දින කිහිපයක් ගෙවී බොහෝ සාමාන්‍ය ආකාරයෙනි.ඒ දිනයන් ඇතුළතදී ශෙනෝලි තම රාජකාරියට බාධා කරන්නට හැඟීම් වලට ඉඩ නොදී ඉන්නට දැඩි වෙහෙසක් ගත්තාය. පුහුණුවීම් අතරතුර වරින් වර නාද දුරකථනය කෙරෙහි රිහාන්ගේ අවධානය යොමු වන ආකාරයත්, ඔහු එම ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වා කෙටි පණිවිඩ යවන ආකාරයත් දුටුවද ඒවා නොදුටුව සේ ශෙනෝලි තම වගකීම් වල නියැලුනාය.
නුවරඑළියේ දින පහක් පුරා පැවැත්වෙන සංගීත උළෙල සඳහා ආරාධනා ලැබ සිටි 5th Avenue කණ්ඩායම ඒ සඳහා සූදානම් වූයේ ඉතා උනන්දුවෙනි. කොළඹින් පිට පැවැත්වෙන ප්‍රසංග සහ වෙනත් අවස්ථාවන් වලට සහභාගී වීම විනෝදජනක වුවද ඒවායෙහි ඇති වගකීම් සහගත බව කණ්ඩායම් සාමාජිකයන් කිසි විටෙකත් අමතක කළේ නැත.
සංගීත උළෙල සඳහා සතියක් ඉතිරිව තිබියදී සියලු දෙනාම තමන්ගේ ඉදිරිපත් කිරීම් වල කිසිදු අඩුපාඩුවක් නොවන්නට වග බලා ගනිමින් පුහුණු වීම් සිදු කළහ. ඒ සඳහා නව ගීත පෙළක් ද සූදානම් කෙරුණු අතර, අඩුපාඩු සකස් කර ගනිමින්, කණ්ඩායම නියෝජනය කරන ප්‍රධාන ගායකයා වූ අශේන් විශේෂයෙන්ම පුහුණු වීම්වල නිරත වූයේය.
එකම ගීතය වාර ගණනාවක් 5th Avenue ස්ටූඩියෝව තුළ ඇසුනේ පරිපූර්ණ ඉදිරිපත් කිරීමක් සංගීත උළෙල වෙනුවෙන් සූදානම් කර ගැනීමටය. ඒ අතරතුරදී ශෙනෝලි එහි සංවිධායක මණ්ඩලය සමඟ සම්බන්ධ වෙමින්, ඔවුන් සපයා ඇති ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම් සහ අනෙකුත් කාරණා සියල්ල පිළිබඳව සොයා බලමින් රාජකාරිය අකුරටම ඉටු කරමින් උන්නාය. එම නිසා මේඝ හට විශේෂයෙන් සිදු කිරීමට කිසිවක් ඉතිරිව තිබූයේ නැත.ශෙනෝලි සියල්ල සැලසුම් කර සූදානම් කර දුන් පසු කණ්ඩායම වෙත දැනුම් දීමට පමණක් මේඝ සැදී පැහැදී සිටියේය.
” Guys !! ”
ශෙනෝලි සමග කළ කතාබහකින් අනතුරුව මේඝ කණ්ඩායම් සාමාජිකයන් පුහුණුවීම් කරන ස්ථානයට පැමිණ සියල්ලන්ගේම අවධානය ලබා ගත්තේය.
” Music festival එකට දවස් දෙකකට කලින් අපි නුවරඑළියේ යනවා ”
මේඝ සැහැල්ලුවෙන් සිනාසුනේය. කොළඹ අවට පැවැත්වෙන ප්‍රසංග වලට වඩා ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ කොළඹින් පිට යෙදෙන ප්‍රසංග වලටය.එම නිසා මෙම අවස්ථාව එළඹෙනතුරු ඔහු බලා උන්නේ නොඉවසිල්ලෙනි.
මේඝ ලබා දුන් පණිවිඩයක් සමගම සියල්ලන්ගේම මුහුණුවල සටහන් වූයේ කුතුහලය මුසු බැල්මකි. ඒ පිළිබඳව වැඩිදුර විමසන්නට පළමුවෙන්ම ඉදිරියට පැමිණියේ අශේන් ය.
” ඇයි දවස් දෙකකට කලින් යන්නේ ? ”
” stage rehearsals , sounds checking , තව ප්‍රමෝෂන් වීඩියෝස් කීපයක් කරන්නත් තියෙනවා ”
” එතකොට අනිත් ආටිස්ට්ලා ? ”
රිහාන් තම බේස් ගිටාරය පසෙකින් තබා මේඝ වෙත වැඩි අවධානයක් යොමු කළේ අනතුරුවය.
” එයාල එන්නේ දවසකට කලින්. තව බෑන්ඩ්ස් හතරක් ඉන්නවනෙ අනිත් දවස් හතරට. එයාලත් එනවා අපි එන දවසෙම ”
” ඔක්කොටම කලින් මට කියන්නකෝ අපි ඒ දවස් දෙක ෆ්‍රී ද කියලා ? ”
රිහාන් තවදුරටත් විමසුවේ පැහැදිලි කර ගන්නටය. එවර මේඝ පසෙක හුන් ශෙනෝලි දෙස බැලුවේ සියලු කාල සටහන් පවතින්නේ ඇය සතුව නිසාය.
” එහෙම ගැටළුවක් නෑ රිහාන් දැනට. විශේෂයෙන් කියල අපිට ප්‍රැක්ටිස් දාගන්න තියෙන්නේ අර චැරිටි එකට විතරයි “
එවර රිහාන් නිහඬ වූයේය.
” ඕකේ then. මේක ට්‍රිප් එකක් වෙන්නයි යන්නෙ මට පේන්නේ ”
අශේන් හඬ නගා සිනාසුනේ සතුටිනි. කොළඹින් පිට ප්‍රසංගයකට සහභාගී වීමේ හොඳම කොටස ඒ සඳහා යන එන කාල වේලාව සහ විවේකීව සිටින කාල වේලාවන්ය. බොහෝවිට කාර්යබහුල ගෙවන කණ්ඩායම් සාමාජිකයන්ගේ ජීවිත වලට යම් විවේකයක් ලබා ගැනීමට හැකිවන්නේ ද මෙවැනි අවස්ථාවලදී නිසා ඔවුන් කිසිසේත්ම එවැනි අවස්ථාවන් පැහැර හැරීමට කැමති වූයේ නැත.
” one more thing ”
මේඝ නැවත හඬ අවදි කළ අතර සියල්ලෝම ඔහු වෙත අවධානය යොමු කලෝය.
” අපි ප්ලේ කරන දවසට එන ආටිස්ට්ලගේ සිංදු ටික අපි බලාගෙනම යමු.එතකොට එතන ගිහින් කරන්න ලොකු දෙයක් නෑනේ ”
සියලු දෙනාම එයට එකඟ වූ අතර විවිධ උළෙල සඳහා සහභාගී වන බොහෝ කලාකරුවන් සමඟ මින් පෙර ප්‍රසංග වලට සහභාගී තිබෙන නිසා එය අපහසු කටයුත්තක් වූයේ ද නැත.
” අපිට මොන වගේ හොටෙල් එකක් හම්බවෙයිද දන්නේ නෑ නේද ? ”
අශේන් ශෙනෝලි දෙසට හැරුනේය.ඒ, තත්ත්වය කුමක් වුවත් එයට විසඳුම් තිබෙන්නේ ඇය සතුව බව දන්නා නිසාය.
” ඒවා ගැන කිසි දේකට බයවෙන්න එපා. ඒ ඔක්කොම හරි. ”
ශෙනෝලි පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි. නුවරඑළියේ ගමන තවත් මතකයන් රැසක එකතුවක් වන බවට සැකයක් නැත. මින් පෙරදී කොළඹින් පිට පැවැත්වුණු සෑම ප්‍රසංගයකටම තමා කණ්ඩායම් සාමාජිකයන් සමඟ සහභාගී වූයේ අසීමාන්තික උද්යෝගයකිනි. එහෙත් මෙවර එය රාජකාරී ගමනක් මිස ඉන් එහාට කිසිවක් ඇති බව සිතෙන්නේම නැත.
” එතකොට අපිට ප්ලේ කරන්න තියෙන්නේ කීවෙනි දවසෙද ? ”
සිහිනද ශෙනෝලි අසලට පැමිණියේය.
” දෙවනි දවසේ “
” දෙවනි දවසේ ප්ලේ කරලා අපි ඊළඟ දවසේ කොළඹ එනවද ? “
ශෙනෝලි වහාම ඇය අත තිබූ සංගීත කණ්ඩායමේ කාල සටහන දෙස බැලූවාය.විශේෂ වැඩක් නොයෙදී තිබෙන නිසා අවශ්‍ය නම් ඉතිරි දින කිහිපය ද නුවරඑළියේ ගත කිරීමට හැකියාව ඇත. නමුත් ඒ සඳහා සියලු සාමාජිකයන් එකඟ විය යුතුය.
” ඕන නම් එහෙ ඉන්න පුළුවන්.නැත්තං එන්නත් පුළුවන් “
ඒ සඳහා කිසිවකුගේ විරුද්ධත්වයක් තිබුණේ නැත. එබැවින් සංගීත කණ්ඩායමේ වියදමින් හෝ ඉතිරි දින කිහිපය නුවර එළියේ නතර වී සංගීත උළෙලට සහභාගි වීමට සියලු දෙනාම සැලසුම් කළහ.
දහවල් ආහාරය රැගෙන ඒම සඳහා මේඝ අශේන් සමග පිටවී ගියේ තවත් විනාඩි පහළවකට පමණ පසුවය. ශෙනෝලි පුරුදු පරිදිම කාර්ය බහුල වී ස්ටූඩියෝවේ කෙළවරක ගත කරද්දී රිහාන් ඇය අසලට පැමිණ වාඩි වූයේ අනවසරයෙනි.
” නුවරඑළියේ ගමන ගැන ඔයාට මොකක් හරි අවුලක් තියෙනවද ශෙනෝලි ? ”
රිහාන් තම සමීපයේ අසුන් ගනු දුටුවද ශෙනෝලි ලැප්ටොප් තිරයෙන් දෑස් ඉවතට නොගත්තාය.එහෙත් ඔහු ඇසූ පැනය හමුවේ ඇය තිගැස්සුනාය.
” ඇයි ? ”
” වෙනදට out of colombo යනකොට ඔයා මෙහෙම නෙමෙයි හැසිරෙන්නේ. ඒකයි ”
” මොකක්ද වෙනස? ”
” දන්නෑ . ඒත් දැනෙනවා ”
ශෙනෝලි කිසිවක් නොකීවාය. ඔහු හට මේ මොහොතේදී තමා පිළිබඳව කුමක් දැනුනත් රාජකාරියෙන් එහාට තමා නොයා යුතු බව ඇය තවත් වතාවක් තම සිතට මතක් කර දුන්නාය.
” මොකද්ද අවුල ශෙනෝලි ? “
රිහාන් නැවත ඇසුවේ පහත් හඬිනි. ඔහු තමාගෙන් යම් පිළිතුරක් බලාපොරොත්තු වන නමුත් ඔහුට දිය යුතු පිළිතුර කුමක්දැයි සිතාගත නොහැකිව ශෙනෝලි මොහොතක් බලා උන්නාය.
” එහෙම මොකුත් අවුලක් නැහැ රිහාන්. මම තාම හැමදේම ඕකේ ද කියල බලන ගමන් ඉන්නේ. අපි එහෙට යන්න කලින් හැමදේම කන්ෆර්ම් කරගන්න එක මගේ රෙස්පොන්සිබිලිටි එකනේ “
ශෙනෝලි වචන ගලපා ගත් නමුත් රිහාන් එයින් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇය පිළිතුරු දෙන්නේ හදවතින් නොවන බව සිතමින් රිහාන් තවදුරටත් බලා උන්නේය.
” මෙතන තියෙන්නේ responsibilities ගැන ප්‍රශ්නයක් නෙමෙයි ශෙනෝලි ”
රිහාන් ගේ ස්වරය පෙරට වඩා තද බවක් ගෙන ඇති බැවින් ශෙනෝලි ඔහු දෙසට හැරුනේ පුදුමයෙනි. මෙය ඔහුගේ ස්වභාවය නොවේ. අනෙක් අතට තම සීමාවන් හඳුනා ගෙන රාජකාරියේ පමණක් නියැළීම මෙසේ ප්‍රශ්න කිරීමට තරම් කාරණාවක් ද නොවේ.
” එහෙනම් මොකද්ද ? ”
” මට තේරෙන්නෙ නෑ. ඒත් මොකක් හරි අවුලක් තියෙනවා කියලා මට දැනෙනවා. ඒ නිසයි මං මෙච්චර අහන්නේ ”
” අවුල තියෙන්නේ ඔයාගෙ හිතේ වෙන්න ඇති රිහාන් ”
රිහාන් කිසිසේත්ම ශෙනෝලි ගෙන් එවැනි පිළිතුරක් බලාපොරොත්තු වූයේ නැත.ඔහු තවත් යමක් කියන්නට හෝ අසන්නට පෙර ස්ටූඩියෝවේ දොර විවෘත විය.
” මොකද අනේ ඔය දෙන්නා නිකන් ඩිවෝස් වෙච්ච කපල් එකක් වගේ ? ”


