කරුමේ.

“නිවාඩු දවසට ගේ ඉවරයි…මඩ පිටිං බාත් රූම් එකට රිංගනවා.බිස්කට් කුඩු ගේ පුරා හලනව.බාත් රූම් සින්ක් එක පුරා රැවුල් කොට..අම්මලගෙ කුක්කු පුතාලට ගෑනුන්ගෙන් වැඩ ගන්නන් පුලුවන්.මෙලෝ පිළිවෙලක් නෑ..”

චතුරිකාගේ කෑගැහිල්ල උළු උඩ යන තරම් සද්දෙට ඇහුණට හිරන්ත හිනා වෙවී ෆෝන් එකට ඇස් අලෝ ගත්තා.යූ ටියුබ් වීඩියෝ බල බල හිනා වෙවී ඉන්නකොට චතුරිකා බොරුවට කෑගහන සද්දේ හිරන්තට ඒ තරම් ලොකු හිරිහැරයක් නෙවෙයි.මොකද දැන් ඒ කෑගැහිල්ල හිරන්තට පුරුදුයි.

“දවල්ට කන්නේ මොනවද?”

චතුරිකා ආයෙත් කඩා වැදුණේ කුණාටුවක් වගේ.හේමන්ත හයියෙන් හිනා වෙන්න ගත්තා.

“කහ බතක් හදලා,චිකන් උයලා,මුගුණුවැන්න මැල්ලුම් හදලා,අල තෙල්…”

චතුරිකා අත් දෙක ඉඟට තියාගෙන බලාගෙන ඉන්නේ හොල්මනක් වගේ.අවුස්සන්න ඔහොම රෙසිපි කිව්වට චතුරිකා උයන්නේ චතුරිකාට ඕන දේ කියලා හිරන්ත දන්නවා.

“මං අර මල් කතාවල ඉන්න ගෑනියක් කියල හිතුවද? චිකන් බැදල පරිප්පුවක් හදනව.”

චතුරිකා ගස්සගෙන යනකොට හිරන්ත චතූ කියලා කතා කළේ තරහ අවුස්සන්න නම් නෙවෙයි.

“මාත් උදව්වට එන්නද? අපි මොනවහරි හොඳට උයමු..”

ඒ ගමන චතුරිකා හිනා වුණේ මහ සමච්චල් තාලෙට.

“අනේ මේ.නිවාඩු දවසෙ මල කරදරයක් නොවී ඉන්නවද? ඊටපස්සෙ කුස්සිය අපායක් කරාම ඒක සුද්ද කරන්න මගේ දවසම යනවා.හොඳට කන්න ඕන නම් කඩෙන් මොනවහරි ගේන්න.එහෙමත් බෑනෙ.මාවම කන්න එපැයි..”

උදව්වක් දෙන්න යනකොට ඒක ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ තමන්ගේ මහන්සිය ගැන ආඩපාලි කියන චතුරිකා ගැන තේරුම් ගන්න මොනතරම් අමාරුද කියලා හිරන්ත හිතන්න ගත්තා.බනින්නම බලන් ඉන්නවා මිසක් චතුරිකාට කිසිම දේක හොඳක් දකින්න අමාරුයි.

චතුරිකා මුමුණ මුමුණ මුළුතැන්ගෙයට ආවේ කේන්තියෙන්.නිවාඩු දවසට ගේ හැඩි කරනවා මදිවට එක එක කෑම වට්ටෝරුත් ඉල්ලන හිරන්ත දැන් අලුත් සෙල්ලමක් පටන් අරන්.

“ඉතින් මං හදන්නං” ගාන්න.මොන විලි ලැජ්ජා නැති වැඩක් ද? පිරිමි කුස්සි අස්සේ රිංගන්න ඕන නෑනෙ.

“මොකද ඔය කරන්නේ?”

බාත්රූම් එකෙන් මහ සද්දයක් එනකොට චතුරිකා ඒ ගැනත් විපරම් කරා.ඒ නම් නානවා හරි වෙන මොකක්හරි වෙන්න බෑ.

“මං මේ බාත්රූම් එක මදින්න කියලා..”

හිරන්තගේ හඬ මතු වුණා.චතුරිකා බාත් රූම් එකේ දොර ඇරලා බැලුවේ පුදුමාකාර කේන්තියකින්.

“අනේ මේ විලි ලැජ්ජා නැති වැඩ නොකර ගෙට යනවද? ගෑනිගෙ වැඩ ටික පැන පැන කරන්න ඕන නෑ.පිළිවෙළකට ඉන්නවකො ඒ ඇති.”

හිරන්තට ආයේ පාරක් බැන අඬගහලා පිටිපස්සේ තියන කරපිංචා ගහ ළඟට යනකොට හිරන්ත ඔය පාඩම් ඉගෙන ගන්න විදිය චතුරිකාගේ ඇස් ඉස්සරහම පේන්න පටන් ගත්තා.එහා ගෙදර හර්ෂ රෙදි බේසමක් අරන් ඇවිත් වැලේ වනනවා.එතන නිරෝමිගේ යට ඇඳුම් පවා තියනවා කියලා දැක්ක චතුරිකාට ඇති වුණේ මහා පිළිකුළක්.

“පව්කාරකම..මිනිහගෙන් වැඩ ගන්නවා..”

චතුරිකා එහෙම හිතන ගමන් ගෙට එනකොට නිරෝමි මිදුලට ආවා.මුහුණ හිනාවෙන් පිරිලා.

“අනේ සුද්දෝ..මට පොල් ටිකක් ගාලා මාළු ටික සෝදලා දෙන්න හොඳේ..”

එහෙමත් බටර් තලි! හර්ෂ ගැන චතුරිකාට දැනුණේ අනුකම්පාවක්.නිවාඩු දවසකවත් ඒ මිනිහට තමන්ගෙ පාඩුවේ ඉන්න නැති හැටියක්. ඒත් අහක බලාගෙන ගේ ඇතුළට යන්න නොහිතුණේ නිරෝමි දත් සේරම පෙන්නලා හිනාවක් පා කරපු හන්දා.

“අද ඉතින් ඉරිදනෙ අක්කේ.මං මේ අලුත් බුරියානි එකක් හදනව.හැබැයි ඉතින්ඒකත් හදලා ඩෙසටුත් හදන්න අපිටත් උදව් එපැයි නේද?”

Lovely couple making salad in the kitchen.

චතුරිකා යන්තමට තොල් තද කරලා හිනා වෙලා ගේ ඇතුළට ආවේ හර්ෂ නිරෝමිගේ ඉනෙන් තල්ලු කරගෙන ගෙට යනකොට.නිරෝමි කොටට කොටේ සායකුත් ඇඳගෙන පොඩි එකී වෙන්න හදන හැටි ගැන හිතනකොට තාම නයිටිය මාරු කරන්න තමන්ට බැරි වුණා නේද කියලා චතුරිකාට කල්පනාවට ආවා.

ඇයි ඉතින් එක වැඩක්ද?උදේට කන්න ඉඳිආප්ප අරන් එන්නම් කියලා ඊයේ හිරන්ත කියනකොට චතුරිකා දැනගත්තා ඒ නම් ඉඳි ආප්ප කන්න ආස හිතිලා තමයි කියලා.කඩෙන් ගේන්න නොදී ඒකටත් බැනලා අද පාන්දර ඉඳිආප්ප හදන්න නැගිටින්න චතුරිකා වග බලා ගත්තා.උදේ නවයට විතර මිදුල අතුගානකොට නිරෝමි තාප්පෙන් එබිලා හිනා වුණු හැටි චතුරිකාට මතක් වුණා.

“නිවාඩු දවසනෙ අක්කේ.අද අටත් පහු වුණා.එග් ටෝස් එකක් හදන ගමන් මේ මල් වලට වතුර දාන්නෙත්.”

චතුරිකාට ඔහොම කතා ඇහෙනකොට ලේ කෝප වෙනවා.වැඩිපුරම කේන්ති ගියේ හර්ෂ තේ කෝප්පෙකුත් උස්සන් එළියට ආවම.මිනිහගෙන් වැඩ ගන්න ගෑනුන්ට සිද්ධ වෙන දේ යූ ටියුබ් එකේ ලස්සන හාමුදුරුවෝ කෙනෙක් බණට කියනවා චතුරිකා නම් අහන් හිටියේ පුදුම ශ්‍රද්ධාවකින්.ඕවා වැරදිලාවත් නාහන නිරෝමිලා කොයි වළ යයිද කවුරු දන්නවටද?

උදේ ඉඳන් නිරෝමිගේ විකාර බලලා චතුරිකාට දැන් මහන්සියි.සේරටම වඩා කේන්ති යන්නේ හර්ෂ කරන විකාර හිරන්තත් කරන්න එනකොට.පිරිමි ඉන්න ඕන පිරිමි විදියටනෙ.

බාත් රූම් එක මදින්නේ නැතුව සාලෙට ගිය හිරන්ත හරි සද්දෙට මැච් එක බලනවා.එහා පැත්තේ මිටි තාප්පෙන් නිරෝමිගෙත් හර්ෂගෙත් හිනාව ඇහෙනවා.චතුරිකා කුකුළු කකුල් ටික සද්දෙට තාච්චියට අතෑරියේ හැමෝම එක්ක ආපු තරහ අමතක කරන්න හිතාගෙන.

More Stories

Don't Miss


Latest Articles