍ය නැත. මම කාන්තාවක්, පාර්සලයක් නොවේ. මට විවේකයක් ගැනීමට අවශ්‍ය නැත,”

ආලියා භාත් විසි නව හැවිරිදි තරුණියක්.ඇයට ඇගේ ජීවිතයෙ තීරණ ඇයට උවමනා අන්දමට ගන්නට ශක්තිය තිබෙනවා.එනිසාම මෙවැනි ගොසිප් වලින් ඇය මහත් කෝපයකට පත් වනවාට සැක නැතැයි බොහෝ අය සිතුවා.

නැහැ,ඇය ඉන් කලබලයට පත් වී නැහැ.

මේ ප්‍රශ්නය ආලියාට පමණක් පොදු එකක් වන්නේ ද නැහැ.විවාහ වූ අලුතම ගැබ් ගන්නා ඕනෑම තරුණියක ඒ ගැබ් ගන්නට ඇත්තේ විවාහයට පෙර බවට පුරෝකථනය කරන්නන් ඕනෑ තරම් සිටිනවා.ඒ වගේම අනිත් අයගේ ජීවිතවලට ඕනෑවට වඩා අත දමන්නන් අපේ වටපිටාවේ කොතරම්ද?

“අයියෝ මැරි කරන්නේ නැද්ද?”
“එක බබෙක් මදිනෙ තව බබෙක් හදන්න”
“ඇයි අනේ මේ වගේ අමාරු කාලවල තව ළමයි හදන්නේ?””

එවැනි පෞද්ගලික ප්‍රශ්න අපෙන් අහන අය ඕනෑතරම්.වැඩිහිටි මිනිසුන් අතර තීරණ එසේ ප්‍රශ්න කරන්නට කිසිවෙක්ට අයිතියක් නෑ.ඒවා ඒ අයගේ අතිශය පෞද්ගලික තීරණ.

වසර ගණනාවක් ආදරය කරමින් එක්ව ජීවත් වූ මිනිසාට දාව ලබන දරුවා ආලියාට මහත් සොම්නසක් බව ඇගේ දිදුලන දෑසින් පෙනෙන දෙයක්.ඇය පලකට නැති ඕපාදූප නෑසුකන්ව රන්බීර්ගේ අතින් අල්ලාගෙන අභිමානයෙන් ඇවිද යනවා.ඒ දරුවා ලෝකය දකින්නට එනතුරු සෙනෙහසින් මඟ බලනවා.

ප්‍රේමය හැම ගැහැනියකටම අභිමානයක් විය යුතුයි.ඔබේ ප්‍රේමය සම්බන්ධයෙන් කිසිවෙකුත් පවසන කටකතා ගැන තැවෙන්නට උවමනා නැහැ.

ඔබේ ආදරය විශ්වාස කරන්න! ඒ සම්බන්ධයෙන් ආලියා මෙන් අභිමානයෙන් ජීවත් වෙන්න!

Related Articles

Don't Miss


Latest Articles