“චන්ද්‍රට තේරෙන්නෙ නෑ නංගි දරුවට කතා කරන්නෝන කොහොමද දරුවො එක්ක හැසිරෙන්නෝන කොහොමද කියන එක. චන්ද්‍රා පොඩි කාලෙ චන්ද්‍රගෙ අම්මා චන්ද්‍රට සලකලා තියෙන්නෙ එච්චර හොඳ විදියට නෙවෙයිනෙ. චන්ද්‍රා පවුලෙ මද්දුමයා හන්දා වැඩි ආදරයක් සැලකිල්ලක් එක්ක නෙවි හැදිලා තියෙන්නෙ. අම්මා ඉස්සර ඔක්කොම ඔලුවෙ තිබිච්ච කරදර එහෙම පිට කරලා තියෙන්නෙ චන්ද්‍රා පිටින්” කියාගෙන අතුල කිව්වේ කුමුදුනී බිත්තියට පිට දීගෙන ඈත පාර දිහා බලාගෙන කල්පනාවේ යෙදී ඉද්දීය.
අතුල එහෙම කියාගෙන ගියේ කුමුදුනී බිත්තියට පිට දීගෙන ඈත පාර දිහා බලාගෙන කල්පනාවේ යෙදී උන් අතරය.
“දැන් චන්ද්‍රා ඒ ඔක්කොම කරදර පිට කරන්නෙ අපේ කෙල්ල පිටින්”
“එහෙමද අයියෙ?”
කුමුදුනී අතුල දෙසට හැරී බැලුවේ ඒ වචන එක්කය.
“ඔව් නංගි. දරුවා මොනවා කිව්වා කරත් චන්ද්‍ර ඒක දිහාව බලන්නෙ තරහෙන්. දරුවට මොනවා හරි කියන්න ඕන උනත් කියන්නෙත් සැරෙන්. මං කොච්චර කිව්වත් වැඩක් නෑ. එහෙම බෑනෙ ඉතින් දරුවො හදන්න. දරුවගෙ අම්මා උනාය කියලා ඒ පලියට ඉතින් දරුවන්ට හිතුමනාපෙ සලකන්න බෑ කියලා මං කොච්චර කිව්වත් චන්ද්‍රා නෙවෙයි අහන්නෙ” කියා තේ උගුරක් සුරුස් ගා බිව් අතුල මඳ වේලාවක් නිහඬව උන්නේ මොන මොනවදෝ හිත අස්සෙන් කල්පනා කරමිනි.
“මට වෙලාවකට හිතෙනවා, චන්ද්‍රාට තමන්ට වෙච්ච දේවල් අමතක කරලා දරුවට වෙනස් විදියකට සලකන්න තිබුණා කියලා. තමන්ට වෙච්ච දේවල් මිනිස්සු තව මනුස්සයෙක්ට දෙන්න ඕන නෑනෙ. විශේශෙන්ම අම්මා කෙනෙක් තමන් දරුවෙක් විදියට ඉන්න කාලෙ වෙච්ච දේවල් තමන්ගෙ දරුවන්ට දෙන්නෝන නෑ මං කියන්නෙ. අම්මා කෙනෙක්ගෙ යුතුකම තමයි තමන්ට වෙච්ච දේවල් තමන්ගෙ දරුවට නොවී තියෙන්න ඉඩකඩ හදන එක. මං චන්ද්‍රට ඕක කොච්චරවත් තේරුංකරවන්න හැදුවට එයා කවදාවත් ඕක තේරුංගන්න උත්සහ කරන්නෙ නෑ. මිනිස්සු ඉතින් තමන්ට වෙන දේවල් වලින්නෙ ජීවත්වෙන්න ඉගෙන ගන්නෙ. ඒක හරි කියල මං කියන්නෙ නෑ. ඒත් ඉතින් සමහර මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට හරි අමාරුයිනෙ නංගි”
අතුල එසේ කියද්දීත් කුමුදුනී උන්නේ කිසිවක් නොකියා එක එල්ලේම පාර දිහා බලාගෙනය.
“ පුළුවන් තරං දරුවගෙ හිත රිද්දන්නෙ නැතුව නෙත්මලීව මං තමයි බලාගන්නෙ. ඒත් හැම වෙලාවෙම ගෙදර ඉන්නත් බෑනෙ. වැඩට ගිහින් එන්නෝන. ඒ වෙලාව ඇති ඉතින් චන්ද්‍රට දරුවට මොන මොනවහරි කියන්න” කියා අතුල ආයෙ වතාවක් සුරුස් ගා තේ උගුරක් බී හිස් තේ කෝප්පය ටීපෝව උඩින් තිබ්බේය.
“අපේ කෙල්ල ගැන මට වෙලාවකට බයයි නංගි”
“අර මොකෝ?” කියා කුමුදුනී අහද්දී අතුල මඳ වේලාවක් නිහඬව උන්නේ උත්තරේ හිතාගන්න වගේය.
“දරුවා දැන් ලොකු වෙනවනෙ. ඉස්සර වගේ මට හැමදේම කියන්නෙ නෑනෙ ඉතින් කෙල්ලො. කෙල්ලො ලොකු වෙද්දි නංගි ඉතින් අම්මලනෙ කෙල්ලන්ට ළං වෙන්නෝන. ඉස්සර පොඩි කාලෙ නම් කෙල්ල ඉස්කෝලෙ මොනවා හරි වෙච්ච ගමන් ගෙදර ඇවිල්ලා මට කියනවා. කවුරුහරි මොනවා හරි කිව්වොත් ඒකත් කියනවා. ටීචර් කෙනෙක් බැන්නොත් ඒකත් කියනවා. ලොකු වෙද්දි ලොකු වෙද්දි ඉතින් ඕව වෙනස් වෙනවනෙ. ගෑනු ළමයින්ට තියෙනවානෙ නංගි තාත්තලට කියන්න බැරි අම්මලා එක්ක විතරක් කියන්න පුළුවන් දේවලුත් නේද?”
“දරුවො ලොකු වෙද්දි ඔහොම තමයි අයියෙ”
“ඒක තමයි මටත් කියන්නෙ. ඒත් ඉතින්” කියා අතුල වචන අතරමග නතර කරේ කියන්නට දෙයක් නැති නිසා නොව කියාගන්නට බැරි නිසාය..
“හිතේ ඉතින් කරදර හිරකරං ඉන්නෙපා අයියෙ. අන්තිමෙ ඔය පපුවෙ හිරකරං ඉන්නේව පිටවෙන්නෙ අයියෙ අපි හිතන් ඉන්නෙ නැති විදියට”
“වෙලාවකට මට හිතෙනවා දරුවා එක්ක මේ ගැන තව චුට්ටක් කතා කරන්න තිබ්බා නං හොඳයි කියලා. ඒ උනාට ඉතින් කතා කරන්න ගියාම චන්ද්‍රා මැද්දට එනවනෙ. දරුවාගෙන් මං දෙයක් ඇහුවොත් චන්ද්‍රා ඒක අල්ලගෙන තව ප්‍රශ්න දහයක් අහනවා. කොහෙද ගියේ? කාත් එක්කද?, ඇයි ගියේ?, කවද්ද ගියේ? ඔය වගේ”
“අම්මලා ඉතින් එහෙම තමයිනෙ අයියෙ. අනික දැන් කාලෙ අයියෙ දරුවෙක් පරිස්සං කරගන්න, විශේශෙන් ගෑනු දරුවෙක් පරිස්සං කරගන්න ඉතින් අම්මෙක්ට ඔහොම ප්‍රශ්න අහන්නෙ නැතුව බෑනෙ නේද්?”
“ඔව්. අහන එකේ වරදක් නෑ. ඒත් අහන විදියනෙ ප්‍රශ්නෙ”
අතුල මඳක් ඉදිරියට නැඹුරු වුයේ කතාව වඩා හොඳින් පැහැදිලි කරන්නට මෙනි.
“දරුවාට කතා කරන්න ඕන වෙලාවට දරුවා බය කරලා මොකටද නංගි? මං කිව්වට තේරුංගන්නෙ නෑ ඉතින්. එයා හිතන්නෙ දරුවාට සැරෙන් කතා කරලා තමයි හදාගන්න ඕන කියලා. කොච්චර කිව්වත් වැඩක් නෑ ඉතින්. එකම දේ ආයෙ ආයෙ කියන්න ගියාම මටත් එපා වෙනවා.”
“අයියටත් හරි අමාරු ඇති නේද ඔහොම බැලුවම?”
“ඒක තමයි. ඔක්කොටම වඩා අමාරු ඉතින් දරුවා තැලෙන එක දකිනෙකනෙ නංගි” කියා අතුල හෙමින් හුස්මක් හෙළුවේය.
“වෙලාවකට මට හිතෙනවා මං ගෙදර ඉන්නෙ දෙන්නෙක් අතර මැද්දෙ වගේ කියලා. එක පැත්තක චන්ද්‍රා. අනිත් පැත්තෙ දරුවා.”
“ඕනවට වඩා හිතන්න එපාඅයියෙ. සමහර දේවල් ඉතින් ඕනවට වඩා හිතුව කියලා තේරුමක් නෑනෙ. උත්තර කොහෙන් හොයන්නද නේද?”
“නෑ, මං දන්නවා. මොනා කරන්නද කියලා තේරෙන්නෙ නැති එක තමයි නංගි සමහර වෙලාවට ඔලුවට තියෙන ලොකුම ප්‍රශ්නෙ” කියා අතුල ටික වේලාවක් බිම බලාගෙන උන්නේය.
“චන්ද්‍රාටත් එයාගේ ප්‍රශ්න තියෙනවා. ඒක මං දන්නවා. ඒත් ඒවට දරුවා පලි නෑනෙ”
“හ්ම්”
“මටත් ප්‍රශ්න තියෙනවා. නැතුව නෙවෙයිනෙ නංගි. නංගිම දන්නව ඇතිනෙ අපිට හම්බෙච්ච පඩිය. වජිර කොච්චර අමාරුවෙන්ද දෙන්නෙක්ගෙ ජීවිතේ ගැටගහ ගත්තෙ එහෙමෙකේ මං කොහොමද හතර දෙනෙක්ව නඩත්තු කරන්නෙ කියල. එහෙමයි කියලා මං ඒවා දරුවා පිටින් යවන්නෙ නෑනෙ. ඒත් ඉතින් මං ඒවා චන්ද්‍රාට කිව්වොත් එයා හිතන්නෙ මං එයාගෙ පැත්ත ගන්නෙ නෑ කියලා. මං කාගෙවත් පැත්ත ගන්නෙ නෑ නංගි. මට ඕනෙ ගෙදර සාමෙන් තියෙන්න. අනික මෙ අර දරුවගෙ විභාගෙ කටේ තියෙන වෙලාවෙ” අතුල එය කියා ටික වේලාවක් නිහඬව සිටියේය.
“කියන්න කෙනෙක් නැති හන්දා තමයි මං ඇවිල්ලා මේව නංගිට කියන්නෙ” කියා අතුල කුමුදුනී දිහා බලා හිනා උනේ වඩා සැහැල්ලුවෙනි. කුමුදුනී අතුල දෙස බැලුවේ ඒ සිනාව ඔස්සේය. ඒද වෙනදාට වඩා වෙනස් බැල්මකිනි.
“ඉතින් මට කිව්වා කියලා මොකද වෙන්නෙ?” කියා අහද්දී ඒ වචනවල තැවරී තිබුණේ මිනිසා මල වැන්දඹු ගැහැනියකගේ ස්වරයක් නොවන බවත්, වඩා කෙලිලොල් බවක් යන්නත් අතුලට තේරුනාද නොතේරුණාද කියන්න කුමුදුනී දැනගෙන උන්නේ නැත.
“මුකුත් වෙන්නෙ නෑ ඉතින්”
“එහෙනං?”
“කියලා ඉවර වුණාම හිත ටිකක් සැහැල්ලුයි”
“ඒක තමයි ඉතින්”
“මොකක්ද?”
“කෙනෙක්ට සමහර වෙලාවට ඕන අහං ඉන්න කෙනෙක් තමයි”
“ඒක තමයි”
“වජිර හිටියා නම් අයියා මේවා එයාට කියනවනෙ”
“ඔව් ඉතින්” අතුලගේ හඬ එකවරම මඳක් බාල වුණේ කුමුදුනී නොසිතූ මොහොතක වජිර මතක් කල හන්දාය.
“වජිර හිටියා නම්” කියා කතාව පටන් ගත්තාට එතැනින් අතුල ඒ කතාව නතර කලේය.
“ වජිර ගැන මතක් වෙද්දි හිතට අමාරු නැද්ද නංගි?”
“අමාරුයි.”
එහෙම කියද්දී කුමුදුනී අතුලගෙන් දෙනෙත් මග ඇරියේ නැත. හිත අස්සේ තියෙන හැඟීම වඩා හොඳින් අතුල වෙත සංසරණය කරවන්නට මෙන් කුමුදුනී එක එල්ලේම අතුලගේ දෙනෙත් අස්සට එබීගෙනම උන්නාය.
“ඒත් දැන් මං ඒකට පුරුදු වෙලා”
“පුරුදු වෙන්න පුළුවන්ද?”
“මොනවා කරන්නද අයියෙ. පුරුදු වෙන්නෙ නැතුව ඉන්න බෑනෙ. මොකෝ මං ආය වජිරට එන්න කියන්නද? අර වික්ටර් රත්නායක මහත්තයා කියන්නෙ මරණයේ කඩතුරාවේ නැත හැරී එන කවුළු කියලා. සමහර දේවල් එක්ක ජීවත් වෙන්න වෙනවනෙ අයියෙ ඉතින් අපිට ඕන උනත් එපා උනත්” කියා කුමුදුනී කියද්දී අතුල ඒ වචනවලට කිසිවක් නොකියා හිස වැනුවේ ඒ ඇත්තක් නිසාවෙනි. අනෙක් අතට අතුලට ඒක නොතේරුණ දෙයක් නොවේ.මොකද තමන්ටත් දැන් ගෙදර තිබෙන සමහර දේවල් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙන බව ඔහුට තේරෙමින් පැවතුන නිසාවෙනි.
“අයියාත් පුරුදු වෙලා ඇතිනෙ”
“මොකටද?”
“ගෙදර දේවල්වලට”
“පුරුදු වෙලා කියන්නත් බෑ නංගි”
“එහෙනං?”
“ ඉවසගෙන ඉන්නවා ඇති”
“ඉවසං ඉන්න එකත් පුරුද්දක් වෙලා ඇති” කියා අතුල සිනාසෙද්දි කුමුදුනීත් සිනාසුණාය.
“අයියා මෙහෙම කතා කරනවා ඇහුවම මට හිතෙන්නෙ අයියා හිතේ ගොඩක් දේවල් හිරකරං ඉන්නවා කියලා”
“තියෙනවා ඉතින් නැතුව නෙවෙයි”
“කියන්න කෙනෙක් නැතුවද?”
“දන්නෙ නෑ. සමහර දේවල් කියන්න කෙනෙක් ඉන්නවා වගේ පේනවා. ඒත් කියන්න ගියාම කියන්න හිතෙන්නෙ නෑ.”
“ඒ මොකෝ?”
“කියන දේ තේරෙයිද කියලා බයයි”
“මං තේරුම් ගන්නෙ නැද්ද?”
කුමුදුනී එය ඇසුවේ සිනාසෙමින්ය. අතුලත් සිනාසුණේය.
“නංගි නං අහගෙන ඉන්නවනෙ”
“එහෙනං ඉතින් එච්චරනෙ” කියා කුමුදුනී කියද්දි අතුල හිස වැනුවේ ඒ පිළිගන්නටය.
එහෙත් ඔහුට නොදැනීම ඒ මොහොතේ කුමුදුනී ළඟදී තමන්ට දැනෙන සැහැල්ලුව තවත් ටිකක් හිතටත්, ජීවිතේටත් පුරුදු දෙයක් බවට පත්වෙමින් තිබුණේය.
වජිර නැතිවීමෙන් පසු තමන්ට අහිමි වූ මිතුරෙකුගේ තැන කුමුදුනී පුරවන්නට පටන් ගෙන තිබුණේද, නැත්නම් තමන්ගේම හිතේ තිබූ හිස් තැනකට ඇය හෙමින් හෙමින් ඇතුළු වෙමින් සිටියාද කියා අතුලට ඒ වෙලාවේ තේරුමක් තිබුණේ නැත.


