“අම්මා මාත් එක්ක කතා කරන්න කැමති නෑනෙ” කියා තාත්තා කතාව පටන් ගත්තේ කුඩා දරුවෙකු මෙන් සිනාසෙමින් ඉතාම බොලඳ ආකාරයෙන් උනත් ඒ මගහැර යන හැකියාවක් නෙත්මලීට එවෙලේ තිබුණේ නැත. අනෙක් අතට තමන්ගේම ගේ අස්සේ තාත්තා උන්නේ තනිවී බව හොඳටම තේරෙද්දී මෙපමණ අවුරුදු ගාණක් තිස්සේ තමන් වෙත ආදරේ මහ වැස්සක් වස්සන්නට හේතු වූ තාත්තාව තනිකරන්නට හිත ඉඩ නොදෙන බව නෙත්මලී දැනගෙන උන්නාය.
“අම්මා එහෙම කරන එක වැරදි නෑනෙ තාත්තෙ ඉතින්. තාත්තනෙ වැරදි” කියා නෙත්මලී කියන්නට වචන එක්කාසු කරගත්තේ බොහෝ අපහසුවෙනි. එහෙත් එසේ හෝ මෙපමන දවසක් තිස්සේ හිත අස්සෙ ගොඩ ගැසී පිළුණු වෙවී තිබුන තාත්තා සම්බන්ධ අදහසක් කීමට හැකිවීම ගැන නෙත්මලී ඇත්තටම සන්තෝස වුණාය.
“පුතත් මං ගැන දැන් බලන්නෙ ඒ ඇහෙන්ද එතකොට?” කියා තාත්තා අහද්දි නෙත්මලී බොහෝ දිනකට පසුව තාත්තා දෙස එක එල්ලේ බැලුවාය.
“තාත්තට ඕන මං තාත්තා දිහා කොයි විදියට බලන්නද?” කියා දියණිය තමන් දිහා බලාගෙන ඉද්දී ඒ නෙත් පහර ඔස්සේ ඇගේ හදවත විනිවිද යන්නට තාත්තෙකු ලෙස මෙදා අතුල සමරසිංහට හැකියාව තිබුනේ නැත.
මෙතෙක් කාලයක් තමන්ගේ දුවගේ දෙනෙත් දෙස බැලූ පමණින් ඇයගේ හිතේ ඇති දේ කියවාගන්නට ඔහුට හැකිව තිබුණේය. ඇය සතුටින්ද, දුකින්ද, පාඩම් වැඩ නිසා වෙහෙසින්ද, අම්මාගේ වචනයකට හිත රිදීද යන්න ඔහුට අමුතුවෙන් අසා දැනගන්නට අවශ්‍ය වූයේ නැත. ඇගේ දෙනෙත් දෙස බලා සිටීමම එයට ප්‍රමාණවත් විය.
එහෙත් අද ඒ දෙනෙත් ඉදිරිපිට සිටගෙන සිටියදී අතුලට දැනුණේ තමන් දන්නා දියණිය කොහේ හෝ ඈතකට ගොස් ඇති බවකි.
“මං දන්නෙ නෑ පුතේ” අතුල එසේ කියද්දී ඔහුගේ හඬෙහි තිබුණේ මහා අසරණකමකි.
“මං හිතන්නෙ මට ඕන ඔයා වෙනදා වගේ මං දිහා බලනවා දකින්න.”
නෙත්මලීගේ පපුව ඇතුළෙන් මහා රිදුමක් නැගී ආවේය. වෙනදා වගේ. ඒ වචන දෙක ඇගේ හිත ඇතුළේ කොහේ හෝ තැනක වැදී නැවත නැවතත් ප්‍රතිරාවය වන්නට විය.
වෙනදා වගේ තාත්තාට තුරුළු වෙන්නට තමන්ට පුලුවන් ද?
වෙනදා වගේ තාත්තාට තමන්ගේ හැම රහසක්ම කියන්නට තමන්ට පුලුවන් ද?
අම්මා බැන්නාම වෙනදා වගේ තාත්තා ළඟට ගොස් දුක කියා හුරතල් වන්නට පුලුවන් ද?
නෙත්මලී උන්නේ ඒ හිත අසන කිසිම ප්‍රශ්නකට පිළිතුරු සොයාගන්නට නොහැකිව සිත අස්සේ වල්මත් වී ගොසිනි. මිනිස් හිත පුදුම දෙයකි. යමෙකු ගැන තිබෙන විශ්වාසය එක මොහොතකින් බිඳී ගියත් ඒ විශ්වාසය මත ගොඩනැගී තිබූ අවුරුදු ගණනාවක ආදරය එක මොහොතකින් මිය යන්නේ නැත.
ආදරය මැරෙන්න කාලයක් ගතවේ. එහෙත් විශ්වාසය බිඳෙන්නේ එක මොහොතකිනි. ඒ නිසාම නෙත්මලීගේ හිතේ ඒ මොහොතේ තිබුණේ තාත්තා ගැන ආදරයද, තරහද, අනුකම්පාවද, පිළිකුලද කියා ඇයටම තෝරාගන්නට නොහැකි විය.
“තාත්තට තේරෙන්නෙ නැද්ද මට කොච්චර අමාරුද කියලා?” ඇය ඇසුවේ බොහෝ වෙලාවකට පසුවය. අතුලගේ දෙනෙත් ඇය වෙතට එසවුනේ ඒ වචන අස්සේ ගැබ්වී තිබුණ තේරුම තේරුම්ගන්නට මෙනි.
“මට තේරෙනවා පුතේ.”
“නෑ” නෙත්මලී හිස දෙපසට වැනුවාය.
“තාත්තට තේරෙන්නෙ නෑ”
“ඇයි?”
“තාත්තා හිතන්නෙ මේක තාත්තගෙයි අම්මගෙයි ප්‍රශ්නයක් කියලා විතරයි.” අතුල කිසිවක් නොකීවේය.
“ඒත් මට මේක තාත්තගෙයි අම්මගෙයි ප්‍රශ්නයක් විතරක් නෙවෙයි”
තමන්ගේ හඬ මඳින් මඳ බිඳෙන්නට වූ බව නෙත්මලීට තේරුණාය.
“මට මේක මගේ තාත්තා ගැන ප්‍රශ්නයක් මං මෙච්චර කාලයක් හිතාගෙන හිටපු තාත්තා ගැන”
“පුතේ”
“මට තේරෙන්නෙ නෑ තාත්තෙ” නෙත්මලී දෑස් බිමට හරවාගත්තෙ නෙත් කෙවෙනි අස්සේ හිරවී තිබුන කඳුලකට පහසුවෙන් වැටෙන්නට ඉඩ කඩ සලසන්නට මෙනි.
“මං තාත්තාව විශ්වාස කරන්නද අම්මාව විශ්වාස කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ”
ඒ වචන අතුලට ඇසුණේ කවුරුන් හෝ ඔහුගේ පපුව ඇතුළට අත දමා හදවත මිරිකන්නාක් මෙන් මහා වේදනාවකිනි
“මාව විශ්වාස කරන්න පුතේ”
“ඒක තමයි ප්‍රශ්නෙ” නෙත්මලී වහාම ඔහු දෙස බැලුවාය.
“මටත් ඕන තාත්තාව විශ්වාස කරන්න”
ඇගේ දෙනෙත් කඳුළින් පිරී තිබුණි.
“ඒත් මට දැන් මාවත් විශ්වාස නෑ”
“ඒ කිව්වෙ?”
“මං තාත්තාව විශ්වාස කරලා හිටියෙ වැරදියටද කියලා මට හිතෙනවා. මං තාත්තව තේරුං අරං හිටියෙ වැරදියටද කියලා මට හිතෙනවා. මං තාත්තා දිහාව බලාගෙන හිටියෙ වැරදියටද කියලා මට හිතෙනවා”
අතුලට තවත් කිසිවක් කියාගත නොහැකි විය. තමන්ගේ දරුවෙකුගේ හිතේ තමන් ගැන ඇති වූ සැකයක් ඉවත් කිරීමට මිනිසෙකුට කළ හැකි දේ බොහෝය. තමන් නිවැරදි බව කියන්නට පුළුවන. තමන්ගේ පැත්තේ කතාව කියන්නට පුළුවන. වෙනත් අයගේ වැරදි පෙන්වා දෙන්නට පුළුවන. එහෙත් දරුවෙකුගේ හිතේ වරක් බිඳුණු විශ්වාසය නැවතත් එලෙසම ගොඩනගන්නට ඒ කිසිවකට නොහැකිය.
ඒ සඳහා අවශ්‍ය වන්නේ කාලයයි.
ජීවිතය වනාහී සමහර විට අපිට සිදුවන දේවල්වලට වඩා ඒ දේවල් සිදුවූ පසු ඒවා සමග ජීවත් වන්නට අපට සිදුවන ආකාරය නොවන්නේද කියා නෙත්මලී ඒ අවසරයේ සිතුවාය. මිනිසෙකුගේ හිතට රිදවීමක් සිදුවූ විට එය සිදුවූ මොහොතේම සියල්ල අවසන් වන්නේ නැත. සමහර වේදනා ඒ මොහොතේ කඳුළක් වී පිටවෙයි. තවත් සමහර වේදනා වචනයක්වත් නොවී හිතේ කොහේ හෝ තැනක තැන්පත් වෙයි. කාලය ගතවන විට ඒවා අමතක වී ගියා සේ පෙනුණත් යම් දවසක හදිසියේම පැරණි මතකයක් වී නැවතත් හිත ඇතුළෙන් මතු වෙයි.
ජීවිතය පුදුම සහගත වන්නේ එනිසාය.
අපි සමහර මිනිසුන්ට සමාව දෙන්නෙමු. එහෙත් ඔවුන් ගැන තිබූ විශ්වාසය පෙර තිබූ තැනටම ගෙන එන්නට අපට නොහැකි වෙයි. සමහර මතක අමතක කරන්නට අප උත්සාහ කරන්නෙමු. එහෙත් ඒ මතක අපේ ජීවිතයේ අපි කවුරුන්දැයි තීරණය කළ කොටසක් වී ඇති බැවින් ඒවා සම්පූර්ණයෙන්ම මකා දමන්නට නොහැකි වෙයි.
කාලය සියලු දේ සුව කරනවා යැයි මිනිසුන් කියති. එහෙත් කාලය සෑම තුවාලයක්ම සුව කරන්නේ නැත. කාලය කරන්නේ තුවාලය සමග ජීවත් වන්නට මිනිසෙකුට හුරු කිරීම පමණි. කාලය ගතවන විට වේදනාව අඩුවෙනවා වගේ දැනෙන්නේ ඒ වේදනාව නැතිවී ගිය නිසා නොව එය සමග ජීවත් වන්නට අපේ හිත පුරුදු වී ඇති නිසා බව කියා දුන්නේ තාත්තාමය.
තමන්ගේ හිතේ අද මේ ඇති වී තිබෙන තුවාලයත් එලෙසම කොයිතරම් දුරක් යාවිදැයි ඇය දැන සිටියේ නැත. එහෙත් තමන් නොදැන සිටි තවත් එක දෙයක් එතන තිබුන බව නෙත්මලී නොදැන උන්නාය. ඒ සමහර මිනිසුන්ගෙන් ඈත්වීම පහසු බවය. එහෙත් සමහර මිනිසුන්ගෙන් ඈත්වන්නට උත්සාහ කරන අතරේ අපේම හිතෙන් ඔවුන්ව ඈත් කිරීම ඊට වඩා බොහෝ අපහසු කරවන බවය.
දුවෙකුට තාත්තා වනාහී එවන් මිනිසෙකු වන බවය.
අතුලට ඒ මොහොතේ පළමු වතාවට තේරුණේ තමන්ට දුවගෙන් සමාව ඉල්ලන්නට හැකි වුවද, ඇයගෙන් නැවතත් කලින් තිබූ ආදරය ඉල්ලා සිටීමට අයිතියක් නැති බවය.
“මට සමාවෙන්න පුතේ” අතුල හෙමින් කීවේය.
නෙත්මලී ඔහු දෙස බලා සිටියාය. ඒ වචනය තමන් බලාපොරොත්තු වූ එකක්ද නැතිනම් තවත් තමන්ගේ හිත රිදවූ එකක්ද කියා ඇයටම තේරුණේ නැත.
“මං තාත්තට සමාව දුන්නොත්?” ඇය මොහොතක් නතර වූවාය.
“මට ආයෙත් තාත්තාව කලින් වගේ විශ්වාස කරන්න පුළුවන්ද?”
අතුලට ඒ ප්‍රශ්නයට පිළිතුරක් තිබුණේ නැත.
ඒ නිසාම ඔහු පළමු වතාවට දුවට බොරුවක් නොකියා නිහඬ වන්නට තීරණය කළේය.
බොහෝ විනාශකාරී හෙට දිනක් නුදුරු අනාගතයේදිම තමන්ට මුහුණ පාන්නට ඉරණම් වී ඇතැයි යන්න නෙත්මලීට හිතුණේ තාත්තාගෙ දෙනෙත් අස්සෙ ගැබ් වී තිබුණ අන්ධකාරය දකිද්දීය.


