“මං ඔයා ගැන අපේ ගෙදෙට්ට කියන්නද?” කියා නෙත්මලී නලින්ද්‍රගෙන් ඇහුවේ එහෙමය. ඉතාම කලාතුරකින් දවසක ආ ඒ හමුවීමේ හැන්දෑවක දෙදෙන පලමුවරට හමු වූ ජෙට්වින් කලම්බු සෙවන් රූෆ් ටොප් එකේ හමුවී එක ලඟ අසුන් දෙකක වාඩි වී ඉද්දීය. නලින්ද්‍රගේ ඇඟේ ගෑවි නොගැවී මෙන් සෙටියේ වාඩි වී හැන්දෑ හුලං වැදි වැදි උන් නෙත්මලීගෙ කකුල් දෙක තිබුණේ නලින්ද්‍රගේ කකුල් දෙක උඩ ඔහේ එක පැත්තකට වැටීය. ඒ ඉතින් පුංචි කාලේ තාත්තා එක්ක හුරතල් වුණ කෙල්ලකගේ පුරුද්දය. තාත්තා ලඟ නැති හන්දාම තාත්තාගේ ආදරය පෙම්වතාගෙන් හොයන්නට අලුතෙන් පුරුදුවෙමින් උන් කෙල්ලකගේ පුරුද්දය.
තාත්තා ලඟ නැති වූ පසු ඒ හිස් තැන කොහෙන් හෝ පුරවාගන්නට හිත පුරුදු වෙන හැටි නෙත්මලීට තවමත් තේරී තිබුණේ නැත. ඒත් නලින්ද්‍ර ළඟදී ඇය ඒ හිස් තැන ගැන හිතුවේවත් නැත. ඔහු ළඟ ඉන්නට ලැබීම ඇයට හරිම හුරුපුරුදු සැනසීමකි.
නලින්ද්‍ර එකවරම කිසිවක් කිව්වේ නැත. ඔහු නෙත්මලී දිහා බලාගෙන මඳ වේලාවක් උන්නේ නෙත්මලී මේ ප්‍රශ්නය දිහා බලන තරම්ම සරලව ඒ දිහා බලන්නට හැකියාවක් වයසටත් අත්දැකීමුත් අනුව ඔහුට තිබුනේ නැති නිසාවෙනි. මොහොතක් කල්පනා කර නලින්ද්‍ර ඊට පස්සේ ඇගේ කකුල් දෙක හෙමින් තමන්ගේ අතින් අල්ලාගෙන සෙටියේ පහසුවෙන් තියාගත්තේය.
“ඇයි එහෙම හිතුවෙ?”
“ඇයි?”
“මං ගැන ගෙදරට කියන්න”
නෙත්මලී ඒ ප්‍රශ්නය භාරගත්තේ අමුතු විදියටය.
“ඉතින් කවදහරි කියන්න ඕනනෙ. අනික මට බයයි අම්මලා මේක පිටින් කොගෙන් හරි දැන ගත්තොත් කියලා”
නලින්ද්‍ර ඒකට එකපාරටම උත්තරයක් දුන්නේ නැත. ඔහු සෙටියේ පිටුපසට මඳක් බර වී නෙත්මලී දිහා බලාගෙන උන්නේය.
“ඔයාට හිතෙන්නෙ අම්මා ඕක ඇහුවම මොනවා වෙයි කියලද?”
“මොනවා වෙන්නද?”
“මං ගැන අහයි”
“ඉතින් අහපු දෙන්”
“මට වයස කීයද කියලා අහයි”
“ඉතින් අවුලක් නෑනෙ”
“මං කසාද බැඳලා හිටියා කියලා දැනගත්තම?”
නෙත්මලීගේ මුහුණේ තිබූ සැහැල්ලුව මඳක් අඩු වුණේ නලින්ද්‍ර එහෙම අහද්දීය. එහෙත් ඒ ප්‍රශ්නයට දෙන්නට උත්තරයක් නෙත්මලීට තිබ්බේ නැත. එහෙත් නලින්ද්‍ර උන්නේ නෙත්මලීගේ උත්තර නැති තැනත් ප්‍රශ්න ඇසීම නවත්තන සිතුවිල්ලක නොවේ.
“මං තාම legally married කියලා දැනගත්තම?”
“ඒක ඉක්මනට ඉවර වෙයි නේද?” කියා නෙත්මලී ඇසුවේ ඇත්තටම ඒ ප්‍රශ්නය හිත බර කරන්නට පටන් ගත්ත නිසාය.
“ඒක ඉක්මනට ඉවර වෙයි නේද?” කියා නෙත්මලී ඇසුවේ ඇත්තටම ඒ ප්‍රශ්නය හිත බර කරන්නට පටන් ගත්ත නිසාය.
“ඉවර වෙයි” නලින්ද්‍ර එහෙම කිව්වේ හෙමින්ය.
“හැබැයි ඒක ඉවර වෙනකම් ඔයාගෙ අම්මාට මේක කියන එක එච්චර හොඳ idea එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ”
“ඇයි?”
“මොකද එයාට මාව අඳුන්වලා දෙන්න වෙන්නෙ තාමත් වෙන කෙනෙක්ගෙ husband කෙනෙක් විදියට නේද? මොන අම්මද මැණික කැමති තමන්ගෙ දරුවා කසාද බැන්ද මිනිහෙක් එක්ක පැටලෙනවට”
“ඒත් ඔයා ඒ marriage එක ඇතුළෙ නෑනෙ”
“මං ඒ marriage එක ඇතුළෙ නැති එකයි ඒ marriage එක legally ඉවර වෙලා තියෙන එකයි දෙකක්නෙ මැණික”
“ඒත් ඒක ඉවර වෙන්න යනවානෙ”
“ඔව්”
“එහෙනම් ඒක ඉවර වුණාට පස්සෙ කියමු”
“ඒක තමයි මං කියන්නෙත්”
නලින්ද්‍ර එහෙම කියද්දී නෙත්මලී මඳ වේලාවක් ඔහු දිහා බලාගෙන උන්නාය
“හැබැයි මට අම්මට හංගගෙන ඉන්නත් බෑ”
“මං ඔයාට හංගගෙන ඉන්න කියන්නෙ නෑ”
“එහෙනම්?”
“ටික කාලයක් ඉන්න කියලයි කියන්නෙ”
“ඇයි?”
“මොකද මං කැමති නෑ ඔයාගෙ අම්මාට මාව පළවෙනි වතාවට දැනගන්න ලැබෙන්නෙ ප්‍රශ්නයක් විදියට වෙනවට”
“ප්‍රශ්නයක්?”
“ඔව්. ඔයාට මං ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මං දන්නවා. හැබැයි එයාට මාව පේන්නෙ එහෙම නෙවෙයි නෙත්”
“අම්මා දැන් ඉස්සර වගේ නෙවෙයි. එයා දැන් ඉස්සරට වඩා මාව විස්වාස කරනවා. ඒ නිසා මං හිතනවා අවුලක් වෙන එකක් නෑ කියලා.”
“ඒක තමයි. එයා ඔයාට විස්වාස කරන නිසා තමයි ඔයාගෙ ජීවිතේට එන මනුස්සයා ගැන තව වැඩියෙන් හොයන්නෙ” කියා නලින්ද්‍ර කියද්දී නෙත්මලී කිසිවක් නොකියා බිම බලාගත්තාය.
“ඔයාට හිතෙනවා ඇති මං මේවා ඕනවට වඩා ලොකු කරලා හිතනවා කියලා”
“නෑ එහෙම නෙවෙයි”
“එහෙම නෙවෙයි කිව්වට ඒක ඔයාගෙ මූණෙන් පේනවා”
“මට තේරෙන්නෙ නෑ ඉතින් මොකද්ද කරන්න ඕන කියලා”
“මං හිතන්නෙ ඔයා තාම මේකේ ලස්සන කොටස විතරයි දකිනවා කියලා.”
“මොකක්ද ලස්සන කොටස?”
“අපි දෙන්නා අපි දෙන්නට ආදරෙයි කියන එක”
“ ඉතින් ඒක ලස්සන නැද්ද?”
“ලස්සනයි”
“එහෙනම්?”
“ඒත් ඒක විතරක් නෙවෙයිනෙ මැණික මෙතන තියෙන ප්‍රශ්නෙ. ඔයාට වඩා මං අවුරුදු ගාණක් වැඩිමල්. ඒක නිකන් අපි දෙන්නගෙ birthdays දෙක අතර තියෙන number එකක් විතරක් නෙවෙයි. මං ගෙවපු ජීවිතේ කොටසක් තියෙනවා. ඔයා තාම ඒ කොටසට යන්න පටන් ගත්තෙවත් නෑ”
“ඉතින් මං යන්නෙ නෑ කියලා කවුද කිව්වෙ?”
“කවුරුත් කිව්වෙ නෑ.”
“එහෙනම්?”
“මං කියන්නෙ ඔයාට ඉස්සරහට මොනවද ඕන වෙන්නෙ කියලා දැන්ම ඔයා දන්නෙ නෑ කියන එක”
“මට දන්නවා”
“මොනවද?”
“මට ඕන ඔයාව”
නලින්ද්‍රට සිනහවක් ආවේ නෙත්මලී ඒක කට උල් කර කිව්ව හුරුබුහුටි තාලයටය.
“මං කියන්නෙ ඊට එහා දෙයක් ගැන”
“ඒ කිව්වෙ?”
“ඕනම කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාලු උනාම මුල් කාලෙ ඒක හරි ලස්සනයි තමයි. ඒ උනාට ඒ සම්බන්දෙ හැමදාම එතනම ඒ විදියටම තියෙන්නෙ නෑනෙ. ඒක stage by stage ඉස්සරහට යනවනෙ. කසාදයක්. ළමයි. ඔයාගෙ career එක. ඔයාට යන්න ඕන තැන්. ඔයාට කරන්න ඕන දේවල්. ඔයාට වටේ ඉන්න මිනිස්සු. ඒ හැමදේම වෙනස් වෙනවනෙ”
“ඉතින් ඒවා ඔයා එක්ක කරන්න මට බෑ කියලද ඔයා කියන්නෙ?”
“පුළුවන් පුළුවන්”
“එහෙනම්?”
“මට දැනගන්න ඕන ඔයාට අවුරුදු පහකට පස්සෙත් ඒවා ඒ විදියටම ඔයාට ඕන වෙයිද කියලා” කියා නලින්ද්‍ර එක එල්ලේ දෙනෙත් වලට එබීගෙන අහද්දී නෙත්මලී මඳ වේලාවක් ඔහු දිහා බලාගෙන සිටියය.
“ඔයාට මාව විස්වාස නැද්ද?”
“විස්වාසයි”
“එහෙනම් මොකටද ඔච්චර හිතන්නෙ?”
“මොකද මං ඔයාට ආදරේ හන්දා” කියා නලින්ද්‍ර හෙමින් සීරුවේ නෙත්මලීගේ අත අල්ලා ගත්තාය.
“මට ඔයා එක්ක ඉන්න ඕන. ඒක ගැන මට සැකයක් නෑ. හැබැයි මං කැමති නෑ ඔයා කවදාහරි ආපහු හැරිලා බලලා එදා මං පොඩි නිසා තමයි ඒක තේරුණේ නැත්තෙ කියලා හිතනවාට. Regret කරනවට මේ ගත්ත decision එක ගැන”
“මං එහෙම හිතන්නෙ නෑ”
“දැන් ඔයාට එහෙම හිතෙන්නෙ නැති එක මං දන්නවා”
“මං පොඩි ළමයෙක් නෙවෙයි නලින්ද්‍ර ඔයා මං දිහා බලන්නෙ මං පොඩි ළමයෙක් කියලා හිතාගෙන”
“මං දන්නවා මැණික. ඒත් ඔයා මට වඩා බාලයි කියන එක අමතක කරන්නත් මට බෑ මොකද ඒක තමයි ඇත්ත. ඇස් පනාපිට තියන ඇත්තක් මට අමතක කරන්න, නොදැක්කා වගෙ ඉන්න බෑනෙ”
“ඒ වගේම මං ඔයාට ආදරේ කරන එකත් ඔයා අමතක කරන්න එපා” කියා නෙත්මලී කියද්දී නලින්ද්‍රගේ මුහුණේ මඳ සිනහවක් මතු විය.
“ඒක තමයි මට අමතක කරන්න බැරිම දේ” ආදරය ගලා හැලුණේ එපරිද්දෙනි. නෙත්මලීත් නලින්ද්‍රත් උන්නේ උනුන්ගෙ ලෝකයක තනි වී ආදරේ රස උපරිමයෙන්ම විඳ දරාගනිමිනි.
ඒත් ඔවුන් නොදැන සිටි දෙයක් තිබුණේය.
ඒ ලෝකයට පිටතින්, ඔවුන් දෙදෙනා දිහා බලාගෙන තවත් කෙනෙකුගේ දෑස් දෙකක් තිබුණ බවයි.
සුපුරුදු පරිදි නලින්ද්‍ර නෙත්මලීව බැස්සුවේ ගෙදෙට්ට හැරෙන පාරට පොඩ්ඩක් කලින් අතුරු පාරක් ලඟිනි. අඳුරන අයෙක් දකීවි යැයි බියෙන් නෙත්මලී ඉතින් නලින්ද්‍රගේ කාරෙකෙන් දනි පනි ගා බහින්නේ ඒ දුඹුරු පාට රැවුල් කොට ඇනෙනන් කම්මුලක ඉක්මන් හාදුවක් තවරාය.
“හෙට හම්බෙමු”
“හරි. පරිස්සමෙන් යන්න” කියා නලින්ද්‍ර සිනාසෙද්දී නෙත්මලීත් ඔහු දිහා බලමින් මඳ සිනහවක් පා දිව ගියාය.
නෙත්මලී ගෙදර ඇතුළට යන තුරුම නලින්ද්‍ර කාරය නවතාගෙන උන්නේය.
පාරේ අඳුරු මුල්ලක සිටි මිනිසා තවමත් එතැනම හිඳ ඒ දෙස බලා උන්නේය.කොණ්ඩයත් රැවුලත් අවුල් වී, ඇඳුම් පැළඳුම්ද දවස් ගණනක් තිස්සේ මාරු කර නැති මෙන් පෙනුණු ඔහු නෙත්මලී ගිය දෙස බලාගෙන මඳ වේලාවක් නිසොල්මන්ව සිටියේය. ඊට පස්සේ ඔහුගේ දෑස් නලින්ද්‍රගේ කාරය වෙත යොමු විය. කාරය හෙමින් ඉදිරියට ගමන් කරන්නට පටන් ගත් බව දුටු වනම ඒ මිනිසාත් එකවරම පාරට බැස්සේය.
කාරයේ වේගය මඳක් වැඩි විය.
ඊළඟ මොහොතේ ඒ මිනිසා කාරය ඉදිරියට පැන්නේය.
තිරිංග හඬත් එක්කම හැන්දෑවට උරුම නිහඬබව දෙදරා ගියේය.


