මතක දිගහැරුම 17 – අප්සාරි සිංහබාහු තිලකරත්න

දාහත්වන දිගහැරුම ,

ලබාදෙන පුහුණු වීම් සහ ඉගැන්වීම් අවසානයේ දී අපට විභාගයකට මුහුණ දීමට සිදුවනවා. අනෙක් කරුණු සියල්ලම දැන සිටියත් මෙම විභාගය අසමත් වුණ හොත් අපට ගුවන් සේවිකාවක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත.එම නිසා පියාසර කිරීමට අප සුදුසු බවට සහතික කළ එම ජාත්‍යන්තර සහතිකය අනිවාර්යයෙන්ම අප විසින් ලබාගත යුතුය . ඒ වගේම එම විභාගය සඳහා අවුරුද්දක් පාසාම අප පෙනී සිටිය යුතු වේ .

ඉතා සුන්දරව දකින ගුවන් සේවිකාවක් , එලෙස සේවය කිරීමට තේරී පත්වීම හිතන තරම් ලේසි පහසු නැත. සමාජයේ බහුතරයක් දෙනා ගුවන් සේවිකාවන්ව දකින්නේ ගුවන් මගීන් සමග සිනාමුසු මුහුණින් කතාබස් කරමින්, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පිළිගන්වමින් , විවිධ රටවල් වල සංචාරය කරමින් ඉතා නිදහසේ කාලය ගත කරන පිරිසක් ලෙසයි . නමුත් ඇත්ත වශයෙන්ම ගුවන් සේවිකාවක් දැන සිටිය යුතු දේවල් අසීමිත වන අතර ඔවුන්ගේ රැකියාව ඉතාම වගකීම් සහගත එකක් වේ .

කෙසේ වෙතත් එම පුහුණුවීම් කාලය අප ඉතා විනෝදයෙන් ගත කළ අතර අප ඉගෙන ගත් දේවල් ද බොහෝ විය. උදෑසන සිට සවස් වනතුරු එම පුහුණුවීම් පැවැත්වුණ අතර පුහුණුවීමට සහභාගීවුන ගැහැණු ළමුන් සියලු දෙනා එකිනෙකා සමග ඉතා සහයෝගයෙන් සහ ආදරයෙන් කටයුතු කලහ.

පුහුණු වීමෙන් පසුව අපට සහභාගි වීමට මුල්ම ගුවන් ගමන් වාර තුනක් හිමි වේ. දිගු දුර ගුවන් ගමන් වාරයක් සහ එක්දින ගුවන් ගමන් වාර දෙකක් එයට ඇතුළත් වේ.එහිදී නව කණ්ඩායමෙන් එක් අයෙක්ට හෝ දෙදෙනෙක්ට ජේෂ්ඨ ගුවන් සේවිකාවන් සමග ගමන් කිරිමට කිරීමට අවස්ථාව හිමි වනවා .අපට ඒවා ඉතා හොඳ අත්දැකීම් වූ අතර අපට කටයුතු කිරීමට ලැබුණු ජේෂ්ඨ ගුවන් සේවිකාවන් සමග සේවය කිරීම ඉතාම පහසු විය . ඒ වගේම ආධුනිකයන් වූ අපට ඔවුන් විසින් ඉතා හොඳ සහයෝගයක් ලබා දුන් බව කිව යුතුමය . පලවන ගුවන් ගමන් වාර නිසා තැති ගැන්වී සිටි අපට අපගේ එම තැති ගැන්වීම නැති කරගැනීමට ඔවුන් විසින් ද බොහෝ දේවල් කියා දුන්හ .

ගුවන් ගමන් වාර එකකින් දෙකකින් පසුව අප නිරායාසයෙන්ම එයට හුරු වන අතර විවිධාකාර මිනිසුන් මුණ ගැහෙන නිසා අපට විවිධාකාරයේ අත්දැකීම් ලැබුණි.පුහුණුවීම්වලදී ඉගෙන ගත් දෑ ක්‍රියාවට නැංවීමට සහ ඒවා ප්‍රයෝජනයට ගැනීමට අපට අවස්ථාව හිමිවිය . ගුවන් මගීන් සමග හොඳින් ගනුදෙනු කරමින් ඔවුන්ට අවශ්‍ය සත්කාර කරමින් රැකියාව කිරීම ඉතා සුන්දර සහ අමුතුම ආකාරයේ අත්දැකීමක් බවට පත් විය. ඉන්පසුව මා නිවසේ ගත ගත කළ කාලයට වඩා වැඩි කාලයක් ගත කළේ ඉහළ අහසේය . හිත තුළ පැවති ගුවන් සේවිකාවක වීමේ සිහිනය අවසානයේ දී සැබෑ වූයේ ඒ ආකාරයෙන් ය .

එකල ගුවන් ගමන් සීමා සහිත වූ අතර බොහෝ රටවල් වලට එක් සතියකදී තිබුණේ එක් ගුවන් ගමන් වාරයක් පමණි. සමහරවිටක පැය 10 – 13 ත් අතර පැවති වෙහෙසකර ගුවන් ගමන්වලදී අප අදාළ රටට ගිය පසු ඊළඟ ගුවන් යානය පැමිණෙන තුරු එම සතියක පමණ කාලය අප එහි නතර වන අතර , එම රටෙහි ගුවන් සේවිකාවන් කණ්ඩායම අප පැමිණි යානයේම නැවත කොළඹට පැමිණේ.

ආයතනයේ නීති රීති වලට අනුව කණ්ඩායමේ සියලු දෙනාටම වැටුපට අමතරව දීමනාවන් ලැබෙන අතර , ඒවා ලැබෙන්නේ එක් එක් එක් රටවල් වල මුදල් ඒකක අනුව අප එහි සිටින දින ගණනාව තුලදී අපට අවශ්‍ය වියදම් සඳහා ය . ඒ වගේම ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව ගුවන් සේවිකාවන් සඳහා නවාතැන් පහසුකම් ලැබෙන්නේ තරුපහේ හෝටල්ය.

අප කණ්ඩායම ඉතාම සහයෝගයෙන් සිටි අතර සෑම මොහොතකම අප සිටියේ එකටමය. අපට විවේක ගැනීම සඳහා ලැබෙන ඒ දින කිහිපය තුළ එම හෝටල්වල අපට විශේෂයෙන්ම වෙන් කෙරුනු crew room හි සිට ආහාර ගැනීම , සින්දු කීම ,විවිධ ක්‍රීඩා කිරීම ඇතුළු ක්‍රියාකාරකම් වල නිරත වෙමින් අප කාලය ගත කරන්නේ බොහොම විනෝදයෙන්ය.

ඒ වගේම සාප්පු සවාරි වල යෙදීමටත් අප දැක්වූයේ ඉමහත් කැමැත්තකි . සාප්පු සවාරි වල යෙදෙන අතර තුර විවිධ රටවල් වලට ආවේනික වූ විවිධ වර්ගයේ ආහාරවල රස බැලීමට ද අප අමතක කළේ නැත. ඉතා හොඳ තත්වයේ බෑග් ,සපත්තු ආදි දේවල් මිලදී ගැනීම සහ විවිධ වර්ගයේ ආහාර බැලීම නිසා මම නැවත නිවසට පැමිණෙන්නේ හිස් වූ පසුම්බියකින් යුතුවය.

සාප්පු සවාරි යෑමට අමතරව එකී රටවල් වල විවිධ වූ ස්ථාන නැරඹීමට ද අප අමතක කළේ. ඉතාලියට යන අවස්ථාවේදී වතිකානුව යනු අප මග නොහරින එක් ස්ථානයක් ය. ඒ ආකාරයෙන් බොහෝ රටවල් වල බොහෝ ස්ථාන නැරඹීම සඳහා අප ගොස් ඇත්තෙමු .

ඇතැම් දිනවල හොඳින් ඇඳ පැලඳ ගන්නා අප සියලු දෙනාම හෝටලයේ ලොබියේ වාඩිවී එම හෝටලයට පැමිණෙන විවිධාකාර මිනිසුන් දෙස බලා සිටින අතරම හෝටලයේ පැවැත්වෙන නැටුම් සහ සංගීත අංග රස වින්දෙමු .

අප බොහෝ ගුවන් ගමන් වල යෙදෙන්නේ රාත්‍රී කාලයේ නිසාත් , විවේකය සඳහා අප නින්දට යන්නේ උදෑසන හෝ දහවල් කාලයේ නිසාත් අපට රාත්‍රී කාලයේ නිදිමත දැනෙන්නේ බොහෝම අඩු වෙන් ය. එම නිසා අපට විවේක ලැබෙන කාලය තුළද නිදිමත දැනෙන්නේ නැති තරම් ය . එවැනි දිනවල අප කරන්නේ කණ්ඩායමේ සියලු දෙනාම එක්ව කතාබස් කරමින් සිනාසෙමින් ඒ රටවල් වල වීදින් ඔස්සේ විවිධ දේවල් නරඹමින් ඇවිද යාමයි .

සෑම ගුවන් ගමනක දී ම අප ඉතා ක්‍රියාශීලීව සහ ප්‍රබෝධයෙන් සිටිය යුතු නිසා විවේකය සහ නින්ද යනු අපට අතිශය වැදගත් දේවල් ය.කලින් දිනයේ දී අප කොයිතරම් වෙහෙස වී සිටිය සිටියද ගුවන් මගින් ඉදිරියේ අපට එම වෙහෙස පෙන්විය නොහැක .නමුත් සමහර දිනවල අපට නිදා ගන්නට ලැබෙන්නේ පැය පහක් වැනි කෙටි කාලයක් නිසාත් , විවිධ රටවල් වල පවතින්නේ විවිධ වූ වේලාවන් නිසාත් එවැනි කාලයන් තුළදී නින්ද ලබා ලබා ගැනීම ඉතාම අසීරු ය . වරක් එක් උපදේශකවරයෙක් අපට කියා දුන්නේ නින්ද ලබා ගැනීමට අවශ්‍ය නම් ice cream ආහාරයට ගන්නා ලෙසය. ඉන්පසු මා නිදා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ice cream අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමට පුරුදු වූ අතර අදටත් මා තුළ එම පුරුද්ද පවතී .

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles