අලුත් පාරක

” ඔයාට හොඳයි කියලා හිතෙන ඕනි දෙයක් කරන්න පොඩි දුව.. අපි අයියාගේ තීරන වලට බලපෑම් කරේ නෑ වගේ තමා, අපි ඔයාගේ තීරණවලටත් ගරු කරනවා.. ඒත් ඔයා මතක තියාගන්න ඕනි , ඔයා ගන්න තීරණ ගැන වගකීම ගන්න .. ඒකෙන් කියවෙන්නේ නෑ අම්මයි  මායි ඔයාව තනි කරනවා කියලා.. අපි එහෙම කරන්නේ නැහැ.. ඔයාට අම්මයි, මායි අයියයි ඕනි වෙන ඕනිම වෙලාවක අපි ඉන්නවා..”

ශෝභා තාත්තා කියන දේ අහගෙන හිටියේ ඇස් දෙකෙන් එලියට වැටෙන්න මාන බලන කඳුළු අමාරුවෙන් හිර කරගෙන.

“: පුරාවිද්‍යා එකේ වැඩ කරන එක කෙල්ලෙක්ට පහසු නෑ පොඩි දුව….  ඒත් ඒක කරන්න බැරි නැහැ.. තමන්ට තමන්ව විශ්වාස නම්, කරන්න බැරි කිසිම දෙයක් නැහැ….”

” මම කැම්පස් යනකොටම … මට තිබුණ හීනේ තාත්තේ මේ … මං දන්නවා මට ෆීල්ඩ් එකේ වැඩ කරන්න පුලුවන් කියලා …. “

” හරි .. එහෙම නම් අනෙක් කාරණා අමතක කරන්න .. තරිඳු කියන්නේ අපි ඔයාට ගෙනාව යෝජනාවක් නේ.. දෙන්නා දැන අඳුනගත්තා.. කතා බහ කලා … විවාහ වෙන්නත් තීරණය කරා තමා …. ඒත් පොඩි දුවගේ ජීවිතේට ඒ සම්බන්ධතාවේ නිසා බාධාවක් වෙනවානම්, හොඳම දේ තරිඳු එක්ක කතා කරලා , ඒ තීරණෙත් අරගෙන ඉන්න එක .. මොකද ඒ ළමයාගේ කාලෙත් වටිනවානේ… අනෙක් අතට පොඩි දුව ජොබ් එකට යන්න ඕනි හිත සැහැල්ලුවෙන්……..”

ශෝභා හිස සැලුවා. තරිඳුගේ හිනාවෙන ඇස්, කතාව, දයාබර සැලකීම් එක පෝලිමට මතක් වුනා. ඒත් එක්කම, ඔහු එක්ක තමන්ට එක පේලියකට හිටගන්න බැරිවෙන සංවාදෙත් සිහියට ආවා.

” ඔයා ඔය කරන්න යන දේ කෙල්ලෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි ශෝභා … රැයක් දවාලක් නැතුව, පිරිමි ගොඩක් මැද, ගස් ගල් අස්සේ, කැලෑ මැද … ලේසි නැහැ … අනෙක … හිතන්නකෝ අපි මැරි කරාම කොහොමද අපි ජීවිතේ ගොඩනඟාගන්නේ කියලා ශෝභා… ඔයා ට බිස්නස් එකක් කරන්න ඕනි නම්, මම ඕනි තරම් සල්ලි දෙන්නම් දැනටම .. එහෙම නැත්නම්, ටීචින් වගේ බලමූ අපි … ඔය පුරාවිද්‍යා එකේ වැඩේ නම් හරියන්නේ නැහැ…අපේ අම්මලා වුනත් කැමති වෙන්නේ නැහැ … . “

” ඒකට තමයි මම ආස තරිඳු .. ඩිග්‍රි එක කරෙත් මම මේ ටාර්ගට් එක එක්ක .. මගේ තීසීස් එක කලෙත් මම සීගිරියේ..”

” ඔයාට නම් විකාර ශෝභා .. පිස්සු …”

ශෝභා කඳුලු නොපෙනෙන්න හංගගෙන කාමරේ ඇතුලට රිංග ගත්තා. එහෙමම නාන කාමරේ ඇතුලට රිංගගත්තා.

” මං කරන්නේ හරි දෙයක් නේද ?..තරිඳු කියන්නේ කොච්චර හොඳ කෙනෙක් වුනත්, මට එයා නිසා මගේ හීන මරාගන්න බැහැ… අනෙක, දැන් කොහොමම හරි සෙට්ල් කරගත්තත් , මැරි කරපු කාලෙක  එයාගේ  හීන එක්කල අපේ හීන කියන තැනට මගේ මේ හීනේ දාගන්න බැරි වෙනවා.. ඒකෙන් වෙන්නේ දෙන්නාගෙම හිත් රිදෙන එක .. අනෙක මේ වෙලාව තමයි අපි දෙන්නාට, දෙපැත්තට හැරිලා යන්න හොඳම …

ශෝභා ආයේ ආයෙම කල්පනා කලා.

අවසානේදි කොච්චර අමාරුවෙන් වුනත්, ශෝභා තමන්ගේ තීරණේ තරිඳුට කිව්වා.

” මට සමාවෙන්න ඔයාගෙන් අවුරුද්දක්ම හොරකම් කලාට….  මං හිතුවේ නැහැ මෙහෙම හැරෙන්න .. ඒත් මගේ හීන වෙනුවෙන් මං මෙතනින් නවතිනවා තරිඳු … මං ඔයාට ආදරෙයි .. ඇත්තටම ඔයා හරිම හොඳ කෙනෙක් … හොඳ කියන වචනේත් මට තේරෙන්නේ නෑ කොහොම ගලපන්නදකියලා .. ඒත් අපි සැනසීමෙන් ඉන්න නම්, මම නවතින්නම ඕනි තරිඳු … අමාරුවෙන් හරි එල්ලි එල්ලි උන්නොත් .. දාක ඔයා මට සාප කරාවි .. ඒ නිසා ..  මාව අතෑරලා ඉස්සරහට යන්න තරිඳු … ඔයාට හොඳ කෙනෙක් ලැබේවි .. හොඳම හොඳ කෙනෙක් .. මං වගේ හිතුවක්කාර කෙල්ලෙක් නෙවෙයි .. “

” ඔච්චර පැහැදිලි කරන්න දෙයක් නෑ ශෝභා.. මට තේරෙනවා… මේක තමයි මේක විසඳෙන්න තියෙන හොඳම විදිය …  ඔයාට බාධා කරන්නේ නෑ මම .. මම අද සූදානමින් ආවේ ….  යන්න … “

” ඔයා යන්න තරිඳු … මම ටිකක් ඉඳලා එන්නම් ..”

” එහෙම පුරුදු නැහැ.. යන්න .. ගිහිල්ලා පරෙස්සමට වැඩ කරගන්න … මං හිතන විදිය සමහරවිට වැරදි ඇති.. ඒත් මට ඇජෙස් වෙන්න හිතන්නවත් විදියක් නැහැ ශෝභා .. අයිම් සොරි …”

ශෝභා තරිඳුගේ අත අල්ලගන්න හිතලා, ආයෙම පාලනය වුනා. ඇස් දෙක දිහා නොබලම නැගිට්ටා.

” ඔයාට සතුටින් ඉන්න හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා තරිඳු …. හැමදේම ..”

ශෝභා එහෙම කියන ගමන් ආපහු හැරුණා.

ශෝභා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාවට බැඳුණා.  කිසිම දෙයක් හිතපු තරම් ලේසි වුනේ නැති වුනත්, ශෝභා ඒ ජීවිතේට අනුගත වුනා. සෑහෙන්න වතාවක් ආයේ ආයෙම තරිඳුට කතා කරන්න හිතුනත් ඇය පාලනය වෙලා උන්නා.

” තරිඳු හදාගත්ත හිත ආයෙම පාරන්න මට අයිතියක් නැහැ.. “

.

.

.

” අලුත් ප්‍රාදේශීය ලේකම්තුමා මැඩම් එක්ක මීටින් එක මතක් කරලා කෝල් කරා…  ..”

” මං දැක්කා ලියුමත් සමරසිංහ මහත්තයා … අනිද්දා හවස දෙකටනේ … .. ලියුම හදලා, ෆැක්ස් එකක් දාන්න අපි එනවා කියලා .. ..කෝල් කරලාත් කියන්න .. අපේ නේ ඩිලේ එක ..”

” හරි මැඩම් ..”

ශෝභා ආයෙම ප්‍රාදේශීය ලේකම්වරයා තමන්ව මුණගැහෙන්න අවශ්‍යය කියන කාරනාව ගැන සඳහන් ලිපිගොනුව හරවගත්තා.

” මේක අපේ සීමාව ඇතුලේ අපට බලතල තියෙන තැනක්නේද සමරසිංහ මහත්තයා..”

” ඔව් මැඩම් .. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ කලින් ප්‍රාදේශිය ලේකම් මැඩම් ගේ හිතවතෙක්ගේ කඩයක් නේ ඒක.. ඒකෙන් එහේ ඔෆිස් එකේ මොකක් හරි ගැටලුවක්  ඉතුරු කරලානේ ගිහින් ඇත්තේ..”

” හරි හරි … මට දැන් ඒ සිද්දිය හරියට ඔලුවට ආවේ.. ඔය අර ගල් දෙබොක්කාවේ කබානා දෙකක් හදපු මනුස්සයාගෙ සීන් එකනේ..”

” අන්න හරි ..”

.

.

.

ශෝභා ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයට ඇතුළු වුනා. රැස්වීම් කාර්‍යාලයට ඇතුලු වුනා. ඇයව දැනගෙන උන්න කිහිප දෙනෙක් එක්කල සුහද කතාබහකට පැටලුණා.

” මොකෝ ඔයාලාගේ අලුත් සර් වසයිද ?..”

ශෝභා හිනාවෙවී එහෙම ඇහුවා. ඒත්, එතන උන්න අයගෙන් ලැබූනේ හිනාව විතරයි .

” මේ මොකෝ මේ හිනාවෙන්නේ ?… උත්තර දෙන්නත් බයද ?.. බලමුකෝ .. කොහොමද ශෝභා එක්ක හැප්පෙන්නේ කියලා..”

ශෝභා එහෙම කියනකොටම, රැස්වීම් ශාලාවේ දොර විවෘත වුනා. සුදුපාට කමිසයක් අත් දිගට ඇඳලා, නිල් පාට ටයි පටියක් දාපු, ඇස් කණ්ණාඩි යුගලක් දාපු කෙනෙක් මුලසුනට ඉඳගත්තා.

” ආයුබෝවන් … හැමෝටම .. මම විනාඩි දෙකක් පරක්කුයි .. සමාවෙන්න . අපේ ඔෆිස් එකේ අය නම් මාව දන්නවා.. ඒත් මෙතන ඉන්න භාහිර රාජ්‍ය ආයතන වල නිළධාරින්ට මම මාව හඳුන්වලා දෙන්නම් .. සහ මම ඔයාලාවත් හඳුනගන්න කැමතියි… මම තරිඳු දිසාසේකර .. පොළොන්නරුව අලුත් සහකාර  ප්‍රාදේශීය ලේකම් ..සර් වෙනුවට මම අද මීටින් එක කරන්නේ… .”

ශෝභාට කිසිම දෙයක් ඇහෙන්නේ නැතිව ගියා.

” අනේ මැඩම් ෆේන්ට් වුනා…”

.

.

.

 ” දැන් බයවෙන්න දෙයක් නෑ … පොඩි ශොක් එකක් නෙවෙයිනේ උඹ දීලා තියෙන්නේ… සේලයින් එක ඉවර වුනාම එක්ක පලයං ..”

වෛද්‍ය මිතුරා තරිඳුගේ පිටට තට්ටුවක් දාලාම කිව්වා.

.

.

.

“සමාවෙන්න දෙයියනේ … සමාවෙන්න …. අවුරුදු අටක් ගෙව්වානේ …. ජීවිතේ ගැන සෑහෙන්නම තේරුම් ගත්තා… සම්බන්ධතා දෙක තුනක් පහු කරා… ආයෙම තේරුම් ගත්තා, ඔයා තමා කෙනා කියලා… ඔයා ඉන්නේ මෙහෙ බව හොයාගෙන අවුරුදු දෙකක් විතර .. මම ඇවිල්ලා බලලා ගියා මාසෙකට වතාවක්දෙවතාවක්..”

ශෝභා ඔරවලා බැලුවා.

” මැඩම් කෙනෙක් මං වගේ පොඩි මිනිහෙක්ට කැමති වේද දන්නේ නෑනේ.. ඒකයි හැංගිලා ආවේ ගියේ..”

ශෝභා තරිඳුගේ උරිස්ස කොනිති ගැහුවා. තරිඳු ඇයගේ උර වටා අත යැව්වා.

” එස් එල් ඒ එස් ආවේ ඉන් පස්සේ… ලංකාවෙන් දෙක … කැමති තැනක් තෝරන්න චාන්ස් එකක් ආවා …. ඉතින් මෙහෙට ආවා… අලුතින් ඇවිල්ලා ඉන්න  ප්‍රාලේ ඉන්නේ අපේ සීනියර් අයියා කෙනෙක් .. සිද්දිය කිව්වාම, පොර තමය් කිව්වේ මීටින් එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා… ඒක සෙට් කරලා දෙන්නම් කියලා..”

” මගේ පපුව පැලුනා නම් එහෙම ..”

” එහෙම වුනා නම් තව කෙල්ලෙක්ට ට්‍රයි කරනවා ඉතින් ..”

තරිඳු හිනාවෙවී, එහෙම කිව්වා. ඉන් පස්සේ තරිඳුගේ පාපොච්චාරණය පටන් ගත්තා.

” මං තේරුම් ගත්තා… දෙන්නාට දෙන්නා තේරුම් ගන්නවා නම්, ජොබ් එක කියන්නේ එක දෙයක් විතරයි කියලා.. ඒක මම හරි ඉක්මනට තේරුම් ගත්තා ..ඒත් ඒ වෙද්දී ඔයා ඔයා සෑහෙන්නම දුර ගිහින් …ඉන්න තැනක්වත් දන්නේ නෑ මම …. තව තව කල් යද්දී, ආයේ ආයෙම සිද්දි වෙද්දී, මං තේරුම් ගත්තා, මට ඔයාට ඇජෙස්වෙන්න පොඩිවත් ඉඩක් හදාගන්න බැරි වුනේ මගේ උද්දච්ච කම නිසා කියලා…. සමාවෙන්න ශෝභා .. මම අපෙන් අවුරුදු අටක් හොරකම් කලා…ඔයා මගෙන් සමාව ඉල්ලුවේ එක අවුරුද්දක් හොරකම් කලාට … දැන් ඒ වගේ අට ගුනයක්…”

ශෝභා සැනසීමෙන් තරිඳුගේ පපුවට තුරුලු වුනා.

” විශ්වය තීරණය කරලා නම් තමුසේට තරිඳුව තමයි හරියන්නේ කියලා.. ඒක ආයේ වෙනස් වෙන්නේ නැහැ.”

බලන්න එන හැම මනමාලයටම අකමැති වෙන තමන්ට අයියා ඒම කීව විදිය ශෝභාට මතක් වුනා.

දෙන්නා අත් අල්ලගෙන අලුත් පාරට ඇවිදගෙන ගියා. 

More Stories

Don't Miss


Latest Articles