ගෙදර අපිරිසිදු වුනොත් කරන හැම වැඩක්ම අසාර්ථක වෙන බව විශ්වාස කළ බිරිඳක්

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි.වෘත්තිය සදාචාරය උදෙසා නම් ගම් මනංකල්පිත ඒවා බව සලකන්න.

නිපුනි එක්තරා දවසක දුරකථනයෙන් මා අමතන්නේ නිවසේ සියල්ලන්ටම රහසිගතවයි.ඇය තමන්ට මානසික රෝගයක් ඇති බව පවසා සිටිනවා.

“මිස්,මට හිතෙනවා මට OCD කියලා”

තමන්ට ඇති රෝගය අනුමාන කරමින් ඇය මට එසේ පවසනවා.නමුත් රෝගියෙකු එසේ පැවසූ පමණින් ම රෝගයක් නිර්ණය කරන්නට අපහසුයි.නිසා මම ඇය සමඟ සමඟ කතාබහ කරන්නට තීරණය කරනවා.obsessive-compulsive disorder හෙවත් OCD ඇති බව තීරණය කර මගෙන් උදව් ඉල්ලීමට ඇයට සිදු වූයේ ඇයි දැයි දැන ගැනීමට මට අවශ්‍ය වෙනවා.

“දැන් ඔයා ඔයාට මේ රෝගය තියන බවට තීරණය කරලා ඉවරයි.මෙම තීරණයකට එන්න ඔයාට හේතු වූ කාරණා මොනවාද?”

මම නිපුනිගෙන් එසේ විමසුවා.ඇය දෙදරු මවක් ද වනවා.නිවසේ ජීවත්වන්නේ ඇය,සැමියා සහ දරු දෙදෙනාත් සැමියාගෙ මවත් බව ඇය මට පැවසුවා.ඉන්පසු රෝගය ඇති බව සැක කරන්නට හේතු කාරණා ගැන නිපුනි මට කියන්නට පටන් ගත්තා.

“මම ගෙදරදි මොනවා හරි වැඩක් කරද්දි කරන වැඩේ අසුභ බව මට හිතුනොත් මම කරන්නේ වතුර බෝතලයක් හෝ කෝප්පයක් අරගෙන ටැප් එක ළඟට ගිහින් එයට වතුර පිරවීම.ඉන්පසු මම එය උතුරා යන්නට දෙනවා. එවිට අර අසුබ බලය ඉවත් වෙනවා කියා මම හිතනවා.ඒක මගේ විශ්වාසයක්.ඒ වගේම තමයි මට මොකක් හරි අසුබ සිතුවිල්ලක් ආවම මම කරන්නේ ජනේලෙන් එළියට කෙල ගහන එක.එතකොට මට හිතෙනවා දැන් අසුභ සිතුවිල්ල ඉවත්ව ගිය බව, දැන් මම නිදහස් බව.”

තමන්ට අසුභ දෙයක් සිදු වෙන බව හැඟෙනවිට මේ සිතුවිලි ඉවත් කර ගන්නට තමන් මේ ලෙස ක්‍රියා කරන බව නිපුනි මට විස්තර කරමින් පවසනවා.

OCD රෝගයේ ඇති ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ කෙනෙකුට එකම සිතුවිල්ල පාලනයකින් තොරව නැවත නැවත ඇති වීමයි.එය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. Obsession ලෙස හඳුන්වන්නේ එකා සිතුවිල්ල නැවත නැවත ඇති වීමයි .Complussions ලෙස හඳුන්වන්නේ ඒ නැවත නැවත ඇතිවන සිතුවිල්ලෙන් මිදීමට පුද්ගලයා ඇතිකරගන්නා චර්යාවයි.මෙහිදී නිපුනිට ඇති Obsession තත්වය වන්නේ අසුභ බවට සිතුවිලි පහළ වීමයි.ඒ නවත්වාගන්නට ඇය ගන්නා ගන්න ක්‍රියාමාර්ගය වන්නේ කෙළ ගැසීම සහ වතුර බෝතල් පිරවීම බව මම තේරුම් ගත්තා.

ඒ විතරක් නෙවෙයි,සමහර දේවල් ඒ ආකාරයෙන්ම නොපැවතීම ඉතාමත් අසුබ බව ඇය තීරණය කරන්නට පටන් අරන් තිබුණා.

“මට හිතෙනවා කුස්සියේ තියන තුනපහ බෝතල් ඔක්කොම එකම පිළිවෙලකට තියෙන්න ඕන කියලා.ඒවාගේ නම ගහපු පැත්ත එළියට පේන්න පිළිවෙළකට මම නිතරම ඒවා හදනවා.එහෙම නැත්නම් උයන කෑමවල රසක් නැති වෙයි,ඒ කෑම කන එක අසුබයි වගේ දේවල් මට හිතෙනවා.”

ඇය මා සමඟ එසේ පැවසුවා.එපමණක් නෙවෙයි ඇයගේ දරුවන්ට පවා මවගේ මේ හැසිරීම් කරදරයක් වී තිබුණා.

“බබාලගේ පොත් මේසේ අපිලිවෙල වෙලා තිබුණාම මම එයාලට ගහනව බනිනවා.අපිලිවෙල මේසෙක පොත් පාඩම් කරන එක කිසිම සුබ ගතියක් නෑ කියලා මට හිතෙන්න අරගෙන තිබුණා.හොඳට අස්පස් කරගෙන ඉස්කෝලෙ වැඩ කරන්න.නැත්නම් ඒක හරිම අසුබයි කියල මම එයාලට දඬුවම් කළා.”

මේ ආකාරයෙන් ඔවුන්ගේ දෛනික ජීවිතය බොහෝ අඩපණ වී ගොස් ඇති බව මට තේරුම් ගියා.

මේ තත්ත්වය ගැන ඇගේ සැමියාට සහ නැන්දම්මාට තේරුම් ගොස් තිබුණා.ඔවුන් ඒ ගැන ඇයගෙන් විමසුවත් ඇය එයට නිසි පිළිතුරක් ලබාදී තිබුණේ ද නැහැ.මේ මානසික රෝගී තත්වයක් බවට ඔවුන් වටහා ගනීවි යැයි ඇයට ලැජ්ජාවක් ඇති වී තිබුණා.මිනිසා ඇය මා අමතන්නට තීරණය කළ බව ඇය මට පැවසුවා.ඉන්පසු නිපුනි අන්තර්ජාලය භාවිතා කරමින් OCD රෝගය සම්බන්ධ වීඩියෝ පට නරඹා තිබුණා.

“මටත් තියෙන්නෙ මේ ලෙඩේ තමයි”

නිපුනි ඒ නිගමනයට පැමිණ තිබුණේ ඉන් පසුවයි.

අපේ ෆේස්බුක් සමූහයට නිරන්තරයෙන් පැමිණෙන නිර්නාමිකව ගැටළු වල මානසික රෝග සම්බන්ධ ගැටලු ද පවතිනවා.නමුත් ඔබ කොහෙන් හෝ ඇසූ රෝගයක් ඔබට ඇති බව අනුමාන කරමින් බියට පත්වීම ඔබටම කරගන්නා හානියක්.අන්තර්ජාලයෙන් හෝ පුවත්පතකින් රෝගයක් ගැන කියවා බියට පත්වීම සුදුසු වන්නේ නැහැ.මෙවැනි ගැටලුවකට ලක්වූ කාන්තාවක් ගැන අද මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවිය ඔබට කියන්නට සූදානම්.OCD නම් මානසික රෝගය ඇති බවට සැක කළ කාන්තාවකගේ මේ කතාවෙන් ඔබේ ජීවිතයට ගත හැකි ආදර්ශ බොහොමයක් තිබෙන්නට පුලුවන්.

මනෝ විද්‍යා උපදේශිකාවක ලෙස මිනිසුන් ආමන්ත්‍රණය කරන ඕනෑම තැනක මා පවසන දෙයක් තිබෙනවා.මානසික රෝග සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් හෝ සමාජ ක්‍රියාකාරීන් ලියන කියන කිසිවක් නරඹා ඔබට තනි තීරණයකට පැමිණීමේ හැකියාවක් නැහැ.”මට මේ ලෙඩේ තියෙනවා.” ඒ නිගමනයට පැමිණෙන්නට පෙර ඔබ සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය උපදේශකයෙක් මුණ ගැසීම වැදගත්.එසේ නොමැතිව ඔබට අන්තර්ජාලයෙන් රෝග නිශ්චය කරන්නට නම් හැකියාවක් නැහැ. දැනුවත් වීම සහ නිගමන වලට පැමිණීම අතර අහසට පොළොව මෙන් වෙනසක් තිබෙනවා.නිපුනි ද වීඩියෝ නරඹා තමන් ගැන විනිශ්චයකට පැමිණ තිබුණා.ඉන්පසු ඇය කාලයක් තිස්සේම තමන් ගැන කම්පා වෙමින් කටයුතු කර තිබුණා.ඉන් ඇයගේ දෛනික ජීවිතයේ කටයුතු ඉතා අඩාල වී ගොස් තිබුණා.ඇගේ පිරිසිදුකම සහ පිළිවෙළ ද නැතිව ගොස් තිබුණා.නිපුනි මේ වෙද්දි ජීවත් වුණේ මානසික රෝගයක් සම්බන්ධයෙන් ඇතිවූ අනියත බියකින්.

මානසික රෝගයක් ඇති බව වටහාගෙන ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.නමුත් සැබෑවටම ඔබට රෝගයක් තිබේ දැයි වටහා ගෙන ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්.බොහෝ වෙලාවට මනෝ වෛද්‍යවරයෙක් වෙත ගොස් ඔබ මෙවැනි රෝග ලක්ෂණ පැවසූ පසු ඔබට රෝගයකට බෙහෙත් ලැබෙනවා.දීර්ඝ කාලීනව බෙහෙත් බොන්නට ඔබට සිදු වෙනවා.ඒ නිසා නිපුනි මෙන් තීරණයට එන්නට පෙර මනෝවිද්‍යා උපදේශකයෙකු හමුවීම වැදගත් බව සිහි තබා ගන්න.

OCD සැබෑවටම ඇති වූ විට එය පුද්ගලයකුගේ අදහස් සහ සිතුවිලි වලට බලපානවා.තමන්ගේ හැඟීම් වලට එය බලපෑමක් එල්ල කරනවා.පරිකල්පනයට සහ හැසිරීමටද මින් බාධා එල්ල වෙනවා.මේ රෝගය ඇති වීමට කුඩා කාලයේ තිබූ පිරිසුදුකම ආශ්‍රිත නීති රීති,අතීත අත්දැකීම්,සමහර භීතිකා,පවුල හෝ පාසල ආශ්‍රිත දැඩි විනය,වැරදි දැනුම්,වැරදි පුරුදු සහ වැරදි ඉගෙනුම් හේතු වෙනවා.ඒ වගේම පුද්ගලයාගේ මානසික අර්බුධ ද මෙයට හේතුවක් වන්නට පුළුවන්.

නමුත් නිපුනිට ඇත්තේ OCD තත්වය නොවන බව මට තේරුම් ගියා.ඇයට තිබුණේ ආකල්ප සම්බන්ධ ගැටලුවක්.ඒ සුබ සහ අසුබ සම්බන්ධ ගැටලුවක්.මේ හිතින් මවාගත් ගැටලුවක් නොවේ දැයි මම ඇයගෙන් විමසා සිටියා.යමක් සුබ සහ අසුබ ලෙස අපි කොහොමද වර්ග කරන්නේ?කුමක් හෝ දෙයක් ඉතාම අසුබ බවට අපි හිතන්නට පටන් ගත්තොත් අපේ මනස ක්‍රියාකරන්නේ ඒ ආකාරයට.සැබෑවටම සුබ සහ අසුබ ලෙස දෙවර්ගයක් ලෝකයේ ඇත්තේ නැහැ.අපි දෙයක් සම්බන්ධයෙන් සිතන ආකාරය සහ අපි යම් කාර්යයක් කරන ආකාරය තමයි අපිට බලපෑමක් එල්ල කරන්නට සමත් වන්නේ.අපි හොඳ දෙයක් කළොත් අපට හොඳ ප්‍රතිඵලත් නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵලත් ලැබෙන බව මම නිපුනිට පැහැදිලි කළා.ඒ තමයි යථාර්ථය වන්නේ.

නිපුනිට සිදුවී තිබුණේ සුබ සහ අසුබ යන සංකල්පය මනසේ තබාගෙන එයට අනුව ක්‍රියා කරන්නට විවිධ දේ කිරීම නිසා මානසික පීඩාවට පත්ව සිටීමයි.අසුබ බව සිතන දෙයක් සිදුවෙද්දී එය සුභ කර ගැනීමට ඇය සිතින් මවාගත් දේවල් වල නිරත වීමට පුරුදු වී සිටියා.එම පුරුද්ද දිගින් දිගටම පවත්වාගෙන ගොස් මානසික රෝගයක් බවට ඇය එම තනි නිගමනයකට පැමිණ සිටියා.ඇය සිටින්නේ ඉතාම මානසික පීඩාවකට ලක්ව බව මම අවබෝධ කර ගත්තා.බාහිර පාර්ශවයන්ගෙන් පවා සිදු වූ යම් කොන්වීම් ඇයගේ ඒ පීඩාව වර්ධනය කරන්නට හේතු වී තිබුණා.ඇය කළ මූලිකම වරද වූයේ වීඩියෝ පට නරඹා ඇය මානසික රෝගියෙක් බව තීරණය කර ඒ ගැන මනසින් විඳවීමට පටන් ගැනීමයි.ඇගේ ආකල්පමය ගැටලුවක් ඇයට පීඩා ගෙන දුන්නා.

නිපුනිගේ OCD ලක්ෂණ පැවතුණේ සුලු වශයෙන් බව හඳුනාගත් මම ඒවාට එතරම් ප්‍රමුඛතාවය ලබා දුන්නේ නැහැ.මම ඇගේ ආකල්පමය වෙනසක් ඇති කරන්නට කටයුතු කළා.බොහෝ දේට හේතු වන්නේ අපේ මනස බව මම ඇයට තේරුම් කර දුන්නා.ඇය සුබ සහ අසුබ යන දෙයක් කේ නැති බව තේරුම් ගත්තා.විවාහය,අධ්‍යාපනය,පවුලේ කටයුතු මේ සියල්ලටම මේ පොදු ධර්මතාවක් බව ඇය තේරුම් ගත්තා.අපේ කැපවීම අපේ දරා ගැනීම සහ අපේ උත්සාහය මත අපට ප්‍රතිඵල ලැබෙන බව ඇයට මම තේරුම් කර දුන්නා.අපි උත්සාහ නොකිරීම දරා නොගැනීම සහ යම් සෘණාත්මක සිතුවිලි අපට දේවල් අසුබ කරන බව මම ඇයට හදා දුන්නා.සෘණාත්මක සිතුවිලි ජීවිතයෙන් ඉවත් කර ගන්නා තරමට ජීවිතය පහසු වන බව නිපුනි ඉන්පසු තේරුම් ගත්තා.ඒ අනුව ඇගේ ආකල්පමය වෙනසක් සහ චර්යාත්මක වෙනසක් කරන්නට මට හැකි වුණා.ඉන් පසුව ඇයට දැඩි පීඩාවක් වූ ක්‍රියාකාරකම් ඇයගෙන් තුරන් වී යන බව නිපුනි තේරුම් ගෙන තිබුණා

අප කියවන හෝ නරඹන සමහර දේවල් වලින් ඔබටත් ඔබ සම්බන්ධයෙන් මෙවැනි වැරදි අවබෝධ ඇති වන්නට පුළුවන්.ඒ නිසා ඔබ ඔබට යම් ගැටළුවක් ඇති බව හැඟෙන්නේ නම් රෝග නිශ්චය කිරීමට නොයා වහාම මනෝවෛද්‍ය උපදේශනය හෝ මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙස මම ඔබට නැවතත් මතක් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content