ඕපාදූප

“ මනමාලයාගේ අතේ පැත්තකම ලොකු ටැටූ එකක් තියෙනවලු … පහුගිය දවස් වල අපේ සඳුන්ලා නාන්න ගියපු වෙලේ හම්බෙලා තියෙන්නේ..ලොකු කම්පැනියක අයිතිකාරයෙක් කිව්වාට එහෙමම නෙවෙයි වෙන්නැති…මට නම් හිතෙන්නෙම මූදුකරේ කොල්ලෙක් .. පස්සේ කොළඹ ඇවිල්ලා කොම්පැණියක වැඩකරලා , රාළහාමිගේ කෙල්ලව යාලු කරගන්න ඇත්තේ ..රාළහාමිලත් ඉතින්, එක පයින් කැමති වෙන්න ඇති … තේරේවො ඉතින් ඔව්වා කසාදේ වුනාම ..”

ලීලාවති එහෙම කිව්වෙ දානේ ගෙදර කට්ටියම වට කරගෙන. ලක්මිණි ගේ මනමාලයාට මුලු පවුලේම ආකර්ෂණය දිනාගෙන උන්න නිසා, ඒක ගැන ඉරිසියාවෙන් උන්න කිහිප දෙනෙක්ම ලීලාවතීගේ කතාවට හූමිටි තිව්වා.

හවස් වෙද්දි ඔය කතාව ලක්මිණිටත් ආරංචි වුනා.

“ මම ලීලා නැන්දාට කෝල් කරලා අහනවා  මොකක්ද ඒ කියපු කතාවේ තේරුම කියලා .. අපි කට වහගෙන ඉන්න ඉන්න ඒ මිනිස්සු අපේ ඔලුවට අත හෝදනවා .. අනේ බිමල් ඔයා මට එපා කියන්න නම් එපා..”

අනෙක් පැත්තට තමන්ගේ පෙම්වතා වුන බිමල්ට ඇමතුමක් ගත්ත ලක්මිණි නෝක්කාඩු කියන්න පටන් ගත්තා. බිමල් නිසොල්මනේ සවන් දුන්නා.

“ මොකටද කියන්න ළමයෝ එහෙම අහන්නේ ?.. මෙවෙලේ ඔය කියන නැන්දාටත් ඕනේ කරන්නේ ඔයාව එහෙම අවුස්සගන්න එක … ඊට පස්සේ තව නිව්ස් එකක්නේ එයාට … ඇහුණා .. දැන් පිටවෙන්න අරින්න … අනෙක මම මූදුකරේ වුනා කියමු .. එහෙම වුනා නම් මේ නෝනා මට ආදරේ නොකර ඉන්නවාද මොකෝ?.. ආහ් ..”

“ අනේ විකාර නම් කියවන්න එපා බිමල් ..”

“ හරි හරි ..සොරි … අනේ ඔන්න ඔය මනස්ගාත ඔලුවෙන් අතෑරලා සැලෝන් එකේ නංගි කියපු තාලෙට ඉන්න ළමයෝ .. සුදු මූණ කැත වුනොත් හෙම වෙඩින් ෆොටෝ එකත් ඉවරයි ….ඔය ලීලා කියන කතා බිම දාලා පෑගෙන්න දෙන්න ..”

බිමල් හරි සැහැල්ලුවෙන් එහෙම කිව්වත් ලක්මිණිට නම් ඒ කතාව ඒ විදියට අතාරින්න හිතුනෙම නැහැ. ඒත් බිමල් අතාරින්න කිව්වාට පස්සේ ආයෙම ඒ ගැන හිතලා ගැටීමක් ඇති කරගන්නත් ඇයට හිතුනේ නැහැ. ඒ හින්දාම ඇය ලීලාවති නැන්දා පතුරවලා තිබුණ කතාව හිතෙන් අත් හැරියා.

ඒත් ආයෙම ගිණි ඇවිලුණේ ලීලාවතී නැන්දා ඒ කතාව අම්මා එක්කත් කියලා තිබුණ බව ලක්මිණිට ආරංචි වුනාම.

“ ලීලා අක්කා ආවට ගියාවට කතා කියන්නේ නම් නෑ. ඒත් ඉතින් බිමල් පුතා ගැන කීව කතාවට නම් මම කෙලින්ම නොරිස්සුම පෙන්නුවා.. මොනවා වුනත් ඒ කොල්ලා අපේ පවුලට එකතු වෙන්න ඉන්නේ.. අනෙක, ලීලා අක්කා ඔය කතා කියන්නේ එහෙන් මෙහෙන් හොයාගෙන මිසක්කා ඇහැට දැකලා තහවුරු කරගෙනයැ…”

“ හරි දැන් මොකක්ද කිව්වේ ?..”

ලක්මිණි කෝපයෙන් ඇහුවා.

“ බිමල් පුතාගේ ඇඟේ පච්ච තියෙනවාය…. ඔය අච්චු කරපු මිනිස්සුන්ගෙත් එහෙම තියෙනවාය .. මූදුකරේ උන් පලමු වතාවේ මූදු ගිහින් ආවම ඔහොම පච්ච කොටනවාය… බිමල් පුතාගේ පවුලේ ඉන්නේත් අයියා කෙනෙක් විතරක් නේද කියලා ඇහුවා… ලීලා අක්කාලට ඉතින් මේ සමාජේ ගැණ එහෙමට තේරුමක් නැහැනේ… ඔහේ කියවනවා..”

ලක්මිණිගේ කෝපය ඇවිස්සුණා.

ආයෙම බිමල්ට ඇමතුමක් ගත්තා.

“ අනේ ..ඔන්න ඔය විකාර කතා අතාරින්නකෝ නෝනා.. ඔයා දන්නවානේ මම කවුද කියලා …. අනෙක මම මූදු ගිය එකෙක් වුනත්, හිරේ උන්න එකෙක් වුනත් එව්ව මගේ අතීතය නේ.. මේ මගේ වර්තමානේ … මම මේ වර්තමානේ ඇතුලේ ඉන්න විදිය ඔයා දන්නව.. අනෙක අනාගතේ මට මොකෙක් මොකක් වෙයිද අපි කොහොමද දන්නේ?..””

ලක්මිණි ඉන් සිත රිදවාගත්තාය. මිනිසුන් අපහාස කරන්නේ තම පෙම්වතාටය. තවත් මසකින් පමණ තම ස්වාමිපුරුෂයාටය. එය තමා දරා සිටින්නේ කෙසේද ?..

ලක්මිණි මිතුරියක හා ඒ පිළිබඳව කතා බස් කලේ උන් පීඩනයෙන් මිදෙන්නටමය.

“ අනේ මන්දා ..”

“ අනේ මන්දා කියන්නෙපා බං .. මම ඉවසන්න ඕනිද උඹ කියහං … අනෙක අද එක්කෙනෙක් කියාවි.. හෙට තව කීදෙනෙක් කියාවිද ?..”

“ මං මෙහෙම කියනවාට උඹ කලබල වෙන්නෙපා.. මට නිකමට හිතෙන එකක් මේ..”

“ මොකක්ද ?..”

“ ඇත්තටම බිමල් ඔය කියන විදියෙ කෙනෙක් වෙන්න බැරිද?.. මං අහන්නේ, ඒ හින්දා වෙන්න බැරිද බිමල් අයියා ඔච්චරටම ඔය කතාව යටගහන්න හදන්නේ?.. තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ගේ පවුලේ නෑදෑයෝ තමන්ට අපහාස කරන වෙලාවක, ඒක නිකම්ම කරබා ගන්න එක ටිකක් ඇබ්නොර්මල් කියලා හිතෙනවා නේද ?..”

එතනින් පස්සේ ලක්මිණිගේ ඔලුව සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ඇත්තටම ලීලා නැන්දා කියන දේවල් වෙලා ඇති කියලා හිතන්න පටන් ගත්තා. බිමල්ගේ සරසවි කාලය කොහොම ගෙවුනාද කියලා ඇත්තටම තමන් හරි හැටි නොදන්න බව කල්පන වුණා. දැනට කරන රැකියාව ගැන සැකයක් නැති වුනත්, ඒ ආව ගමන කොහොමද කියලා තමන් නොදන්නවා නේද කියලා හිතුණා. අම්මයි තාත්තයි දෙන්නාම නැතිව ඔහු මෙතරම් ගොඩ නැගුණ එක සැක සහිත කතාවක් වෙන්නෝනි නේද කියලා හිතුවා.

“ මට ඇත්තටම කියන්න බිමල් ඔයා බීච් බෝයි කෙනෙක්ද ?.. “

“ මොකක් ?..”

“ ඔයා බීච් බෝයි කෙනෙක්ද ?… ඔයා කැම්පස් උන්න කාලේ ඒ ජොබ් එක කලාද ?..”

“ විකාරද ලක්මිණී …මොන විකාරයක්ද ඔයා අහන්නේ ?..”

“ මට දැනගන්න ඕනි … මට සැකයි …”

“ සැක නම් ඕනි එකක් කරගන්නවා… පුදුමාකාර කරුමයක්නේ මේක..”

විවාහයට දින වෙන් වෙලා තිබුණත් , දෙන්නා උන්නෙ නයයි මුගටියයි වගේ. අන්තිමේදි විවාහයත් සිද්ද වුනා. ඒත් දෙන්නාම උන්නේ එකිනෙකා ගැන කලකිරීමෙන්.

බිමල් ඒ ගැන අයියා එක්ක කිව්වේ විවාහයෙන් සති දෙක තුනකට පස්සේ.

“ ඉතින් බූරුවෝ .. ඒකිට කියහං..  ඒකිගෙ තාත්තාගේ අතින් වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් අපේ අම්මයි තාත්තයි නැති වුනාම අපි ජීවත් වුනේ කොච්චරක් අමාරුවෙන්ද කියලා.. ඒ ජීවත් වුන අමාරුවට බීච් බෝයි නෙවෙයි., කුලී වැඩ වුනත් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලා..”

“ ලක්මිණිට ඔය කතා දරන්න බැහැ අයියේ.. අනෙක … ඒ අම්මා තාත්තා වුනත්, ඉන් පස්සේ මං ගැන හරි අපහසුවෙන් නේ ජීවත් වෙන්න වෙන්නේ…”

අයියාගෙයි බිමල්ගෙයි  කතාව ලක්මිණිට අහම්බෙන් ඇහුණා. බිමල්ට නොපෙනෙන්න කතාව අහගෙන උන්නා.

“ ඔය නොගැළපෙන යාලුවෝ ආශ්‍රය කරන්න ගත්තම තමයි ඔය ඔලු කුරුවල් වෙන්නේ…  හොයලා බලලා අන්න එහෙම යාලුවන්ගෙන් පැත්තකට වෙලා ඉන්න කියහං.. උන්ගේ ජීවිත වල තියෙන ඇරියස් ලක්මිණිලාගේ ඔලු ඇතුලට රිංගවන එකනේ උන් කරන්නේ..”

 කතාව දිග්ගැස්සුණා. ලක්මිණි හඬ නොනඟාම පසෙකට ගියා. සැමියා සමඟ වෙන්වෙලා ජීවත් වෙන මිතුරිය තමන් ගෙවන්න යන ජීවිතය ගැන නුරුස්නා ගතියකින් උන්නාද කියලා ලක්මිණිට වැටහෙන්නෙ ගත්තා. ඒ වගේම තමන්ගේ පවුලෙන් සිද්ද වුන අත් වැරදිමක් නිසා, බිමල් ජීවිතේ කොයි තරම් නම් දුක් වේදනා විඳින්න ඇතිද කියලත් මතක් වුනා. ඒ අතීතය වෙනුවෙන් විස්සෝප වීමෙන් කිසිම දෙයක් නිවැරදි නොවෙන බවත්, බිමල් වෙනුවෙන් ඇති තරම් ආදරය වෙන් කිරීමෙන් අතීතය සුවපත් වෙන බවත් ලක්මිණි හරි හරියට තේරුම්ගත්තා.

“ මොකො මේ හදිසියේ ඔච්චර දුර ගමනක් දාගත්තේ ?”


ලක්මිණී තනියෙන්ම නුවර එලියේ ගමනක් සූදානම් කරලා බව කිව්වාම, බිමල් විමතියෙන් එහෙම ඇහුවා.

“ මඟ ඇරුණු වැඩ ටිකක් තියෙනවා කරගන්න ..”


 ලක්මිණි බිමල්ගේ කම්මුලක් ඉඹින ගමන් එහෙම කිව්වා.  බිමල්, ජීවිතේ වසන්ත කාලය ගැන බලාපොරොත්තු මහ ගොඩක් දරාගෙන ලක්මිණි දිහාව බැලුවා.

More Stories

Don't Miss


Latest Articles