පෙකණිවැල නොකැපූ අම්මලා.

“අයියෝ අම්මේ,ඔය මොකද කරන්නේ?”

දුෂානිගේ කටේ සද්දේ ඇහුණු සාවිත්‍රි මුළුතැන්ගෙයි ඉඳලා සාලෙට ආවේ ඉක්මනට.කාලෙකට පස්සේ ගෙදර ආපු නෑනා එකපාරටම කෑගහන්නේ ඇයි කියලා දුෂානිට හිතුණා.එක අතකට මොනවා වුණත් මොකද? ඒ අම්මලා දූලාගේ ප්‍රශ්න එයාලම බලා ගනියි.

“මං දෝණිට තනියම කන්න පුරුදු කරල තියෙන්නේ අක්කා.එයා කනවා හොරනම් ඉතින් මම හෙමින් හෙමින් කවනවා.අද අම්මා එයාට ඇවිද්දවන ගමන් කවනවා.කවන්න පුරුදු වුණොත් නම් ඉතින් ඕක පුරුද්දකට යනවා..”

දුෂානි එහෙම කියද්දී සාවිත්‍රි යන්තමට හිනා වුණා.එකම මිණිබිරී හන්දා නැන්දම්මා දුෂානිගේ දූට පණ ඇරලා බව සාවිත්‍රි දන්නවා.ඒත් ඉතින් ඕනෑවට වඩා අත පොවන්න එනකොට දුෂානිට කේන්ති යනවා ඇති.

“මං ලබන මාසේ ඉඳන් ආපහු ජොබ් එකට යනව අක්කා..”

ඒකනම් හොඳ අදහසක් කියලා සාවිත්‍රි හිතුවා.උදේට ඇඳගෙන ඉස්කෝලේ දුවන එක වස කම්මැලි වැඩක් කියලා හිතෙන දවසට සාවිත්‍රිට වුණත් රස්සාවෙන් අයින් වෙන්න නොහිතෙනවා නෙවෙයි.ඒත් තමන්ට කියලා කීයක්හරි හම්බ කර ගන්න එක ගෑනියෙකුට මොනතරම් වටිනවද කියලා සාවිත්‍රි දන්නවා.දුෂානිත් ලොකු නිසා ආයේ රස්සාවට යන්න හිතුව එක හොඳයි.

Friends drinking coffee and having a serious chat

“තිවංක පුතාගෙ අම්මා එනවා කිව්වද?”

නෑනලා දෙන්නගේ කතාව මැද්දට අම්මා කඩා පාත් වෙනකොට දුෂානිගේ මුහුණ ආයෙත් හතරැස් වුණා.

“නෑ..”

ඒ ගමන ගරා යකාට ඇද ගත්තේ අම්මා.

“එතකොට චූටි දූ..”

දුෂානි නෑනාගේ මුහුණ දිහා බැලුවේ අම්මා එක්ක කේන්ති නොගෙන බෑ නේද කියලා ඉඟියෙන් අහන ගමන්.අම්මල දූලගේ සංවාද වලට හවුල් නොවී සාවිත්‍රි හිනා වුණා.

“එයාව ඩේ කෙයා දානව..”

රටේ ලෝකෙ සිද්ධ වෙන අපරාධ සහ අම්මා කෙනෙකුගේ වගකීම ගැන නැන්දම්මා දේශනාව පටන් ගන්නකොට සාවිත්‍රි නැගිට්ටේ තේ හදන්න යන්න.කොහොමත් දැන් මේ කතාවට විරුද්ධ වෙලා දුෂානි කෑගහන්න පටන් ගන්නවා.ඒත් කේන්තිය ඉහවහා ගිහින් හිටිය නැන්දම්මා අහක හිටිය සාවිත්‍රිට විෂ ඊතලයක් එවන්න තරම් නපුරු වුණා.

“මට කියල ඉන්න එකම මිනිබිරී ඔච්චරයි.ආයේ මං මැරෙන්න කලින් මුනුබුරු මිනිබිරියෝ දකින්න ලැබෙන එකකුත් නෑ..”

ඇහැට ආපු කඳුල හොරෙන්ම පිහ දා ගන්න ගමන් සාවිත්‍රි වතුර කේතලේ ගෑස් ලිප උඩින් තිබ්බා.ඉස්කෝලේ දරුවෝ “සාවිත්‍රි ටීච අපිට අම්මා වගේ” කිව්වම හිත පිරෙනවා තමයි.ඒත් හැම මාසෙකම බලාපොරොත්තු හේදෙනකොට අලුත් වෙන කඳුළු උල්පතට නැන්දම්මා අතින් ආයෙම ගලක් වැදුණා.දැන් ඒ උල්පතේ වතුර හෙලවෙන්න පටන් අරන්.

Woman in sad

“අක්කා..”

දුෂානිගේ කටහඬ ඇහෙනකොට සාවිත්‍රි ඉක්මනට කඳුළු පිහදා ගත්තා.

“මට බනින්න ගිහින් අම්මා අහක ඉන්න ඔයාටත් කතන්දර කියනවටයි මටනම් දුක අක්කේ..”

තුවාලයක් දිගටම පෑරෙනකොට නොරිද්දාගෙන ඉන්න පුලුවන් කියලා හිතුවත් රිදෙන බව දුෂානිට කියන්න සාවිත්‍රිට හිතුණා.ඒත් එයා මොකුත්ම නොකියා හිනා වුණා.

“අක්ක අර ඩොක්ට ළඟට ගියානෙ?”

දුෂානි තමයි වෛද්‍යවරු ගැන සාවිත්‍රිටත් වඩා හොයන්නේ.ඇය කොහොමත් තමන්ගෙම නංගි වගේ තමන්ට ආදරේ බව සාවිත්‍රි දන්නවා.

“අම්මා කියන්නේ ඩොක්ටලා ළඟට ගියාට වැඩක් නෑ කියලා.ඔන්න ඔය මොකක්ද දේවාලෙකට යන්නලු.ඒ නොයනවට දිලාන් එක්කත් තරහයි.ඒ තරහත් මගෙ පිටින් යන්නේ..”

සාවිත්‍රි එහෙම කියන ගමන් ආයෙත් කදුලක් පිහදා ගත්තා.

“අම්මලගෙත් පුදුම බමුණු මත අක්කේ තියෙන්නේ.අපේ දෝණි ඉපදුණු දවසෙ ඉඳන් ඩයිපර්ස් අන්දන්න එපා, රෙදි මැෂින් එකට දාන්න එපා,රත කල්ක දෙන්න ගගා වද දුන්නා.ඊටපස්සෙ බබාට මඩ අනන්න අරින්න එපා,මිදුලෙ තියන්න එපා,ෆීඩින් චෙයා එපා,කාර් සීට් එපා,කොට් එපා..දැන් ඔන්න මම ඩේ කෙයා දාන්න යනවා කියලා පරල වෙලා..ඔයාටත් ඔය දෙයියන්ට කියල හරි බබෙක් හදලා දෙන්න හදන්නෙ ඕකට..”

දුෂානිගේ කතාවට සාවිත්‍රිගේ කඳුළු මැකිලා හිනාවකුත් උපන්නා.දුෂානිට බබා ලැබුණාම නැන්දම්මා ඔය වගේ විවිධාකාර වන්නම් නටපු හැටි සාවිත්‍රිට මතකයි.

“අක්කා දවසක අම්මෙක් වෙයි.හැබැයි අක්කෙ අපි කවුරුත් මේ අපේ අම්මලා වගේ අම්මලා වෙන්න නරකයි.අපිවත් වෙනස් වෙන්න ඕන..”

පුංචි කාලෙත් දාහක් නීති දාන අම්මලා ඊටපස්සේ උසස්පෙළ විෂයන් පවා තෝරන්නේ එයාලගෙ කැමැත්තට.ඊටත් පස්සේ කසාදෙට අත පොවලා කේන්දර නොගැලපෙනවානම් ආදරෙන් ඉන්න දෙන්නෙක් වුණත් ඈත් කරන්න ගොඩක් අම්මලා පැකිලෙන්නේ නෑ.ඒ සේරමත් කරලා දරුවෝ ඉන්න කාලේ ඒ දරුවොත් අම්මලාගේ මෝස්තරේට හදා වඩා ගන්න කියලා බලපෑම් කරනවා.අත් උදව් සහ දන්න දේ කියා දීමත් බලපෑම් අතරත් තියන වෙනසවත් අම්මලා තේරුම් ගන්නේ නෑ.

“නංගි දන්නවද අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මැඩම් පේරන්ට්ස් මීටින්වලදි අම්මලාට කියන කතාව?”

සාවිත්‍රිට මේ දේවල් සම්බන්ධයෙන් කියන්න තියන කෙටිම කෙටි නිර්වචනය මතක් වුණා.

“අම්මලාට මැඩම් කියන්නෙම දරුවන්ගෙ පෙකණි වැල ඉපදෙනකොටම කපන්න කියලා.ඒක නොකපා ඒ සීමාවෙ දරුවෝ තියාගන්න ගියාම දරුවෝ විතරක් නෙවෙයි එයාලගෙ ජීවිතවලට එන අයත් දුක් විඳිනවා.

සාවිත්‍රි එහෙම කියද්දී සුසුමක් හෙළපු දුෂානි ඒ වාක්‍යයට තව ඌණපූර්ණයක් එකතු කරා.

“ඒ විදියට දරුවන්ට නීති දාන අම්මලත් සදාකාලික දුකක් ඉතින් උහුලන්නෙ
අක්කේ.හැමවෙලේම අපහසුවෙන් ඉන්න කොහොම පුරුදු වෙලාද මන්දා..”

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...