“නලින්ද්‍ර අද ඔෆිස් එන්නෙ නෑ කියලා ඉන්ෆෝම් කරල නේද?”
කියා කවුරුන්දෝ කියනවා ඇහෙනතුරාත් නෙත්මලී ඒ බවක් දැන උන්නේ නැත. ඒ වචන ටික ඇහුණු මොහොතේම ඇගේ හිත එකවරම ගැස්සී ගියේ ඒ නිසාය. නෙත්මලී කිසිවක් නොකියා තමන්ගේ screen එක දිහා බලාගෙන උන්නත් හිත ඇතුලේ තිබ්බේ එකමාකාරයකි යුද්ධයකි. හිත තිබ්බේ එකමෙක ප්‍රශ්නයක් අහනගමන් ය.
“නලින්ද්‍ර ආවෙ නැත්තෙ ඇයි?” කියා හිත කියන්නට යෙදුනේ ඒ නිසාය.
ඊයේ රාත්‍රිය ආයෙමත් මතක් කරගන්නට නෙත්මලී උත්සාහ කරේ ඒ නිසාය. ඊයේ තමන්ව ඇරලවා යද්දී නලින්ද්‍රගේ හැසිරීමේ කිසිම වෙනසක් දැක්ක බවක් නෙත්මලීට මතක නැත. එහෙම දෙයක් ඇයට දැනුනේත් නැත. වෙනදා වගේම නලින්ද්‍ර තමන්ව ගෙදර ළඟින් බැස්සුවේය. අඳුරන කෙනෙක් දකීවි යැයි බියෙන් තමන් කාරයෙන් දනිපනි ගා බැස ඔහුගේ කම්මුලකට ඉක්මන් හාදුවක් දී “හෙට හම්බෙමු” කියාගෙන ගියාය. ඔහුත් වෙනදා වගේම සිනාසෙමින් තමන් දිහා බලාගෙන උන්නේය. එච්චරය. ඊට එහා දෙයක් උනේත් නැත. මෙහා දෙයක් උනේත් නැත.
එහෙනම් අද එකපාරටම ඔෆිස් නොඑන්න තරම් දෙයක් සිදුවී තිබුණේ කුමක් නිසාදැයි කියා හිතාගන්න බැරි වෙච්ච එක සාධාරණය.
සමහරවිට උදේ වෙනකොට සනීපයක් වෙන්න පුළුවන් බව ඇත්තය. නැත්නම් ගෙදර මොනවාහරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බව ඇත්තය. ඒත් එහෙම දෙයක් තිබුණා නම් නලින්ද්‍ර තමන්ට නොකියා ඉඳීවිද? අඩුම ගානේ “අද ඔෆිස් එන්නෙ නෑ” කියලා message එකක්වත් නොදා ඉඳීවිද?
ඒ ප්‍රශ්නය හිතට ආවේ එනිසාය.
නෙත්මලී phone එක අතට ගත්තේ එනිසාය.
නලින්ද්‍රගේ whatsapp chat එක open කරගෙන ටික වේලාවක් screen එක දිහා බලාගෙන උන්නාය. ඊයේ රාත්‍රියේ අවසානයට තිබුණේ තමන් පරිස්සමට ගෙදර ආ බව කියා යැවූ message එකත් ඒකට ඔහු දුන් කෙටි reply එකත් පමණි. ඊට පස්සේ කිසිවක් තිබුණේ නැත.
“ඔයා අද ඔෆිස් එන්නෙ නැද්ද?” කියා නෙත්මලී මැසේජ් එකක් ටයිප් කරේ එනිසාය. අනතුරුව ටික වේලාවක් ඒක දිහා බලාගෙන ඉඳලා මකා දැම්මාය. ආයෙමත් type කළාය.
“මොකක් හරි ප්‍රශ්නයක්ද?” කියා ලියා ඒකත් මකා දැම්මාය. අන්තිමේදී වැඩි දෙයක් නොඅසා “නලින්ද්‍ර ඔයා හොඳින්ද?” කියා පමණක් type කර send කරාය. Message එක send වුණ පසු phone එක මේසය මත තැබුවාය.
තත්පර කිහිපයකින්ම ආයෙමත් phone එක අතට ගත්තාය.
Seen වී තිබුණේ නැත.
නෙත්මලී ආයෙමත් phone එක පැත්තකින් තැබුවාය. වැඩ කරන්නට උත්සාහ කළාය. එහෙත් screen එක මත තිබූ තමන් විසින් නලින්ද්‍ර වෙත යවන්නට යෙදුණ මැසේජ් එක ආයෙ ආයෙ කියෙව්වාය.
ටික වෙලාවකට පස්සේ ආයෙමත් phone එක බැලුවාය. එහෙත් reply එකක් තවම නැත.
“Busy ඇති” කියා තමන්ටම කියාගත්තේ හිත සනසගන්නට උවමනා නිසා බව නෙත්මලී නොදන්නවා නොවේ.
”සමහරවිට phone එක ළඟ නැතුව ඇති. නැත්නම් උදේ ඉඳන් මොකක් හරි වැඩකට අහුවෙලා ඇති” ඒ වගේ හේතුවක් තිබෙන්නට පුළුවනැයි හිතාගන්නට ඇය උත්සාහ කරේ කරන්නට දෙයක් නැතිම තැනය. ඒත් ඒ හැම හේතුවක්ම හිතට කියාගත් පසු ආයෙමත් එකම ප්‍රශ්නයක් ඇතුළෙන් මතු වුණේය.
“එක මැසේජ් එකක්වත් එවන්න බැරි තරම් ඔච්චර busy වෙන්න තියෙන හේතුව මොකද්ද?” කියා හිත ඇසූ ඒ ප්‍රශ්නයට නම් නෙත්මලීට උත්තරයක් තිබුණේ නැත.
දවස ගෙවී යමින් තිබුණේ ඔන්න ඔය හිත් කරදර අස්සේය. ඒ අතරතුර කීප වතාවක්ම නලින්ද්‍රගේ කැබින් එකේ දොර දිහාවට දෑස් ඇදී ගියේ ඇයටත් නොදැනීමය.
දොර වසා තිබුණි. එය දකිද්දී හිත නොසන්සුන් වූ තරම දන්නේ නෙත්මලීය.
මොකක් හෝ දෙයක් හරි නැති බවක් හිතට දැනෙන බව නෙත්මලීට නොදැනුනා නොවේ. එහෙත් ඒ මොකද්ද කියා හිතාගන්නට බැරුව නෙත්මලී උන්නේ අපහසුවෙනි.
නලින්ද්‍ර උන්නේ ඇත්තටම හිතාගන්නට බැරුවය. ජීවිතේ අනපේක්ෂිත දේවල් වෙන බව ඇත්තක් වුණත් මෙහෙම දෙයක් කවදාවත් මෙයාකාරයෙන් තමන්ගේ ජීවිතේට වේයැයි නලින්ද්‍ර හිතා තිබුණේ නැත.
කාරය ඉදිරියට එකපාරටම මිනිහෙක් පැනපු මොහොතේ නලින්ද්‍රට හිතන්නවත් වෙලාවක් තිබුණේ නැත. බ්‍රේක් ගැහුවත් වාහනය ඒ මනුස්සයාගේ ඇඟේ වැදී ඒ මනුස්සයා අහකට විසික් වෙච්ච එක වලක්වාගන්න විදියක් තිබුණේ නැත.
නලින්ද්‍ර කාරයෙන් බැස්සේ ඇත්තටම ගැස්සුණ හිතකිනි. මනුස්සයෙක් වාහනේකට හැප්පෙන එක බරපතක දෙයකි. අනෙක් අතට එකපාර මනුස්සයෙක් පාරට පැන්න එක ගැන තරහද නලින්ද්‍රගේ හිතේ නොතිබ්බාද නොවේ.
“පිස්සුද මනුස්සයො? ඉස්සරහට යන වාහනවලට පනින්නෙ?අපිව නිකන් පොලිසි ගාන රස්තියාදු කරවන්නනෙ තමුසෙල හදන්නෙ? කොහෙද යන පිස්සෙක්ද කොහෙද” කියාගෙනම අඩිය ඉක්මන් කර ආ නලින්ද්‍ර මිනිසා ලඟට ගොස් නැමී බැලුවේය.
“අමාරුද? නැගිටින්න පුළුවන්ද?” කියා අහද්දිත් මිනිසා කිසිවක් නොකියාම බිම ඉඳගෙන උන්නේය.
“මහත්තයා”
“මොකද?”
“ඔය මහත්තයගෙ වරදක් නෑ”
“ඔව් හලෝ ඒක මං දන්නවා. ඒක තමයි මං ඇහුවෙ පිස්සෙක් වගේ පාරට පැන්නෙ මොකද කියලා. අපිවත් හිරේට අරගෙන යන විදියෙ වැඩනෙ ඕයි තමුසෙලා කරන්නෙ. පාරෙ යන්නෙ ඇස් දෙක කටේ දාගෙනද” කියා අහද්දිත් නලින්ද්‍රගේ කේන්තිය තවමත් පහව ගොස් තිබුණේ නැත. ඒ කේන්තියට යටින් තිබුණේ මීට මොහොතකට කලින් තමන්ගේ ඇස් ඉදිරියේ සිදුවූ දේ ගැන ඇති වූ බය බව දැනගෙන උන්නෙ නලින්ද්‍ර පමණකි.
මිනිසා හෙමින් නැගිට්ටේ ඒ වචන අනුවය.
“ඔය අත් දෙකම හීරිලා. වැලමිටත් හීරිලා නේද?”
“ඒකට කමක් නෑ මහත්තයා”
“කමක් නැත්තෙ කොහෙද? ලේත් එනවා.”
“පොඩි තුවාලයක් නෙ”
“පොඩි වුණත් බෙහෙත් දාගන්න යං. ලඟ hospital එකකට හරි යමු. පොලිසි යන්නෝන නං…”
“මට hospital යන්න ඕනෙ නෑ මහත්තයා, පොලිසි යන්නෝන නෑ කෝමත්”
“ඇයි?”
මිනිසාට ඒකට එකවර උත්තරයක් තිබුණේ නැත.
“ඕනෙ නෑ”
“හරි, ඔයාට hospital යන්න ඕනෙ නැත්තං අඩුම ගානේ ඩිස්පෙන්සරි එකකටවත් යමු. බෙහෙත් ටිකක් දාගන්න” කියා කියද්දී නලින්ද්‍රගේ හඬ ටිකක් මෘදු වී තිබුණේය.
“මේක ඔයාට ජෝක් එකක් වෙන්නැති මිස්ට. ඒ වුණාට මට එහෙම නෑ. ඔයාලා දැන් මෙතන නිකන් බණ කියන්නාවට පස්සෙ මොන මොනවා කියාවිද කවුද දන්නෙ? අනික මගේ කාරෙක ඉස්සරහට මිනිහෙක් පැනලා වැටුණාම මං නිකං බලන් ඉන්නෙ කොහොමද?”
මිනිසා නලින්ද්‍ර දිහා බැලුවේ අන්න ඒ වචන වලටය.
“ඔය මහත්තයා බය වුණාද?”
නලින්ද්‍ර මොහොතක් නිහඬ වූයේ ඒ වචන වල රැඳී තිබුන මොකක් හෝ තේරුං ගන්න බැරි හැඟීමක් හන්දාය.
“ඔව්. බය වුණා මිනිහෙක් තමන්ගෙ කාරෙක ඉස්සරහට පැනලා වැටෙනවා දැක්කාම බය වෙන්නෙ නැද්ද ඕනම මනුස්සයෙක්?” කියා නලින්ද්‍ර කියද්දී ඒ මිනිසා මඳ සිනහවක් පෑවේය. එහෙත් ඒ සිනහවෙහි සතුටක් රැඳී තිබුනේ නැත.
“මට නං බයක් දැනුනෙ නෑ මහත්තයා”
“ඇයි?”
“මට දැන් බය වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ”
නලින්ද්‍රගේ මුහුණේ තිබූ කේන්තිය එතැනින්ම නැති වී ගිය බව ඇත්තකි. එහෙත් හිත තිබුණෙ කුතුහලයකට අර අදිමිනි.
මිනිසා ආයෙමත් තමන්ගේ අත් දෙක දිහා බැලුවේ ඒ අවසරයේය.
“ඔය මහත්තයා කියනවා වගේ මේ අත් දෙක හීරිලා තමයි” කියා ඔහු මඳ වේලාවක් නිහඬ විය.
“හැබැයි පපුව තියෙන්නෙ ඊට වඩා හීරිලා”


